
ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ වෙනස්ම නාට්‍ය අත්දැකීම් දෙකක් දැක බලා ගැනීමට වේදිකා නාට්‍යයට ඇලුම් කරන ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව උදා වී තිබෙනවා. ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසයට නව මානයක් එක් කරමින් අපේ රටේ නාට්‍යය ලෝකයට අරගෙන යන්නේ Inter Act Art ආයතනයෙහි අධ්‍යක්ෂ, නාට්‍යවේදී එම්. සෆීර්. සමඟ රසඳුන මේ කතාබහ දෙසැම්බර් 13 සහ 14 දෙදින තුළ ප්‍රේක්ෂකාගාරයට විවර වන Mono Drama ද්විත්වය ගැන....
*මේ කාලය ගත්තම බොහොමයක් නාට්‍යය වේදිකාගත වෙනවා, වේදිකාවට වසන්තය උදා වෙලාදෝ කියලා හිතෙනවා. ඇත්තටම මේ කාලය වේදිකාවට සුබද?
සුබද අසුබද කියන එකට වඩා බැලූ බැල්මට වේදිකා නාට්‍යය ගොඩක් ශාලාවල වේදිකාගත වෙනවා. වේදිකා නාට්‍යය බලන්න ප්‍රේක්ෂකාගාරයක් එමින් පවතිනවා. මේ තමයි අපි මීට අවුරුදු දෙක තුනකට කලින් කිව්වේ කලාව සෞන්දර්ය මේ කිසිවක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ කියලා. ඒක මිනිසුන්ට කරන චෝදනාවක් නෙවෙයි. කලාව සෞන්දර්යයෙන් තොරව ජීවිතයක් නැහැ කියන එක තමයි දැන් මේ තේරෙන්නේ. මේ දවස්වල අති විශාල නාට්‍යය සංඛ්‍යාවක් වේදිකාගත වෙනවා. බොහෝ රංගශාලාවල දිනත් නැහැ. ඉන් අදහස් වෙන්නේ කුමන හෝ ආකාරයකට ප්‍රේක්ෂක සහභාගිත්වයක් තියෙනවා කියන එක. නාට්‍යයකරුවෙක් හැටියට ඒ සම්බන්ධව මට තියෙන්නේ විශාල සතුටක්. හැබැයි මගේ නාට්‍යයකට හෝ වෙන කෙනකුගේ නාට්‍යයකට සෙනඟ ආවා කියන එකේ අදහස නාට්‍යය කලාව දියුණු වුණා කියන එක නෙවෙයි. පසුගිය අවුරුදු තුන ගත්තම නාට්‍යය කලාවට තමයි බරපතල විදියටම පහර වැදුණේ. මේක වෘත්තිමය කලාවක් නෙවෙයි. මේ සඳහා කිසිම සහයක් කිසිම පැත්තකින් ලැබුණේ නැහැ. ඉතින් එහෙම තියෙද්දී නාට්‍යයකරුවන් ස්වඋත්සාහයෙන් ටික නැවත නැගිටීම සහ ඒ ආගමනය මම විශ්වාස කරනවා ඉතාම වැදගත් කියලා මේ මොහොතේ රටට.
*ඔබේ නාට්‍යය නිෂ්පාදන දෙකක් ඉදිරියට වේදිකාගත වෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්
මේ දෙසැම්බර් 13 සහ 14 කියන දවස් දෙකේ Inter act Art Theatre හි නිෂ්පාදන දෙකක් අපි රංගගත කරනවා. ඒ Untouched නාට්‍යය සහ Love and Lockdown නාට්‍යය. මේ නාට්‍යය දෙකේ තියෙන විශේෂත්වය තමයි මේ නාට්‍යය Monodrama, ඒ කියන්නේ ඒකපාත නාට්‍යය වීම. එක නළුවෙක් හෝ නිළියක් පමණයි නාට්‍යයේ රංගනයේ යෙදෙන්නේ.
දෙවැනි විශේෂත්වය තමයි Untouched කියන නාට්‍යය පිටපත ලියා අධ්‍යක්ෂණය කරන්නේ සුජීව පතිනිසේකර. මේ Untouched කියන නාට්‍යය තමයි ගිය අවුරුද්දේ ලෝකයේ රටවල් 302කින් ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍යය උලෙළේ දී හොඳම නාට්‍යය බවට පත්වුණේ. නාට්‍යය ඉතිහාසයේ නාට්‍යයකට ලබන්න පුළුවන් ඉහළම සම්මානය මේ රටට ගෙනත් දෙන්න පුළුවන් වුණු නාට්‍යය. ඒ Untouched කියන නාට්‍යය තමයි 13 වෙනිදා වේදිකාගත වෙන්නේ. එහි රංගනයෙන් දායක වෙන්නේ සුබුද්ධි ලක්මාලි. රංග වින්‍යාසය සහ පසුතල නිර්මාණය සිදු කරන්නේ මම. සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය එම්. සෆ්රාස්, එම්. ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි. ඒ එක්කම ගිය වසරේ පැවති රාජ්‍යය නාට්‍යය උලෙළේ දී සුබුද්ධිව හොඳම නිළිය විදියට නිර්දේශ වුණා.
