
මම හැමදාමත් ඇඬුවා. මම අඬන වාරයක් පාසාම මගේ හිත සැනසුවේ අචිනි. මේ කතාව මෙහෙම කිව්වට කාටවත් වැටහෙන එකක් නැහැ. පුද්ගලික අංශයේ රැකියාවක් කරපු මම නතර වෙලා හිටියේ නුගේගොඩ කිට්ටුව ගෙදරක. ඒ ගෙදර තවත් ගැනු ළමයි කිහිපදෙනෙක්ම හිටියා. එත් ඒ ළමයි අතරෙන් මගේ හිත ගත්ත කෙනා තමයි අචිනි. අචිනි වැඩ කළේ බැංකුවක. ටික දවසක් යනකොට අපි හොඳ යාළුවෝ වුණා. මං මගේ හැම දුකක්ම බෙදා ගත්තේ අචිනි එක්ක.
මං මගේ අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. දන්න කාලේ ඉඳලම මම හැදුණේ ළමා නිවාසයක. අම්මා තාත්තා සහෝදරයෝ නැති මම තනිකමෙන් පිරිච්ච ජීවිතයක් ගත කළේ. ඒත් මම ඉස්කෝලේ යන කාලේම හිතා ගත්තා හොඳට ඉගෙන ගන්නවා කියලා. ඉගෙනීම තමයි ජීවිතය දිනා ගන්න තියෙන එකම මඟ කියලා මම අවබෝධ කරගෙන හිටියේ.
මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. ඊට පස්සේ කලා අංශයෙන් උසස් පෙළ කළා. අපේ ළමා නිවාසයට ආව ගිය සල්ලි තියෙන අය මට ඉගෙන ගන්න උදව් කළා. උසස් පෙළ විභාගය සමත් වුණත් මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. විභාග ප්‍රතිඵල ඇවිල්ලා සුමානයකට විතර පස්සේ මට අපේ ළමා නිවාසයට ආව ගිය මැඩම් කෙනෙක් කතා කළා එයාගේ ගාව වැඩට එන්න කියලා. මට එයාගේ ගෙදරම නතර වෙන්නත් දෙන්නම් කිව්වා. රස්සාවක් ගැන හිත හිතා හිටපු මට ඒක අලුත් ආරංචියක් වුණා. ළමා නිවාසයේ පාලිකාවත් මට යන්න අවසර දුන්නා. එතකොට මට අවුරුදු 19 යි. කොහොමත් මට ප්‍රශ්නයක් තිබුණා. අවුරුදු විස්සෙන් පස්සේ මොකද කරන්නේ කියලා. ඒ ප්‍රශ්නයටත් විසඳුමක් හොයාගන්න පුළුවන් නිසා මම අර මැඩම් එක්ක යන්න කැමති වුණා. ඇත්තම කිව්වොත් මම මාස දෙකයි ඒ ගෙදර හිටියේ. ඒක මට හරියන රස්සාවක් නෙමෙයි කියලා දැනුණේ එතැනට ගිහින් මාසයක් විතර ගියාට පස්සේ. ඒ මැඩම් කළේ සැලුන් එකක්. එතැනට විවිධ අය ආවා. මට එ් මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ. කොහොම හරි ටික දවසක් යනකොට මට දැනුනා එතැනින් ගියොත් හොඳයි කියලා. ඒ හිතුන දවසේ ඉදලා මම කළේ ඉරිදා පත්තරවල දැන්වීම් බලන එක. එහෙම බලාගෙන යනකොට තමයි මට අලුත් රස්සාව ලැබුණේ. අවිස්සාවේල්ලේ ඉඳලා මම කොළඹට ආවේ ඒ විදිහට. මට ලැබුණේ ගාමන්ට් එකක ඔෆිස් එකේ වැඩ කරන්න. රස්සාව නම් නරක නැහැ. හොඳ වැටුපක් ලැබුණා. ඒ වගේම තමයි මම රස්සාවත් බොහෝම ආදරෙන් කරගෙන ගියා. මම අචිනි ඉන්න බෝඩිමේ නතර වෙන්න ආවෙත් ඔය අතරේ.
ටික දවසක් යනකොට මට අජිත් හමු වුණා. එයත් අපේ ඔෆිස් එකේමයි වැඩ කළේ. අජිත් හරි ලස්සනයි. අපේ සම්බන්ධය අජිත්ගේ අම්මා දැන ගත්තේ අවුරුද්දක් විතර ගියාට පස්සේ. අම්මා අජිත්ගෙන් මං ගැන විස්තර අහලා තිබුණා. අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක්වත් නැති මාව ඒ පවුලට සම්බන්ධ කරගන්න අජිත්ගේ අම්මා කැමති වුණේ නැහැ. අහස උසට ජීවිතේ ඉදිරිය ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන හිටපු මගේ හිත කඩන් වැටුණා. අජිත් මාව ටික ටික මඟ හැරියා.
