ජීවිතයක් බිලිගත් කෙසෙල් පැළ ආරවුල | Page 2 | සිළුමිණ

ජීවිතයක් බිලිගත් කෙසෙල් පැළ ආරවුල

 

අක්මීමන හියාරේ කෝසල කුමාර ජීවිතක්ෂයට පත්වන්නේ අනුන්ගේ අරවුලක ප්‍රතිඵලයක් ලෙසයි

 

‘‘ඔය ගුටි බැට ඇනගැනිල්ල නතර කරපල්ලා... අනුන්ගේ ඉඩම්වල කෙසෙල් හිටෙව්වනං ඒවා ගලවලා දානන්න ඕන... නමුත් මේ ඥාති ඥාති එක්ක පොඩි පොඩි ප්‍රශ්නවලට පිටින් මිනිස්සු ගෙනල්ලා ලොකු ආරවුලක් කරන්න එපා...“

එසේ කියමින් ලොකු ආරවුලක් බවට පත්වන්නට ගිය ගුටිබැට හුවමාරුවක් නතර කර දැමීමට උත්සාහ ගත් 'කෝසලට' එම ආරවුලට පිටින් ආ අයෙක් එල්ල කළ තියුණු ආයුධ පහර කීපයක් නිසා සිය ජීවිතයෙන් සමු ගන්නට සිදු වුයේ නොසිතු ලෙසය. මෙසේ ඝාතනය වුණේ ගාල්ල දිශාවේ අක්මීමන හියාරේ නටදළුව පදිංචි සිවු දරු පියකු වන පනස් දෙහැවිරිදි ගල්කැටිය ගමගේ කෝසල කුමාරය.

අක්මීමන හියාරේ ඉහළ ග්‍රාම නිලධාරී වසමේ 'දොලිහල' නැමති ප්‍රදේශයේ ඉඩම් හිමියකුගේ ඉඩමක එම්.කේ.ජී.රවීන්ද්‍ර කෙසෙල් ගස් කීපයක් සිටුවීමෙන් ඇති වූ ආරවුලෙන් කෝසල කුමාරට ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය. රවීන්ද්‍ර ඔහුට හිමි නැති ඉඩමක මෙසේ කෙසෙල් ගස් කීපයක් සිටුවීම නිසා එම ඉඩම් හිමියා ඒ සඳහා විරෝධය දක්වා කෙසෙල් ගස් ගලවා දමන්නට යයි දැනුම් දුන්නේය. එහෙත් රවීන්ද්‍ර කෙසෙල් ගස් ගැලවීමට පියවර නොගැනීම නිසා නැවතත් ඉඩම් හිමියාගේ පුත්‍රයෙක් පැමිණ රවීන්ද්‍රට එම කෙසෙල් ගස් ටික ගලවන්නට කියා ඇතත් දින කීපයක් ගත වුවත් ඔහු කෙසෙල් ගස් ගැලවූයේ නැත.

ඒ අතරතුර ඉඩමේ හිමිකරු රවීන්ද්‍ර සිටුවා තිබුණු කෙසෙල් ගස් කීපයක්ම කපා දමා අනෙක් ගස් ගලවා ඉවත්කර ගන්නැයි රවීන්ද්‍රට නැවතත් කීවේය. කෙසේ වුවද රවීන්ද්‍ර එම කෙසෙල් ගස් ගැලවීම සිදු නොකළ නිසා ඉඩම් හිමියාගේ පුත්‍රයෙක් නැවත රවීන්ද්‍ර හමුවීමට පැමිණ කෙසෙල් ගස් ටික ගලවන්නේ නැද්දයි අසා ඇත. එහි දී රවීන්ද්‍ර කෙසෙල් ගස් ගලවන්න තමාට වුවමනාවක් නැතැයි යන්න පැවසීමෙන් ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට දක්වා ඉහළ ගියේය. මේ සිද්ධිය වූ දින පස්වරු පහට පමණ මෙසේ ඔවුන් ගුටි ඇනගත් අතර එය එසේ අවසන් වී රවීන්ද්‍ර තම නි‌ෙවසට ගියේය. ගැටුමට සම්බන්ධ අනෙක් අයද වෙනදා මෙන් කාලය ගතකළද රවීන්ද්‍ර පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර නි‌ෙවසට පැමිණ තම යහළුවන් කීපදෙනකු සමඟ මධුවිත පානයට එක් වීය. මධුවිත පානයෙන් පසුව නැවතත් රවීන්ද්‍ර ඔවුන් සමඟ සිය නි‌ෙවසට පැමිණ එදින සවස ගුටිබැට හුවමාරුව සිදු වූ ස්ථානයේ සිට නැවතත් එම ප්‍රශ්නය මතුකර කෑකෝ ගැසුවේය. ඒ අවස්ථාවේ සවස සිද්ධියට සම්බන්ධ වූ කිසිවෙක් එතන නැති නිසා අසල නි‌ෙවසක පදිංචි කෝසල කුමාරට කතා කර මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට නොයෙකුත් දේ පවසා නැවතත් තමාගේ නි‌ෙවසට ගියේය. ඒ වන විට කෝසල කුමාරගේ පුතු සහ ඔහුගේ මිතුරා කඩේට ගොස් පැමිණ නි‌ෙවසට ගොඩ වන්නට යන විට රවීන්ද්‍ර සමඟ පැමිණි පිරිස කෝසලගේ පුතු දෙසට යන්නේ ආරවුලක පැටලිමට මෙනි. එහි දී කෝසලගේ පුතු සහ මිතුරා සමඟ ඔවුන් වචන හුවමාරුවක් කර ඇති අතර එකවරම කෝසලගේ පුතු දිමුතු මදුෂාන්ට මන්නා පාරක් එල්ල කර ඇත.

