අපරාධ 31යි මෘදුකාංග ඉංජිනේරුවා පොලිස් දැලේ | Page 3 | සිළුමිණ

අපරාධ 31යි මෘදුකාංග ඉංජිනේරුවා පොලිස් දැලේ

 

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සමල් එම උපාධිය ලබා ගත්තේ ඇමරිකාවේදීය. මහරගම ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරයක නිරත පියාත් ගෘහණියක වන මවත් බාල සහෝදරයින් දෙදෙනාත් සමල් දෙස බලා බොහෝ සතුටු වූවාට සැක නැත.

අගනුවර ප්‍රධාන පෙළේ පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඉන් එහාට විදේශගත අධ්‍යාපනයද සම්පුර්ණ කර ගත් සමල් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුණු විසුණු කරමින් අද නතර වී සිටින්නේ මහඋළු ගෙදරය. විසිපස් හැවිරිදි තරුණයෙකු වන ඔහුගේ ගමන්මඟට හරස් වුවේ මත්ද්‍රව්‍ය වීම කනගාටුවට කරුණකි.

උසස් පෙළ අධ්‍යාපනය ලබන සමයේ රාත්‍රියට තරමක වැඩිපුර නිදි වැරීමට සිදුවීම ඕනෑම දරුවෙකුට පොදු ධර්මතාවකි. සමල් ඊට යොදා ගත්තේ කදිම උපායකි. ඒ අයිස් මත්ද්‍රව්‍ය පාවිචිචි කිරීමය. ටික ටික මීට පුරුදු වූ සමල්ට අයිස් නැතුවම බැරි තත්ත්වයට පත් වන්නට එතරම් කාලයක් ගත වූයේ නැත. මේ නිසා වියදමේ තරමට උපයන ක්‍රමයක්ද ඔහු සොයා ගත්තේය. ඒ මහමඟ ගමන් කරන කාන්තාවන්ගේ අත් බෑග් කොල්ලකෑමය. එයද කළ යුත්තේ කිසිවෙකුටත් හසු නොවන ලෙසය. මේ සඳහා සමල් මුලින්ම කරන්නේ විජේරාම හන්දිය ප්‍රදේශයේ නතර කර තිබූ යතුරුපැදියක් සොරා ගැනීමය. එහි නැඟී වැලිගම හා මිරිහාන ප්‍රදේශවලින් මංකොල්ලකෑම් කීපයක්ම සිදු කිරීමෙන් පසුව යන්නේ කහතුඩුවටය. කහතුඩුවේදී එම යතුරුපැදිය එහි දමා වෙනත් යතුරුපැදියක් සොරකම් කරගන්නා තරුණයා තමාගේ එකක් මෙන් එහි නැගී යන්නේ කොහුවල, නුගේගොඩ, මහරගම, පිලියන්දල ආදී ප්‍රදේශවලටය. මේ ප්‍රදේශවල හතර අතේ කරක් ගසා මහමඟ ඇවිද යන කාන්තාවන්ගේ අත් බෑග් මෙන්ම කර බැඳි රන් මාල බයිසිකලය නතර නොකරම ඇදගෙන යන්නේ හීයක වේගයකින්ය. ඉන් පසුව එම බයිසිකලය කොහුවලදී අතහරින ඔහු කොහුවලින් යතුරුපැදියක් සොරා ගන්නේ ඊළඟ පිම්ම මිරිහාන, වැලිකඩ, මහරගම, පන්නිපිටිය ආදි ප්‍රදේශ ඉලක්ක කරගෙනය. නාවල විවෘත විශ්වවිද්‍යාලය අසලින් තවත් බයිසිකලයක් සොරා ගත් සමල් පා ගමනින් ගිය කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් ඇදගෙන යාමට ගොස් බිම වැටෙන්නේ යම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් විය යුතුය. කෙසේ වුවත් බයිසිකලයද දමා පැන දිවීම හේතුවෙන් යාන්තම් බේරෙන ඔහු ඊළඟට යන්නේ කිරිබත්ගොඩටය. එහෙත් මංකොල්ලයකට වෙලාව මදි වන නිසා එම යතුරුපැදිය හොඳ නෑ යැයි පවසා එය අතහැර ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ගන්නේ වැල්ලම්පිටියෙනි. මහරගම, වැලිකඩ, බොරලැස්ගමුව, පිළියන්දල, නාරාහේන්පිටිය, කොල්ලුපිටිය ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදු කර එම යතුරුපැදිය අත්හරින්නේ වැලිකඩදීය.

ලැබුණු ඔත්තුවකට අනුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක ආර්. එල්. ආර්. මධුරංග ඇතුළු නිලධාරින්ට කොටු වෙන්නේ මේ අතරය. ඒ හෙරොයින් ග්රෑම් හතයි මිලි ග්‍රෑම් අටසීයක් සමඟ නාරාහේන්පිට, කිතුල්වත්ත ප්‍රදේශයේදිය. ඔහු කොල්ලකෑ ජංගම දුරකතනවලින් 4ක් රාජගිරියේ නිවෙසකත් නාරාහේන්පිට කිතුල්වත්ත බොරැල්ල ප්‍රදේශයේ තිබි ජංගම දුරකතන තුනක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. කාන්තා අත් බෑග්වල තිබූ රන් බඩු බොරැල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලට උකස් කර තිබූ අතර ජංගම දුරකතන තුනක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ පිළියන්දල වෙළඳසැලකට උකස් කර තිබියදීය.

ඇපල් වර්ගයේ එම ජංගම දුරකතන සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ මුදල් නෝට්ටුවලින් රුපියල් ලක්ෂ පහක් ළඟ තබාගෙන සිටියදීය. එමෙන්ම වැල්ලවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බෑග් කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් සම්බන්ධයෙනි. ගලේවෙල, මීගලෑව පොලිසිය මඟින් බයිසිකල් සොරකමක් සම්බන්ධයෙන් නඩුවක් ඇති අතර නාකොටික් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකේන් ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම නිසාය. මේ වන විට එම නඩුවෙන් නිදහස් වී ඇති අතර පොලිසිය සැක කරන්නේ ඇතුළේ සිටියදී සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ වී ඇති බවටය. මොහු විසින් සිදු කරන ලද විවිධ පොලිසිවල අපරාධ 31 ක් මේ වන විට අණාවරණය වී ඇති අතර සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදි ඔහු විසින් මංකොල්ලකෑම් සිදු කරන දර්ශන දැක ගැනීමට හැකි වී තිබෙන්නේ ඔහුට ලබා දිය යුත්තේ පරිගණක උපාධියක් නොව කොල්ලකෑමේ උපාධියක් බව පැහැදිලි කරමිනි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි (පාලන) හෙට්ටිආරච්චි යන නිලධාරින්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, පොලිස් පරීක්ෂක ප්‍රියමන්ත, උප පොලිස් පරික්ෂකවරුන් වන ආර්. එල්. ආර්. මධුරංග, ජේ. සී. බණ්ඩාර, සැරයන්වරුන් වන 57241 උපුල්, 51273 බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 73011 සමන්, 74400 ජනිත්, 84333වික්‍රමනායක, 88139 ලසන්ත, 1117 මධුමාල්, 3122 උදයංග, 11509 චතුරංග, 91691 චතුරංග, 104158 කසුන්, 104139 මහආරච්චි, කොස්තාපල් රියැදුරු 96544 වීරරත්න යන නිලධාරින් මෙහි විමර්ශන සිදු කළහ.

 

Comments