14 වෙනිදා වේදිකාගත වෙන්නේ මගේ නාට්‍යය ජීවිතේ 50 වැනි නාට්‍යය නිර්මාණය වන Love and Lockdown නාට්‍යය. මේ නාට්‍යය මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී අපි ජාත්‍යන්තර මංගල දර්ශනය පෙන්නුවේ තුර්කියේ අදානා ජාත්‍යන්තර නාට්‍යය උළෙලේදී. එතකොට මේ තුර්කියේ අදානා ජාත්‍යන්තර නාට්‍යය උළෙලට නාට්‍යය 30ක් ඇතුළත් වුණා. ඉන් 25ක් තුර්කියේ ජාතික රඟහල්වල් 25ක නාට්‍යය. තව නාට්‍යය තුනකට තමයි ඒ අය පිටරටින් ආරාධනා කරලා තිබුණේ. ඒ ආරාධනා කරලා තිබුණ නාට්‍යය තුනෙන් මුළු ආසියාවෙන්ම තෝරා ගෙන තිබුණේ මගේ මේ Love and Lockdown නාට්‍යය. ඊට අමතරව ප්‍රංශයෙන් සහ ජෝර්ජියාවෙන් විතරයි නාට්‍යය දෙකක් අරගෙන තිබුණේ. ඒ විදියට මුළු ආසියාවෙන්ම තෝරාගත් Love and Lockdown නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වුණේ අදානා ජාතික රඟහලේ දී. එතකොට දන්න අය දන්නවා ජාතික රඟහලක නාට්‍යයක් පෙන්වීමට නාට්‍යයකරුවෙක්ට ලැබෙන අවස්ථාව කොච්චර වටිනවද සහ ආසියාවෙන්ම මේ නාට්‍යය පමණක් තෝරා ගැනීම තුළ මේ නාට්‍යය තුළ තියෙන සුවිශේෂී බව. Love and Lockdown නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්නෙත් සුබුද්ධි ලක්මාලි. එය රචනා කරන්නේ ප්‍රසාද් වික්‍රමරත්න කියන නාට්‍යය රචකයා. පරිවර්තනය ආචාර්ය ලයනල් ද සොයිසා. ආලෝකකරණය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර. නර්තන නිර්මාණය, ඇඳුම් නිර්මාණය එම්. සෆීර්. ඡායාරූප අතුල රණරාජා. වේදිකා කළමනාකරණය එම්. සෆ්රාස්, එම්. ශාරෆ්. සංගීතය හේෂාන් කුරුප්පු.
මෙන්න මේ සුවිශේෂීතා සහිත නාට්‍යය දෙක. අපි විශ්වාස කරනවා මේ නාට්‍යය දෙකම මේ රටේ ප්‍රේක්ෂකයන් බැලිය යුතුයි කියලා. ඒ නිසා තමයි අපි මේ නාට්‍යය දෙකම දෙසැම්බර් 13 සහ 14 කියන දවස් දෙකේ එක දර්ශන වාරයක් විදියට හැන්දෑවේ 7ට එල්ෆිල්ස්ටන් රඟහලේදී පෙන්වන්න තීරණය කළේ.
*ඕනෙම කලා නිර්මාණයක ජීවය බවට පත් වෙන්නේ ප්‍රේක්ෂකාගාරය. ඒ නිසා මේ මොහොතේ ඉන්න පොදු ප්‍රේක්ෂකාගාරයට මොන වගේ ඇරයුමක් ද කරන්නේ.
ඕනෙම නාට්‍යයකරුවෙක්ට නාට්‍යයක අවසාන ඵලය ඉතුරු වෙන්නේ ප්‍රේක්ෂකාගාරය ඇතුළේ. ප්‍රේක්ෂකාගාරයක් නැත්නම් ඒ නාට්‍යය ලෝකයේ මොන තරම් හොඳ නාට්‍යයක් වුණත් වැඩක් නැහැ. මම කියන්නේ මේ නාට්‍යය දෙක ගෝලීය වශයෙන් යම්කිසි තැනක තියෙනවා. ඒක කියන්නේ මමනේ. මම මේ කියන්නේ ඇත්තද කියලා ඇවිත් බලන්න කියලයි මම කියන්නේ. ඒත් එක්කම මෙතන නාට්‍යය දෙකක් තියෙනවා එකක් සුජීව පතිනිසේකරගේ. අනිත් එක මගේ නාට්‍යය. සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා එම්. සෆීර්ගේ වැඩ හරි වෙනස්, හරි අලුත්. මම මේ නැවත කියන්නේ මේ වෙනස් සහ අලුත් කියන නාට්‍යය අත්දැකීම අත්විඳින්න මට ප්‍රේක්ෂකයන් ඉන්න ඕනේ.
ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ට තමයි ආදරෙන් ආරාධනා කරන්නේ මේ වෙනස නැවුම් බව වේදිකාව ඇතුළේ කළ නොහැකි යැයි කියන සමහර දේවල් අපි වේදිකාව ඇතුළේ අත්හදා බලලා තියෙනවා. ඒ දේවල් ඇවිත් බලන්න. හොඳම උදාහරණය තමයි පැය එකයි කාලක් එක නළුවෙක් ප්‍රේක්ෂකයාට එපා නොවෙන්න රංගනයේ යෙදෙනවා කියන ප්‍රාතිහාරයම ඇති මේ නාට්‍යය ද්විත්වය බලන්න එන්න.