
28න් කියන්නේ ජීවිතයක් අහිමි වීම අස්සේ තියෙන මියගිය ගැහැනියගේ කතාන්දරය
අනූව දශකයේදී වේදිකාගත වූ ‘‘සෙවණැලි සහ මිනිස්සු’’ වේදිකා නාට්‍යයෙන් කලාවට ප්‍රවේශ වූ ප්‍රසන්න ජයකොඩි සිනමාව සහ ටෙලි නාට්‍ය තුළ සිය නිර්මාණශීලි හැකියාවන් සළකුණු කළ සම්මානිත අධ්‍යක්ෂවරයෙකි. සංසාරේ දඩයක්කාරයා, 28, කර්ම, සංකාරා චිත්‍රපට තුළින් ප්‍රසන්නගේ සිනමා භාවිතාව මැනවින් පෙන්වන්නට සමත් විය. එම සිනමා නිර්මාණ තුළින් ලාංකේය සිනමාව ලෝක මට්ටමින් සම්මානිත කරවීමට ද ප්‍රසන්නට හැකි විය. ඉමදිය මංකඩ, සඳ අමාවකයි, හද විල සක්මන, නිසල විල ආදී ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක සිත් ආමන්ත්‍රණය කළ ප්‍රසන්න ජයකොඩි දශක දෙකක් වැනි කාලයක් පුංචි තිරයෙන් ඈත්ව සිට නැවත ‘‘එයා දැන් බැඳලා’’ ටෙලි නාට්‍ය සමඟ ප්‍රේක්ෂකයන් අමතමින් සිටි.
කාලෙකට පස්සේ නැවත ඔබ පුංචි තිරයට ඇවිත්, අපි එතැනින්ම කතාව පටන් ගමු
ඇත්තටම මේක අහම්බයක්. “එයා දැන් බැඳලා“ කියන්නෙ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් ලියපු පිටපතක් නෙවෙයි. නමුත් පසුගිය කාලේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා කාලයක් යනකම් සිනමාව අයේ කරගන්න බැරිවෙයිද කියන පීඩනය සිනමා නිර්මාණකරුවන් හැමෝටම තිබ්බා. ඒ එක්කම ඒ පීඩනෙන් මිදෙන්න නිර්මාණයක් කිරීමේ දැඩි වුවමනාවක් තිබුණා. එහි ප්‍රතිඵලයක් තමයි “එයා දැන් බැඳලා“ නිර්මාණය වුණේ. මම විශේෂයෙන් සැලකිලිමත් වුණා අවුරුදු 22කට පස්සේ ටෙලි නාට්‍යයක් කරන නිසා වඩාත් සැලකිලිමත් වුණා ඉස්සර කරපු ටෙලි නාට්‍යය සහ අලුත් නාට්‍ය අතර තියෙන කාල පරාසය ගැන. අද වෙද්දී මිනිස්සු ලඝු වෙලා තියෙනවා සෝෂල් මිඩියා එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා ඒ ගැනත් හිතලා නිර්මාණයක් කරන්නයි මට ඕනේ වුණේ. එහි ප්‍රථිඵල දැන් මට ලැබෙනවා දවසට එන ඇමතුම් තුළින් ලැබෙන ප්‍රතිචාර එක්ක.
මෙහි එන චරිත ඔබේ සිනමා කෘතියක් වන 28 තුළත් අපිට හමුවුණා. මෙය එහි අතීතකාමය ද?
