තුවක්කුවේ කොකා වැලක පැටලී පත්තු වුණු උණ්ඩයෙන් මට්ටු වුණු ජීවිතයක් | Page 2 | සිළුමිණ

තුවක්කුවේ කොකා වැලක පැටලී පත්තු වුණු උණ්ඩයෙන් මට්ටු වුණු ජීවිතයක්

- අත්වැරැද්දෙන් මියගිය‍ මිතුරාගේ සිරුර කැලේ දමා ගෙදර ආ සැකකරු පොලිස් අත්අඩංගුවේ
- නිශාන්ත අවසන් වරට ඇසුරු කළ පුද්ගලයන් සොයද්දී සිද්ධියේ සුලමුල හෙළි වෙයි
- දඩයමේ ගිය දෙමිතුරන්ගෙන් ගෙදර ආවේ එක්කෙනයි

ටියන්තොට පොලිස් වසමට අයත් සීපෝත්, කොට්ටමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නොවැම්බර් මස 23 වන දින අදහාගත නොහැකි සිද්ධියක් දැක ගැනීමට හැකි විය. එනම් සීපෝත් ජනපදයේ විසූ නිශාන්ත නැමති තරුණයා කොට්ටමලේ ප්‍රදේශයේ තේ වත්තක මිය ගොස් සිටි ආකාරයයි. කලින් දින නිශාන්ත නිරුපද්‍රිතව සිටිනු දැක සිටි කිහිප දෙනෙකුට මෙය අදහාගත නොහැකි දසුනක් විය. ඔහුගේ දකුණු උරහිසෙහි තිබුණු තුවාලයක් සහ දකුණු අතේ කොටසක් නොතිබූ අතර ඒවා සතුන් විසින් කා දමා හෝ වෙනත් සිදුවීමකින් අතුරුදන් වී තිබුණි. යටියන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. සී. අනුරපක්ෂට එදින පස්වරු 4ට පමණ ලැබුණු දුරකතන ඇමතුමකින් කිසියම් පුද්ගලයෙකු දන්වා සිටියේ කොට්ටමලේ ප්‍රදේශයේ තේ වත්තක පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි. 

යටියන්තොට පොලිස් බල ප්‍රදේශයේ වෙනත් ප්‍රදේශයක රාජකාරි කටයුත්තක ගොස් සිටි ස්ථානාධිපතිවරයා වහාම එම ස්ථානයට යන්නේ මේ ගැන විමර්ශනය සඳහාය. බුලත්කොහුපිටිය, වරකාපොළ, කෑගල්ල ආදි පොලිස් ස්ථානවලදී ලබාගත් අත්දැකීම් අනුව ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ විමර්ශන පැති කිහිපයකින් ආරම්භ කරන ලදී. මේ ගැන සිය ජ්‍යේෂ්ඨ නිලධාරින් දැනුවත් කළ ස්ථානාධිපතිවරයා එදිනම සීතාවක කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් ද මේ පිළිබඳ දැනුම්වත් කරන ලදී. පසුව නිශාන්තගේ සිරුර තිබුණු ස්ථානයට පොලිස් රැකවරණය එදින රාත්‍රියේ ලබාදුන් අතර සීතාවක කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරින් 24 වන දින අලුයම අදාළ පරීක්ෂණ සිදුකරන ලදී. නොවැම්බර් 24 වන දින රුවන්වැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ශාමලී වෙදසිංහ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළාය. 

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඒ අනුව නිශාන්තගේ සිරුර එදිනම අවිස්සාවේල්ල මූලික රෝහල වෙත ගෙන යන ලදී. අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්. මහසෙන් නිශාන්තගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් මස 25 වන දින සිදු කරන ලද අතර එහිදී එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ බෝර 12 ගිනි අවියකින් තැබූ වෙඩි තැබීමකින් නිශාන්තගේ මරණය සිදුවී ඇති බවයි. මේ අනුව නිශාන්තගේ මරණය මිනිස් ඝාතනයක් බවට පොලිසියට වාර්තා කැරිණි. සමරකෝන් ආරච්චිලාගේ නිශාන්ත චන්දන අභයරත්න 41 වන වියේ පසුවූ විවාහක පුද්ගලයෙකි. කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු මීට වසර පහළොවකට පමණ පෙර සිය බිරිඳගේ ගම වූ 'සීපොත්' ප්‍රදේශයට පැමිණ පදිංචි වී ඇත.