එහි දී කෝසලගේ පුතු දිමුතු ඔහුට එල්ල වූ පහර වළකා පහර එල්ල කළ අයත් සමඟ පොරබදා ආයුධය බිමට දමාගන්නටත් පසුව දෙපයින් වෙනත් තැනකට විසි කරන්නටත් කටයුතු කළේය. කෝසලගේ පුතුට එසේ එක් අයෙක් පහර දෙන විට අනෙක් අය කෝසලගේ මිතුරා වන කෙසෙල්ගස් සිටුවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ අයගේ පුතුට පහර දෙනු ලැබීය. ඒ අවස්ථාවේ මේ ගුටිබැට හුවමාරුව සිදුවන විට කෝසල පැමිණ තත්ත්වය සමථයකට පත් කරන්නට හැකි අයුරින් කටයුතු කළද ආයුධයකින් තම පුතුට පහරදීම පිළිබඳ යම් තරහක් ද කෝසලට ඇතිවිය. එහි දී පිටතින් පැමිණි එක් අයෙක් අල්ලාගත් පිරිස ඔහුගෙන් තවත් ආයුධ තිබේද යන්න ප්‍රශ්න කළේය. එසේ අල්ලාගත් හේවා උඩවත්තගේ රුක්ෂිත මදුෂාන් තවත් ආයුධයක් ඇති බව පවසන්නේ එවිටය.

ඒ මොකක්දැයි අසමින් ඔහු සහ එතන පිරිස සිටින අවස්ථාවේ කෝසල කුමාර එතනින් බැහැරට දිව ගිය දෙදෙනෙක් පසුපස දිවගියේ ඔවුන් අත ගිනිඅවියක් වැනි ආයුධයක් ඇතැයි සිතමින් එය ගැනීමට බව පවසයි. එහෙත් සිද්ධිය වූ ස්ථානයෙන් මීටර් 30 - 40 ක් ඈතදී සිද්ධිය සිදුවන ස්ථානයෙන් බැහැරට දිව ගිය සම්පත් සහ හේවා උඩවත්තගේ මහේෂ් චාමර, කෝසල කුමාර අල්ලාගෙන ඔහුට තියුණු ආයුධ පහර එල්ලකර ඇත. තියුණු ආයුධයෙන් පහර කෑ කෝසල කුමාර එම ස්ථානයේම ඇද වැටුණු අතර ආයුධ පහර එල්ල කළ දෙදනා එම ස්ථානයෙන් පලා ගියෝය. ආයුධයෙන් පහර දුන් ස්ථානයේ නි‌ෙවසේ සිටි අය

“කෝසලට කවුදෝ පිහියෙන් ඇන්නා“යැයි කෑගසමින් දිව යද්දී සිද්ධිය වූ ස්ථානයේ සිටි පිරිස කෝසල කුමාර වැටී සිටි ස්ථානයට පැමිණ ඔහු ඔසවා ගත්තත් ඔහු කතා කළේ දැඩි අපහසුතාවකිනි.

කෝසල කුමාරගේ පුත් දිමුතු තම පියා උකුලට ගෙන ‘තාත්තේ කවුද පිහියෙන් ඇන්නේ‘ කියා විමසන විට අමාරුවෙන් ‘සම්පත්‘ යයි පවසා ‘පුතේ මට අමාරු‘ යයි කිහිප වරක් ම පැවසීය. පසුව සියලු දෙනා එක්ව කෝසල කුමාර රෝහල වෙත රැගෙන ගියත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

මේ සිද්ධිය පිළිබඳ අක්මීමන පොලිසියට දැනුම් දීමෙන් පසු අක්මීමන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් එහි පැමිණ ගම්වැසියන් අල්ලාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ සියලු තොරතුරු ලබාගන්නා ලදී. අනතුරුව සිද්ධියට සම්බන්ධ රවීන්ද්‍රද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඇරඹි අතර පසුදා පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව සම්පත් ඔහුගේ නි‌ෙවසේ සිවිලිමේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණු අතර අනෙක් සැකකරු වන හේවා උඩවත්තගේ මහේෂ් කුමාර ඔහු පදිංචිව සිටි කොලනි කන්දේ නි‌ෙවස අසල කැලෑවක සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

ගාල්ල සහකාර පොලිස් අධිකාරී හපුගොඩගේ පූර්ණ අධීක්ෂණය යටතේ අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුෂංක අරුමප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක් ශ්‍රී ඇතුළු නිලධාරීන් පරීක්ෂණ සිදු කරන අතර ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනී විදානගමගේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළාය.

කරාපිටිය රෝහලේදී කෝසල කුමාරගේ දේහය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා නියෝග කරන ලදි. ඒ අනුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි කෝසල කුමාරගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහිදී කෝසල කුමාරගේ පපු ප්‍රදේශයට වැදුණු තියුණු ආයුධ පහරින් හෘදය වස්තුවට හානි සිදුවීමත්, උදරයට එල්ල වූ ආයුධ පහරින් අවයවවලට හානි වීමත්, අධික ලෙස ලේ වහනය වීමත් නිසා මරණය සිදුවී ඇති බවට නිගමනය කළාය. අක්මීමන පොලිසියේ සැරයන් 51678 ගාමිණී හදිසි මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලදි.

Comments