ඔව් “28“ සිනමා කෘතියෙ ඉන්න ‘සුද්දි’ කියන චරිතය සිනමා කෘතියට එන්න කලින් ඒ කියන්නෙ සුද්දි විවාහ වීමට කලින් කතාව තමයි මේ ටෙලි නාට්‍යයට පාදක වෙන්නෙ. මම 28 චිත්‍රපටයේ කොටස් තුනක් ලියලා තිබ්බා. සුද්දිට සිරි හමුවෙන එක, සිරිව අත්හැරලා කොළඹ ගිහින් ජිවත් වීම සහ සුද්දී මැරුණට පස්සේ දේහය ගමට ගේන එක. ඒ අවසන් කොටස තමයි 28 තුළ තිබ්බේ. මම බලාපොරොත්තු වෙලා හිටියේ චිත්‍රපට තුනක් කරන්න. නමුත් කොවිඩ් කාලේ මට හිතුණා ඉන් පළමු කොටසින් ටෙලි නාට්‍යයක් කරන්න. ඒ අනුව මම නැවත පිටපත ලිව්වා. ටෙලි නාට්‍ය පිටපතක් සහ චිත්‍රපට පිටපතක් කියන්නේ දෙකක්.
තව කොටසක් ඉතුරුයි, ඒ තුළින් ඔබ නිර්මාණ කරන්නේ ටෙලි නාට්‍යයක් ද චිත්‍රපටයක් ද?
පුළුවන් නම් එය සිනමාවට ගේනවා. මේක වුණත් මම හිතන්නේ සම්පුර්ණයෙන් වෙනස් විදියට නැවත සිනමාවට ගෙන්න පුළුවන්. ටෙලි නාට්‍යය නම් ලොකුවට කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ටෙලි නාට්‍යයක් කරලා පෙන්නගන්න දරන්න ඕනේ උත්සාහය ෆිල්ම් එකක් පෙන්වනවාට වඩා අමාරුයි. ෆිල්ම් එකක් කළොත් අපි කැමති හෝල් එකක හරි පෙන්වන්න පුළුවන්. නැත්නම් තෘප්තියට හරි කාට හරි නිර්මාණය පෙන්වන්න පුළුවන්. මේක එහෙමවත් බැහැ. නාට්‍යයක් චැනල් එකකින් මිලදී ගන්නා පරිමාව මත නිර්මාණයේ වටිනාකම තීරණය වෙනවා. එතකොට අපි කොයිතරම් වියදම් කරත් ඒ වියදම ලඝු වෙනවා චැනල් එකේ හැකියාව මත. ඒ නිසා මේ වෙද්දී ටෙලි නාට්‍යය ප්‍රායෝගික නොවන තැනකට පත් වෙලා. ඒක නිර්මාණකරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. සමහර නිර්මාණ වල තියෙන දුර්ගුණවලටත් හේතුව බජට් එක සීමා සහිත වීම. වෘත්තිමය මට්ටමින් රැඳෙන්න ගියාමත් නිර්මාණවල ගුණාත්මකභාවය තියාගන්න අමාරුයි. මේ දවස්වල හැමෝම ඉන්නේ අඟහිඟතා මැද. ඒ නිසා දායක වෙන අයට නිසි ගෙවීම් කළ යුතු වෙනවා. අද තෘප්තියට පමණක් නිර්මාණ කරන්න බැහැ. ඔවැනි හේතු මත ආපහු ටෙලි නිර්මාණයක් කරනවද නැද්ද කියන එක හරියට කියන්න බැහැ. සුදුසු ඉඩහසරක් ආවොත් පමණක් නිර්මාණයක් කරනවා.
“28“ ට වඩා “එයා දැන් බැඳලා“ ප්‍රේක්ෂකයින් අතරට ගිහින් තියෙනවා නේද?
