නයිට් ක්ලබ් එකෙන් ආ කාර් මාරයා කොල්ලුපිටියේදී කළ විනාශය | Page 3 | සිළුමිණ

නයිට් ක්ලබ් එකෙන් ආ කාර් මාරයා කොල්ලුපිටියේදී කළ විනාශය

රිය අනතුරු ශ්‍රී ලාංකික ජනතාව අතර දිනපතාම පාහේ බොහෝ සේ කතාබහට ලක්වන මාතෘකාවකි. අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, මත්පැන් පානය කොට රිය ධාවනය, මානසික ආතතියෙන් මෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරමින් සිදු කරන රිය ධාවනය මෙරට තුළ සිදුවන රිය අනතුරු ඉහළ යාමට ප්‍රධානම හේතුවකි. මාරක රිය අනතුරු නිසා මෙරට ජනයාගෙන් දසදෙනෙකුට පමණ දිනකට දිවි අහිමි වන බව සංඛ්‍යා ලේඛනවලින්ද පිළිබිඹු වේ. ඒ අනුව ගිය වසරේ පමණක් මෙරට සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 22319කි. ඒ අතරින් 2021 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 2414කි. ඉන් පුද්ගලයන් 2513දෙනෙකුට දිවි අහිමි විය.

මේසා ජීවිත සංඛ්‍යාවක් අහිමි වන රිය අනතුරු පිළිබඳ වගකිවයුත්තන් කෙතරම් ජනතාව දැනුවත් කළද ඉන් පලක් නොවන බව හොඳින්ම පිළිබිඹු වූයේ පසුගියදා කොල්ලුපිටියේදී සිදුවූ මාරක රිය අනතුරිනි.

පසුගිය 10 වැනිදා උදෑසන 6.30ට පමණ සිදු වූ එම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරෙකුට දිවි අහිමි වෙද්දී එම අනතුර සිදු කළ පුද්ගලයා පැය දෙකක් තුනක් ඇතුළත රටින්ද පලා යාමට තරම් නිර්භය වීම සුවිශේෂී කාරණයකි.

පසුගිය 10 වැනිදා සෙනසුරාදා සිදුවූ එම අනතුර ගැන මුළු රටම කතාබහ කරන්නට පටන් ගත්තේ එම අනතුර මාධ්‍ය මඟින් විකාශය වීමත් සමඟය. පෙරවරු 6.30ට පමණ බම්බලපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ WP CBH – 9538 අංක දරන බෙන්ස් වර්ගයේ සුදු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයකි. එම මෝටර් රථයට ඉදිරිපසින් ත්‍රිරෝද රථයක්ද ධාවනය වෙමින් තිබිණි. එම මෝටර් රථයේ වේගය රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයේ පිටුපස හැපෙන්නේ අධික වේගයෙනි. ඒ සමඟ එම ත්‍රිරෝද රථය මීටර් 75ක් පමණ ඈතට ඇදී ගොස් නතර වන ආකාරය අසල සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබිණි. ත්‍රිරෝද රථය ඒ වන විට කුඩුපට්ටම් වී තිබිණි. බෙන්ස් රථය මාර්ගයේ පදික වේදිකාව මත නතර වී තිබුණේ කොන්ක්‍රීට් කණුවක් ද කඩාගෙන ගොස් අසල වෙළෙඳසලකටද හානි කරමිනි.

අංක 17 – 5710 දරන ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නූර්දීන් තුවාන් නමැති 58 හැවිරිදි තිදරු පියා එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියේ ශෝචනීය ලෙසය.

අනතුර සිදු වන අවස්ථාවේ එම මෝටර් රථයෙහි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සමඟ කාන්තාවන් තිදෙනෙක් ගමන් කළෝය. එම කාන්තාවන් තිදෙනාගෙන් වයස අවුරුදු 29ක් වන ගොඩගම පදිංචිකාරියක් සහ පන්නිපිටියේ පදිංචි 31 හැවිරිදි කාන්තාවන් දෙදෙනා රිය අනතුරෙන් සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළුව ප්‍රතිකාර ලබා ගෙන තිබිණි.

