සමාජ මාධ්‍යය මොන කතා හැදුවත් මම ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ | Page 2 | සිළුමිණ

සමාජ මාධ්‍යය මොන කතා හැදුවත් මම ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ

ලෝකයේ ඉන්න ජනප්‍රිය පුද්ගලයින් එක්ක බලද්දී මම නිකම් දූවිල්ලක් විතරයි

ප්‍රේක්ෂකයා අමතක කරලා අපිට ඕනේ ගමන් යන්න බැහැ

නතාෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් නතාෂාව පහුගිය කාලේ නම් අලුත් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. මේ දවස්වල මොකද වෙන්නේ කියලා දැන ගන්න අපි නතාෂා රසඳුන සමඟ කතාබහකට එක්කර ගත්තා.

 

නතාෂා කාලෙකින් දැක්කේ, කොහෙද ගිහින් හිටියේ?

මේ අවුරුද්දේ වැඩි කාලයක් හිටියේ නම් ඔස්ට්‍රේලියාවේ. මාස දෙකක් වගේ කාලයක් තමයි ලංකාවේ හිටියේ. ටික කාලයක් ලංකාවේ ඉන්න හිතාගෙන ආවේ. ඒ ගමන් වැඩ ටිකක් කරලා යන්න තමයි හිතුවේ.

අද වෙද්දී ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අලුත් අලුත් නිර්මාණ කරනවා, ඒවා ට්‍රෙන්ඩින් වෙනවා. ඒ දේවල් දකිද්දී නතාෂාගේ කාලය අපරාධෙ කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම නැහැ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මම පොඩ්ඩක් කම්මැළි. එහෙම නැතුව ඔහොම හිතනවා නම් මමත් ඉක්මණට වැඩ කරනවනේ. හැබැයි මම මේ කාලේ එන නිර්මාණ බලනවා. අපි මේ ක්ෂේත්‍රයට එද්දී තිබ්බ විදිය නෙවෙයි දැන්. කාලයත් එක්ක ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා. ඒ හරහා කරන නිර්මාණ අඳින ඇඳුමේ සිට වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා ඒ වෙනසට මමත් අනුවර්තනය වෙන්න ඕනේ කියලා. මම මේ සැරේ උත්සහ කරනවා යම් කිසි වෙනස් නිර්මාණයක් කරන්න.

ඔබ දිගු කලකින් නිර්මාණ නොකළත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අඩුවෙලා නැහැ නේද?. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒක තමයි ලොකුම වාසනාව. මොකද අවුරුදු 20කට කලින් සුළඟක් වී මං යනවා ගීතය ගායනා කළේ. අදටත් ඒ ගැන කතා වෙනවා. ඒක ලොකුම භාග්‍යක්. මම අඳින විදියට හෝ මගේ හමේ පාටට එක එක ඒවා කිව්වට මට ආදරේ කරන අයගේ අඩුවක් නැහැ. දවසින් දවස වැඩිවෙනවා මිස.

නතාෂාත් නිහඬයි, ප්‍රිහානුත් නිහඬයි. දෙන්නම කම්මැළි ද?

ඒකට නම් එයා තමයි උත්තර දෙන්න ඕනේ. මගේ පැත්තෙන් නම් මගේ තිබ්බ පොඩි කම්මැළිකම වගේම ලංකාවෙන් පිට හිටිය එකත් නිර්මාණ නො‍ෙකරෙන්න හේතු වුණා.

ගොඩක් අය ලංකාවෙන් යන කාලෙක තමයි නතාෂා ලංකාවට එන්නේ?

මම ලංකාවෙන් පිට හිටියට මගෙ හිත හැමදාම තිබ්බේ ලංකාවේ. කොයි වේලාවේද ලංකාවට යන්නේ කියලා හිත හිතා හිටියේ. නමුත් මම ලංකාවට එන්න හදද්දී ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි මේ වෙලාවේ ලංකාවට යන්නේ කියලා. (දැන් මට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය තියෙන්නේ.) ඒ නිසා මේ වගේ කාලයක ලංකාවට ඇයි එන්නේ කියලා ඇහුවා. මම හිතුවේ මොනවා වුණත් මම ඉපදුණේ නැති වුණාට මේ මම හැදුණු වැඩුණු රට. ඒ නිසා ඒක හරියට මට දැනුණේ අපි දන්නා කෙනෙක් අසනීපයෙන් ඉන්නකොට ඇයි බලන්න යන්නේ වගේ. ලංකාව දැන් ලොකු අර්බුදයක තියෙන්නේ. අපි හැමෝම ලොකු සටනක ඉන්නේ. මම ලංකාවට ඇවිත් සංචාරය කරද්දී, ඒ හෝටල්වල අය මාව හදුනාගෙන මා එක්ක හොඳින් කතා කළා. ඒ අය කිව්වෙත් මේ වගේ කාලයක ආව එක ලොකු සතුටක් කියලා. රටින් පිටට යන්න පුළුවන් අය යනවා. එහෙම බැරි අය මොකද කරන්නේ. ලංකාව ගොඩ ගන්න ඕනේ අපි අපිම එකතු වෙලා. ඒ නිසා තමයි මේ සැරේ ලංකාවට ආවේ.

මෑතක දී රංගනයට ආරාධනාවන් ලැබුණේ නැද්ද?