ඔහු යුද හමුදාවේ සේවය කර ඇති අතර පසුව ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටියේය. පසුව ඔහු නීති විරෝධි ගිනි අවියක් ළඟ තබාගෙන එය භාවිත කර සීපෝත් අවට ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම පුරුද්දක් ලෙස කලක පටන් සිදුකරගෙන ගියේය. ඊට සහයට ඔහු වටා මිතුරන් පිරිසක් ද වූහ.

නොවැම්බර් මස 22 වන දින පස්වරු 6.30ට පමණ නිශාන්ත සිය නිවෙසින් පිටත්ව ගියේය. ඔහු බිරිඳට පවසා ඇත්තේ අසල මළ ගෙදර යන බවයි. නිශාන්ත කොට්ටමලේ ප්‍රදේශයට එන අතරතුර 41 හැවිරිදි ජයතිලක මුදියන්සේලාගේ ජයසූරිය හමු විය. ජයතිලක ලී ඉරීම සිය රැකියාව වශයෙන් සිදු කළ අයෙකි. දෙදෙනා අතරමගදී හමුවී 'දඩයමක්' කර ගැනීමට කතිකා කරගත් අතර එදින රාත්‍රියේම අසල කැලෑවේ සඟවා තිබූ නිශාන්තගේ තුවක්කුව ද ජයසූරියට දුන්නේය. ඉන්පසුව මේ දෙදෙනාම ගමන් කරන්නේ කැන්දල්ඔය ප්‍රදේශයටය. ඒ වන විට රාත්‍රී 9.30ට ආසන්නව තිබිණි. හදිසියේම ඉදිරියෙන් ආ විදුලි පන්දම් එළියක් නිසා කලබල වූ නිශාන්ත, ජයසූරියට ගිනි අවිය සඟවන ලෙස පවසා සිටියේය. ඒ අනුව කලබලයට ජයසූරිය විසින් ගිනි අවිය සැඟවීමට උත්සහා කරද්දී එහි 'කොකා' වැලක පැටලී තුවක්කුව ක්‍රියාත්මක වී උණ්ඩය නිශාන්ත දෙසට එල්ල විය. ඒ සමඟ නිශාන්ත ඇද වැටිණි. බියට පත්වූ ජයසූරිය නිශාන්ත එම ස්ථානයේම දමා කොට්ටමලේ දෙසට රාත්‍රියේම පැමිණියේය. අතරමඟ කැලෑ රොදක තුවක්කුව ද සඟවන ලදී. රාත්‍රියේ සැකකාර ජයසූරිය තම නිවසට පැමිණ අඟපත සෝදා පසුව ආසන්නයේ තිබූ මළගෙය තිබූ දෙසට ගමන් කෙළේය. මේ සිද්ධිය ගැන කිසිවෙකුටත් නොකියූ ඔහු 23 වන දින අලුයම නැවත තම නිවසට පැමිණියේය. 

යටියන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරපක්ෂ ඇතුළු පොලිස් කණ්ඩායම මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කෙළේය. 25 වන දින ලැබුණු අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පරීක්ෂණ තව තවත් කඩිනම් විය. සීපෝත් ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයේ විමර්ශන ආරම්භ කෙළේය. නොවැම්බර් මස 22 වන දින නිශාන්ත ළඟින්ම ඇසුරු කළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරමුණි. ඒ අනුව සැකකාර ජයසූරිය, නිශාන්ත අවසන් වරට ඇසුරු කර ඇති බවට තහවුරු වූ අතර පසුව ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළි විය.

තුවක්කුව කොට්ටමලේ කැලෑවක සඟවා තිබියදී පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි විය. ඒ අනුව සැකකාර ජයසූරිය අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නොවැම්බර් මස 29 වන දින ඉදිරිපත් කරන ලදී. මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා සැකකරු දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. 

සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ඒ. මහින්ද ගුණරත්න, කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, සීතාවක කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. ජේ. කොඩිතුවක්කුගේ උපදෙස් මත සීතාවක දිස්ත්‍රික් 3 භාර සහකාර පොලිස් අධිකාරී එච්. එම්. ඒ. එස්. හේරත්ගේ අධීක්ෂණයෙන් යටියන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. සී. අනුරපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන්වරුන් වන (64057) වීරසිංහ, (64536) චන්ද්‍රසේන, කොස්තාපල් (60471) කරුණාරත්න සහ කොස්තාපල් රියදුරු (76756) ජයනාත් පරීක්ෂණ සිදු කරන ලදි.

ඩබ්ලිව්. රෝහණ - බුලත්කොහුපිටිය සමූහ

Comments