එම අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කළ කෝට්ටේ, රජමහා විහාර පාරේ, ජනතා මාවතේ පදිංචි කාන්තාවකට සහ රත්මලාන, සිල්වා මාවතේ පදිංචි 33 හැවිරිදි තරුණයකුට අවට සිටි අය මෙන්ම ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් එක්ව පහර දී තිබිණි. එම පහර දීම පිරිසක් වීඩියෝගත කොට සමාජ මාධ්‍යවලට මුදාහැර තිබීමද සුවිශේෂිය. එම වීඩියෝ දසුන් විද්‍යුත් නාලිකාවන්හි ප්‍රවෘත්ති විකාශයන්හි ප්‍රධාන මාතෘකා විය. මෝටර් රථයේ පිටුපස ගමන් ගත් අදාළ කාන්තාවට තවත් කාන්තාවන් දෙදෙනෙක් විසින් ඉදල්, කොසුවලින් පහර දෙන ආකාරය එම වීඩියෝවල දිස්විය.

මේ කාන්තාවට පහර දීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කළ විමර්ශනයේදී වයස අවුරුදු 45ක් සහ අවුරුදු 65ක් වන කතුන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ දෙදෙනා නිට්ටඹුව, එල්ලක්කල සහ වැල්ලවත්ත පදිංචිකාරයෝය. ඔවුහු සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක සේවිකාවෝය.

ඊට අමතරව එම කාන්තාවට පහර දීම සම්බන්ධ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවැසීය. එම කාන්තාවද අනතුර සිදුවන මොහොතේ මෝටර් රථයකින් එම ස්ථානයෙන් ගමන් කර තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. වාර්තා වන ආකාරයට එම කාන්තාව සිය සැමියා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි අනතුර සිදුකළ මෝටර් රථය එම කාන්තාව ගමන් කළ රථයේද ගැටීමට ගොස් බේරී ඇත්තේ අනූ නවයෙනි.

මෙරට රථවාහන නීතිය අනුව මාරක රිය අනතුරකදී වරදකරු වන්නේ රියැදුරු පමණි. එම නිසා අදාළ මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් රථවාහන නීතිය අනුව වරදකරුවන් නොවන බව සහ එහි ගමන් ගත් සෙසු පිරිස අත්අඩංගුවට ගත නොහැකි බවත් රිය අනතුර සම්බන්ධව සාක්ෂිකරුවන් ලෙස ඔවුනගේ ප්‍රකාශ ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

පහර කෑමට ලක්වූ කාන්තාවන්ගෙන් කොල්ලුපිටිය පොලිසිය ලබාගත් ප්‍රකාශ අනුව හෙළි වන්නේ එම මෝටර් රථයේ පිරිස පැමිණ ඇත්තේ රාත්‍රි සමාජ ශාලාවක සිට බවය. ඒ අනුව ඔවුන් එදින රාත්‍රිය පුරා රාත්‍රි සමාජ ශාලා කීපයකම කාලය ගතකොට නැවත කොල්ලුපිටියේ සමාජ ශාලාවකට ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනයේදී හෙළි විය.

මාරක රිය අනතුර සිදුකළ එම සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර තිබුණේ 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අනතුරෙන් පසු එම ස්ථානයෙන් පලා ගොස් සිටියේය. මොහොමඩ් රසුල් මොහොමඩ් රිෂාක් නමැති එම තරුණයා කොළඹ 10, දේවානම්පියතිස්ස මාවතේ පදිංචි අයෙකි. ඔහු ඩුබායිහි රැකියාවක නිරතව සිටි බවද පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි විය. මාරක අනතුර සිදුකර පලා ගිය මොහොමඩ් රිෂාක් සොයා පොලිසිය මරදාන, දේවානම්පියතිස්ස මාවතේ ඔහුගේ නිවෙසට ගියද එහි කිසිවෙකු සිටියේ නැත. අනතුරුව පොලිසියට සැලවී තිබුණේ ඔහු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල පිහිටි නිවාස කීපයක හිමිකරුවෙක් බවයි.

අනතුර සිදු කිරීමෙන් පැය තුනකට පමණ පසු එනම් එදින පෙරවරු 9.55ට ඩුබායි බලා ගමන් ගත් ගුවන් යානයකින් රිෂාක් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම අනතුර සිදුකළ රිෂාක් අනතුරට පෙර අදාළ වේලාවට ඩුබායි බලා යාමට සැලැසුම්කර තිබූ අයෙක් බවට හෙළි වන බවයි. ඒ අනුව ඔහු අනතුරෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළතදී රටින් පිටව ගොස් තිබිණි.

එලෙස ඔහු රටින් පලා ගියද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් රිෂාක්ට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගැනීමටද කටයුතු කළේය. පොලිසිය එසේම අධිකරණයටද කරුණු වාර්තා කරමින් ජාත්‍යන්තර පොලිසියේ සහාය ද ගෙන රිෂාක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියේය. මේ අනතුර සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන පොලිසිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව එලෙස විමර්ශන සිදු කරමින් තිබියදී සැකකාර රිෂාක් පසුගිය 12 වැනිදා රාත්‍රියේ ඩුබායි සිට නැවත මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන සහ විගමන නිලධාරින් විසින් සිය භාරයට ගන්නා ලදී. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගත්තේ පොලිසිය ලබාගත් අධිකරණ නියෝග මතය. ඒ අනුව සැකකාර රිෂාක් කොල්ලුපිටිය පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ මාරක රිය අනතුර සිදුකළ මොහොමඩ් රිෂාක් ව්‍යාපාරිකයෙකි. ඔහු ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරවලද නිරත වන අයෙකි. ඔහු උණ්ඩියල් ක්‍රමයට ව්‍යාපාර සිදුකරන අයෙක් බවද වාර්තා වේ. මීට දින කීපයකට පෙර දී ලංකාවට පැමිණි ඔහු අනතුරුව ලොකු වාරිකයකට සුඛෝපභෝගී බෙන්ස් රථයක් ලබාගෙන ඇත්තේ කල්බදු ක්‍රමය යටතේයි.

සැකකරු වැල්ලම්පිටිය නිවෙසේ කල් ගත නොකොට නවාතැන් ගෙන ඇත්තේ කොළඹ සුපිරි හෝටලයකය. මාරක අනතුර සිදුකොට රටින් පලා ගිය සැණින් පොලිසිය ඔහුගේ කොළඹ 10, දේවානම්පියතිස්ස ලිපිනයේ නිවෙස පරීක්ෂා කළද ඔහු එම නිවෙසේ නොසිටියේය. අනතුරුව පොලිස් නිලධාරින් ඔහුට අයත් වැල්ලම්පිටිය නිවෙසට ගොස් තිබිණි. එම නිවෙසේ ඒ මොහොතේ සිට තිබුණේ රිෂාක්ගේ සහෝදරයෙක් සහ ඔහුගේ මව පමණි. මව පොලිසියට කියා තිබුණේ දින හතරකට පමණ පෙරදී පුතු මෙරටට පැමිණි බවත් ඔහු දින දෙකකට පෙරදී නිවෙසට පැමිණ ගිය බවය. පසුව රිෂාක් සතු ඔහුගේ ව්‍යාපාරවලට අයත් යැයි පැවසෙන දෙහිවල නිවෙසක් පොලිසියේ පරික්ෂාවට ලක් විය.

ඩුබායිහි ව්‍යාපාරවල නිරත වන අතරේ ලංකාවට පැමිණෙන රිෂාක් මෙරට ගත කරන කාලය තුළදී සිය මිතුරන් සමඟ රාත්‍රි සමාජ ශාලාවල රාත්‍රිය ගත කිරීමට ලොල් වූවෙකි. ඔහු අනතුර සිදුවන දිනද එසේ රාත්‍රි සමාජ ශාලාවන්හි ගත කර තිබුණේ ඩුබායිහි ව්‍යාපාරවල නිරත වන ඔහුගේ තවත් මිතුරෙක් සහ තවත් මිතුරියන් තිදෙනෙක් සමඟිනි.

රිෂාක් විසින් පදවන ලද මෝටර් රථයේ ගැටීමෙන් මියගිය නූර්දින් තුවාන් 58 හැවිරිදි අයෙකි. ඔහු දියණියන් දෙදෙනෙකු සහ පුතකුගේ පියෙකි. පොල්ගස්ඕවිට, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි නූර්දින් වසර තිහකට අධික කාලයක් කොල්ලුපිටිය සහ ඒ අවට ත්‍රිරෝද රථ ‘හයර්‘ කරන්නෙකු ලෙස රැකියාව කළ අයෙකි. නූර්දින්ගේ මරණයෙන් මේ වන විට ඔහුගේ බිරිය සහ තවමත් අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් තිදෙනා අපාදුකට පත්ව සිටිති. සිය සැමියාට සිදුවූ අපරාධයට සාධාරණයක් ඉල්ලා සිටින නූර්දින්ගේ බිරිය මෙසේ පැවැසුවාය.

