ටෙලි නාට්‍ය කලාවේ වර්ණවත් රාත්‍රිය රයිගම් ටෙලීස් 2023 මාර්තු 25දා | සිළුමිණ

ටෙලි නාට්‍ය කලාවේ වර්ණවත් රාත්‍රිය රයිගම් ටෙලීස් 2023 මාර්තු 25දා

 ලංකාවේ රුපවාහිනි ක්‍ෂේත්‍රයේ ද උන්නතිය උදෙසා අඛණ්ඩව 19 වන වරටත් පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ 2023 මාර්තු 25 කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වේ. එමෙන්ම පළමු වරට නිර්දේශිත නාම ප්‍රසිද්ධියට පත් කරමින් ශ්‍රී ලාංකීය සම්මාන ජාත්‍යන්තර ප්‍රමිතියක් ලබා දෙමින් පවත්වනු ලබන නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළ 2023 පෙබරවාරි 24 දින බත්තරමුල්ල, වෝටර්ස් - එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

 

රයිගම් ටෙලීස් උලෙළේ සම්මාන පරාසය පුළුල් කළද ටෙලි නාට්‍ය සඳහා ප්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇති හෙයින් පසුගිය වර්ෂවලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම මෙවරත් පිරිනමනු ලබයි.

19 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය දස දෙනකුගෙන් සමන්විත වන අතර ඉකුත් වසරේ එහි සභාපතීත්වය දැරූ බුද්ධදාස ගලප්පත්ති මහතා මෙවර ද විනිශ්චය මණ්ඩල සභාපතීත්වය දරනු ලබයි. සෙසු සාමාජිකයන් වන්නේ, මහාචාර්ය රෝහිණී පරණවිතාන, රවීන්ද්‍ර ගුරුගේ, හංසමාලා රිටිගහපොල, ජයනාත් ගුණවර්ධන, අරුණ ගුණරත්න, රංග දසනායක, සමන් වික්‍රමාරච්චි, චම්මින්ද වෙලගෙදර සහ අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මින්ය.

මෙවර 19 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළට පෙර පැවැති සම්මාන උලෙළ සේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා සම්මාන 20ක් ද රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සම්මාන 20 ක් ද ඇතුළත්ය. වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, පාඨක මනාප අනුව තෝරා ගැනේ.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උලෙළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක. 2023 පෙබරවාරි මස 24 දින සිට 2023 මාර්තු මස 24 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකතන අංක ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

මේ අතර ජනගත සම්මාන කුලකය පසුගිය උලෙළේ සිට අලුතින් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලි නාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත. ප්‍රජා විද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශ්වකරුවන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන තිබේ.

ජනගත කුලකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2023 පෙබරවාරි මස 23 වන දිනට පෙර තම අයදුම්පත් යොමු කළ යුතුය.

- වඩාත් ජනගත ටෙලි නාට්‍යය

- වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන

- වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය

එසේම රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ දී රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මානයද මෙවරත් පිරිනැමේ. මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමේ (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත. මෙම සම්මාන උලෙළේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයදුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2019, 2020 සහ 2021 උලෙළවල ජයග්‍රාහකයන්ට නැවත අයදුම් කළ නොහැක.

රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබා දුන් කලා ශිල්පීන් හා පුරෝගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උලෙළේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම රූපවාහිනී තාක්‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ වූවන්ද විය. මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි.

සම්මාන ජයග්‍රහණය කළ ද නොකළ ද සියලුම නිර්දේශලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමඟ රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කරනු ලබයි. එමෙන්ම ටෙලි හෝ චිත්‍රපට සම්මාන උලෙළක් අරඹයා ශ්‍රී ලංකාව තුළ නිර්දේශලාභීන් මෙසේ ඇගයෙන එකම උළෙල රයිගම් ටෙලි සම්මාන උලෙළයි. මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාදවලට අමතරව, රයිගම් ටෙලීස් උලෙළේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය වසර 12 මුළුල්ලේ උලෙළේ සම හවුල්කාරීත්වය දරන්නේ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ මොබිටෙල් වන අතර උලෙළේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයදුම්පත් භාර ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මඟිනි. සියලු අයදුම්පත් අදාළ නාලිකා ප්‍රධානී විසින් සලකා බැලෙන වර්ෂයට අදාළව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර සම්මාන උලෙළ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතා වැඩි විස්තර ලබා ගත හැක. උලෙළ සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම් පත්‍රයක්ද සමඟ යොමු කළ යුතු වන අතර අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPEG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංඛ්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් Lapro Technologies, අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැඟිල්ල,කොළඹ 03. Fox ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව Keells Super ඉදිරිපිට) යන ස්ථානවල පිහිටි රයිගම් ටෙලීස් නිර්මාණ බාර ගැනීමේ විශේෂ කාර්යාල වෙත භාර දිය යුතුය.

 

 

 

Comments