මගේ ඉලක්කය පොදු ප්‍රේක්ෂකයා. කුතුහලය, ගැටුම, මුල, මැද, අග මේ හැමදෙයක්ම ටෙලි නාට්‍යයේ තිබෙනවා. ඒ නිසාම එයා දැන් බැඳලා කියන්නෙ පොදු ප්‍රේක්ෂකයාගේ ටෙලි නාට්‍යයක්. හැබැයි 28 තුළ තියෙන්නේත් මෙයම තමයි. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ 28 පොදු ප්‍රේක්ෂකයා දැකපු නැති එක. අද වෙද්දී හැමෝම කතා වෙන්නේ මෙහි තියෙන දෙබස් සහ රංගනයන් ගැන. මම දකින විදියට 28 කියන්නේ ඉතා හොඳින් දිවිය යුතු චිත්‍රපටයක්. මෙහි තියෙන දෙබස් ඛණ්ඩම තමයි එහි තියෙන්නේ සහ එවැනි දෙබස් කාණ්ඩ තමයි ප්‍රචලිත වෙන්නේ. නමුත් චිත්‍රපටය තිරගත කරලා මාසයක් යන්න කලින් තව චිත්‍රපටයක් ගෙනත් දාලා බලෙන්ම 28 ගැලෙව්වා. ඒ වගේ අහේතුක දේවල් සහ ලැබුණු හෝල්වල දර්ශන වාරයන්හි වෙලාවන් නිතර වෙනස් කිරීම වගේ කාරණා එක්ක 28 ට හානියක් වුණේ නැත්නම් මෙහි සහ එහි ලොකු වෙනසක් නම් මම දකින්නේ නැහැ.
“එයා දැන් බැඳලා“ කොටස් කීයකින් සමන්විතද?
කොටස් 27යි. සමහර නාට්‍යය ඉදිරියට එන්න එන්න වටිනාකම් අඩුවෙනවනේ. හැබැයි කිව යුතුම කරුණක් වෙන්නේ මෙහි කොටසින් කොටස ඉදිරියට එද්දී තමයි මෙහි කතාව සහ සිද්ධි ගලායාමේ කුතුහලය එක්ක වටිනාකම් වැඩි වෙන්නේ.
සුද්දී හරහා සමාජගත කරන්නේ මොනවගේ දෙයක් ද?
මේක සුද්දීලාට විතරක් නෙවෙයි සමාජයේ පිරිමින්ටත් අදාළ කාරණයක්. ඉතිහාසය පුරාම අපේ තියෙන ප්‍රශ්නයක් තමයි ලිංගිකත්වය කියන එක. නමුත් ඕනෙම සතෙක් සහ ගහක මුලික සංසිද්ධිය තමයි වර්ගයා බෝ කිරීම. ගැහැනියක් මවක් වෙලා දරුවෙක් බිහිකරන එක ඉතාම හොඳ නම් ලිංගිකත්වය කියන්නේ එහි මූලාරම්භය. මේක මහ විකාර සහගත තැනක අපි සංස්කෘතියක් විදියට භාරගෙන තියෙනවා. මුළු සමාජයක, දේශපාලන සංස්කෘතික සහ සදාචාරය කියන දේවල් වැරදි තැන්වල පිහිටවලා ඒ තුළින් පීඩා විඳින බහුතරයක් ඉන්නවා. ඒ හැමෝටම තියෙනව ඇරියස් එකක්. 28 තුළින් ගෙනාවේ එහෙම ජිවිතයක් අහිමිවීම අස්සේ තියෙන මියගිය ගැහැනියගේ කතාන්දරය. මෙතන එන්නේ සම්මත පවුල් ජීවිතේට එහාට ගිහින් ගණිකාවක් කියන තැනට යොමු වුණු ගැහැනියක් නැවත එයාගේ ජිවිතේ ගොඩදාගෙන නැවත සම්ප්‍රදායික පවුල් ජීවිතේට එන්න හදනඑක ඇතුළේ මුළු සමාජයක්ම එකතු වෙලා නැවත පෞද්ගලික ගැහැනියක් වෙන්න ඉඩ නොදී පොදු ගැහැනියක් බවට අත්පත් කර ගන්න යන උත්සාහයක්. ඒ කියන්නේ සංස්කෘතිය සදාචාරය කියමින් තමයි ඒ තැනට නැවත ඒ ගැහැනිය පත් කරන්නේ. ඒ තුළ තියෙන අවුල් වියවුල් ටික තමයි නාට්‍යය හරහා සමාජගත වෙන්නේ. මේක ගැහැනිය සම්බන්ධව පමණක් නෙවෙයි සමාජය සම්බන්ධවම කෙරෙන ප්‍රකාශනයක්. මෙතන ලොකුම ප්‍රශ්නය තියෙන්නේ පිරිමියා අතර විතරක් නෙවෙයි මෙතන ගැහැනියත් වග කියන්න ඕනේ. ගැහැනිය පිරිමියා භාර ගන්න විදිය සහ ගැහැනියට දෙයක් සිද්ධ වුණාම ඊට විරුද්ධව නැගී නොසිට පුරුෂ මුලික බව ගැහැනිය විසින්ම ඉල්ලා සිටීමේ ස්වභාවය. කාන්තා සංවිධාන කියලා තියෙන දේවල් මඟින් පවා කරන්නේ බොරුවක්. මට මතකයි 28 තිරගත වෙද්දී කාන්තා සංවිධානවලින් ඉල්ලා සිටියා ඒ අයගේ කතිකාවන් වලට පාදක කරගන්න කියලා. නමුත් ඒ වෙනුවෙන් කිසිම ආයතනයක් පෙනී සිටියේ නැහැ. චිත්‍රපටය ගැලවුණාට පස්සේ ෆිල්ම් එක ඉල්ලුවා ඒ අය ට තැන් තැන්වල පෙන්වන්න. අන්න ඒ වගේ වෙන වෙන ඇජෙන්ඩා තමයි තියෙන්නේ.
සිනමාවට වඩා පුංචි තිරය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න හැකි වීම ගැන මොකද හිතෙන්නේ
ඒක ඉතා යහපත් දෙයක්. මම 28 චිත්‍රපටය සහ “එයා දැන් බැඳලා“ නාට්‍යය හැදුවේ වෙන කොහෙවත් පෙන්නලා සම්මාන ගන්න නෙවෙයි. මේ රටේ ප්‍රේක්ෂකයන් උදෙසා. ඒ නිසා මේ වෙලාවේ හිතෙන්නේ කොච්චර කරදර මැද හරි ටෙලි නාට්‍යයක් නිර්මාණයක් වීම ඉතා හොඳයි කියලා. එක අතකින් ආර්ථික අපහසුතා මැද සිනමා නිර්මාණ රසවිඳින්න මුදලක් වෙන් කරන්න බැරි වෙලාවක පුංචි තිරය කියන්නේ ප්‍රේක්ෂකයන් අතරට යන්න තියෙන වපසරිය වැඩි මාධ්‍යයක්. ඒ නිසා ඉස්සරහටත් රූපවාහිනී සහ සෝෂල් මීඩියා කියන මාධ්‍යය භාවිතා කරන්න වෙයි පොදු ප්‍රේක්ෂකයා අමතන්න.
මේ මොහොතේ සිනමාව ගැන, ප්‍රේක්ෂකයා ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ
එක්තරා විදියකට නැවත සිනමාව වෙත ප්‍රේක්ෂකයන් එන ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. හේතුව මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලින් මඳකට හරි මිදෙන්න පුළුවන් මාධ්‍යයක් සිනමාව. ඉන්දියාවේ වගේ රටක කොච්චර දුප්පත් වුණත් දෛනික ආදායම් ලබන මිනිස්සු තමයි වැඩිපුරම ෆිල්ම් බලන්නේ. ඒ අය ෆිල්ම් බලන්නේ සැබෑ ජිවිතේ ළඟා කර ගන්න බැරි සිහින දකින්න. මේ වෙලාවේ සරල රසවින්දනයක් ලබන්න පුළුවන් චිත්‍රපටවලට වැඩි නැඹුරුවක් තියෙනවා. ප්‍රේක්ෂකයාට ඕනේ තව තව ප්‍රශ්න හිතන්න නෙවෙයි. ඔවුන් මේ වෙලාවේ සිනමාව තෝරා ගන්නේ ප්‍රශ්න වලින් මොහොතකට මිදිලා තෘප්තියක් ලබන්න.