“මහත්තයා දැන් අපට නැති වුණා. මම දැන් ළමයි තුන්දෙනෙක් එක්ක අසරණ වෙලා ඉන්නෙ... අපිට සාධාරණය ඉටුකරලා දෙන්න... මට දැන් මගේ දරුවෝ තුන්දෙනා ජීවත් කරවන්න කිසිම ආදායමක් නෑ... මටත් රස්සාවක් කරන්න බෑ... දරුවෝ තුන්දෙනාම තාම ඉගෙන ගන්නවා... මං කොහොමද මේ ළමයි තුන්දෙනා එක්ක ජීවත් වෙන්නේ... මට කියන්න තියෙන්නෙ මගේ මහත්තයට වුණ දේට සාධාරණය ඉටුකරලා දෙන්න කියන දේ...“

නූර්දින්ගේ වියෝවෙන් මහත් සේ කම්පාවට පත්ව සිටින ඔහුගේ එකම පුතු හඬා වැටෙන්නේද පියාණන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමිනි. නූර්දින්ගේ පුතු පවසන්නේ මෙවැන්නකි.

“තාත්තා හැමදාම උදේ පහ... පහයි කාල විතර වෙනකොට ගෙදරින් යනවා. තාත්තා ත්‍රීවිල් හයර් කරන එක කරන්නේ... එදත් තාත්තා 5.15ට ගෙදරින් ගියා. කොහොමහරි අනතුර වෙලා තියෙන්නෙ 6.15ත් 6.30ත් ඇතුළත කියලා තමයි අපිට ආරංචිය. අපේ ගෙදරට 7.10ට විතර කෝල් එකක් ආවා... අපෙන් විස්තර ඇහුවා. පස්සේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කිව්වා... මගේ තාත්තා වාහන එළවනකොට හරිම පරෙස්සමින් එළවන කෙනෙක්. තාත්තට මේ වෙච්ච දේට සාධාරණයක් ඕන. මට නංගි කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. අපි තුන්දෙනාම තාම ඉගෙන ගන්නවා. නංගි හය ශ්‍රේණියේ... අපිට මේ වෙච්ච දේට සාධාරණයක් ඕන... එච්චරයි මට කියන්න තියෙන්නෙ...“

තුවාන්ගේ අනපේක්ෂිත මරණයෙන් ඔහුගේ පවුලේ උදවිය මෙන්ම ඥාති හිතමිතුරන්ද වැලපෙන්නේ තුවාන්ගේ ගුණ ගායනා කරමිනි.

“තුවාන් කියන්නේ අහිංසක මනුස්සයෙක්. ඒ වගේම ඉතාම දුප්පත් කෙනෙක්... එයා දරුවන් තිදෙනා ගැන පුදුම බලාපොරොත්තුවකින් හිටියේ... අවුරුදු 30කට වැඩි කාලයක් කොළඹ ත්‍රීවිල් රස්සාව කළේ... ඒත් අපි කවුරුවත් හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි තුවාන්ට මේ සිද්ධ වුණේ...“ යැයි ඔහුගේ පවුලේ අයකු පැවැසීය.

තුවාන් වැනි අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මෙවැනි රියැදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. සමාජ ශාලාවල රාත්‍රිය ගත කරමින් බීමත්ව රිය පදවන මෙවැනි වගකීම් විරහිත රියැදුරන් නිසා ජීවිත කීයක්නම් මේ වන විට අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇද්ද?

මීට වසර දෙකකට පමණ පෙරදී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මරණයට පත් වූයේද බම්බලපිටියේදී සිදු වූ මෙවැනිම අනතුරක් නිසාවෙනි. එදිනද රාත්‍රී සමාජ ශාලාවන්හි ගත කළ තරුණයන් පිරිසක් යතුරුපැදියෙන් ගමන් කළ පොලිස් පරීක්ෂකවරයා අනතුරකට ලක්කොට පලා ගියේ හිත්පිත් නැත්තන් ලෙසිනි.

ඡායාරූප - බණ්ඩාරගම බිමල් ජයසිංහ

Comments