මම ලංකාවට ආවා කියලා දැන ගත්ත ගමන් මට පිටපතක් එවලා තිබුණා. නමුත් මට ඒකට බෑ කියන්න වුණා. ඒකට හේතුව චරිතයක් භාර ගත්තට පස්සේ මැදදි දාලා යන්න බැහැනේ. ඒක ලොකු වගකීමක්. ඒ නිසා දැනට නම් මම කිසිම නිර්මාණයක් භාර ගත්තේ නැහැ.

ඒ කියන්නේ මෙගා නොවන වැඩකට නම් ඉඩක් තියෙනවා කියන එකද?

අනිවාර්යෙන්ම. මම ආසයි මාව මේ දකින සැබෑ ස්වරූපයට වඩා වෙනස් විදියකින් දකින්න හැකි නිර්මාණයක් කරන්න.

සමාජ මාධ්‍යය තුළ පැතිරෙන දේවල් නිසා හිත රිදුන තැන් තියෙනවද?

මම ඒ දේවල් ලොකුවට හිතන්නේ නැහැ. කියන කෙනාට කොහොමත් දේවල් කියන්න පුළුවන්. ලෝකයේ ඉන්න ජනප්‍රිය පුද්ගලයන් එක්ක බලද්දී මම නිකම් දූවිල්ලක් විතරයි. ඒ අයටත් සමාජ මාධ්‍යය තුළ එක එක දේවල් පැතිරෙනවා නම් අපිට නැති වෙයි ද?

නතාෂා කියන්නේ ස්වාධීන චරිතයක් ද?

දැන් මම හරිම ස්වාධීන කෙනෙක්. මම එහෙම කියන්නේ මම අද යම් තැනක ඉන්නවා නම් එහි සම්පූර්ණ ගෞරවය අයිතිය හිමිවෙන්නේ මගේ අම්මිට. මම මේ කලා ක්ෂේත්‍රය ගැන කිසි දෙයක් දන්නේ නැති කාලයක මාව මේ ක්ෂේත්‍රයට ගේන්නේ ඇය. සුළඟක් වී සින්දුව නිර්මාණය කිරීමේ මූලික අදහස වුණේ අම්මි. ඒ එක්කම අපි මේකට එඩ්වඩ් ජයකොඩි මහතාට ආරධනා කරමු කියලා ආවෙත් අම්මිගේ පැත්තෙන්. එතනින් පස්සේ තමයි මාව කලාවට විවර වෙන්නේ. ඒ නිසා මගේ ජිවිතේ මගේ පිටුපස හිටියේ ඇය. නමුත් ඇය දැන් මා එක්ක නැහැ. දැනට අවුරුද්දකට කලින් ඇය නැති වුණා. ඒක මට ලොකුම පාඩුවක්. ඉස්සර මම ස්වාධීන චරිතයක් නෙවෙයි හැමදේම අම්මි මත හිටිය කෙනෙක්. ඇය හරිම ශක්තිමත් ස්වාධින කෙනෙක්. පිරිමි දහයකගේ ශක්තියක් තියෙන ගැහැනියක්. මම ඒ දේවල් දැක්ක නිසා මම හිතනවා මටත් දැන් අම්මිට තිබ්බ ශක්තිය ඇති කියලා.

නතාෂා බොහෝ වෙලාවට ප්‍රිහාන් ගැන කියන්නේ හෝ දෙන්නගේ ජායාරූප එහෙම සමාජ මාධ්‍යයට එක් කරන්නේ නැහැ. හේතුවක් තියෙනවද?

හේතුවක් නෙවෙයි. ඒ මගේ පෞද්ගලිකත්වය. පෞද්ගලික ජිවිතේ බෙදා හදා ගන්න ඕනේ තැන් තියෙනවා තමයි. නමුත් සමාජ මාධ්‍යය තුළ ඒ අයට කැමති දේවල් දැම්මත්. මොන කතා හැදුවත් මම ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවට පස්සේ මම ජිවිතේ තුළ ලබා ගත්ත දේවල් සහ මට ලැබුණු දේවල් කියන්නේ මගේ කර්ම ශක්තිය මත මට හිමි දේවල් නිසා සියල්ල ගැන උපේක්ෂාවෙන් බලන්න අද මට පුළුවන්.

නතාෂාට ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවද?

මුලින්ම කියන්න ඕනේ අවුරුදු 20ක් පුරා මට ආදරේ දෙමින් මට විහිළුවට හරි මොනවා හරි කියමින් මගේ ළඟින් හිටිය හැම කෙනෙක්ටම හිස නමා ආචාර කරනවා. ප්‍රේක්ෂකයා අමතක කරලා අපිට ඕනේ ගමන් යන්න බැහැ. අපිට ආදරේ දෙනතාක් අපිව ඔවුන් පිළිගන්නාතාක් තමයි අපි ඉන්නේ. සමහර අය හිතනවා මම හරි ආඩම්බරයි කියලා. මමත් ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා මෙච්චර කල් දුන්නු ආදරේටත් ස්තුතියි. ඉදිරියටත් මා එක්ක ඉන්න. 2023ට දැනට මම කරපු නිර්මාණයක් තියෙනවා. ඒක ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න මම සූදානමින් ඉන්නවා.

Comments