මගේ දුක කියන්න මට හිටියේ අචිනි විතරයි. ඇත්තම කිව්වොත් මම එක දිගට දවස් ගාණක් ගෙදර හිටියා. ඒකෙන් වුණේ මගේ රස්සාව නැති වුණ එක විතරයි. රස්සාවෙන් ලැබුණ පඩිය ඉතුරු කරගත්ත නිසා සල්ලි වලින්නම් ලොකු අමාරුකමක් තිබුණේ නැහැ.
අජිත් අම්මාගේ වචනය අහලා මාව අමතක කරලාම දැම්මා. මම එයාගේ ෆෝන් එකට ගත්තත් එයා කවදාවත් උත්තර දුන්නේ නැහැ. මගේ හිතට පුදුම දුකක් දැනුණේ.
අන්තිමට මං හිත හදාගත්තා. මේ හැමදේම වෙලා මාස ගාණකට පස්සේ මම මැදපෙරදිග රස්සාවකට ගියා. එදා මට ලංකාවෙන් යනකොට තිබුණ දුක අචිනිව දාලා යන එක විතරයි.
මැදපෙරදිග ගිහිල්ලා මම ගෙදරක වැඩ කළේ. රස්සාව නරකම නැහැ. එළියට බහින්න ලැබුණේ සිකුරාදට විතරයි. මම ලංකාවෙන් යනකොටම හිතාගෙන ගියා එහෙදි මම ලංකාවේ අයව ඇසුරු කරන්නේ නැහැ කියලා. ඒත් මගේ ඒ තීරණය වෙනස් වුණා. ගෙදර රියැදුරු ලෙස වැඩ කළ නිශාන්ත අයියා නිසා. එයා හරිම හොඳ කෙනෙක්. අපි දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ළං වුණා.
මම ඇවිල්ලා අවුරුදු තුනක් විතර ගතවුණා. ඒ වෙනකොට නිශාන්තයි මමයි නීතියෙන් කසාඳ බැන්දේ නැති ටික විතරයි. ගෙදර අයත් දැනගෙන හිටියා අපි දෙන්නගේ සම්බන්ධය. නිශාන්ත ඒ වෙනකොට රට ඇවිල්ලා අවුරුදු පහයි. එයා ලංකාවට යන්න ලැස්ති වුණා. නිශාන්ත මට කිව්වා එයා ලංකාවට ගිහින් මාස තුනකින් ආයේ එනවා කියලා. මට එයාව අවිශ්වාස කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒතරමට මං එයාව විශ්වාස කළා. එයා ලංකාවට ගියා. ඒ යද්දි ගේ හදන්න ඕන කියලා එයා මගෙනුත් සල්ලි අරගෙන ගියේ. මටත් ආසාව තිබුණේ කවදා හරි ලංකාවේ පදිංචි වෙන්න. මම එයාට මං ළඟ තිබුණ හැම සතයක්ම දුන්නා. නිශාන්ත ලංකාවට ගිහිල්ලා මාසයක් විතර යනතුරු හැමදාම රෑට මට කතා කළා. ඒත් දවසින් දවස එයාගේ කතාව අඩුවෙනවා කියලා මට දැනුණා. පස්සේ පස්සේ මම කෝල් කළත් ඒ නොම්බරය වැඩ නෑ.
මම දවසක් ගෙදර ගෑනිට කිව්වා. නිශාන්ත ගැන. එයා මට කිව්වා නිශාන්තගේ ගෙදර නොම්බරය දෙන්නම් කියලා. එයා මට නොම්බරය දුන්නා. ඒත් මට බය හිතුණා කතා කරන්න. මම අලුතෙන් වැඩට ආව මල්ලිට දුන්නා කතා කරන්න කියලා. ඒ මල්ලි කතා කරපු වෙලාවේ නිශාන්තගේ අම්මා තමයි ෆෝන් එක අරගෙන තිබුණේ.
අම්මා කියලා නිශාන්තගේ මඟුල් ගෙදර වැඩ කියලා. ඇත්තම කිව්වොත් මට ඒක උහුල ගන්න බැරි වුණා. මම මල්ලිට කිව්වා හැමදේම අහගන්න කියලා. ගෙදර ගෑනිට මේ හැමදේම කියලා මම අඩලා අඬලා නිවාඩු ඉල්ලගෙන ලංකාවට ආවා. ඒ වෙකොටත් අචිනි නුගේගොඩ බෝඩිමේ හිටියා. මම ආවේ එයා ගාවට. මට හිතුණා අචිනිට මේ කිසිම දෙයක් කියන්න ඕන නැහැ කියලා. ලංකාවට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ නිශාන්තගේ ගෙදර හොයාගෙන ගියා. ඇත්තටම එදා ඒ ගමන නොගියා නම් හොඳයි කියලා දැන් මට නොයෙක් වර හිතෙනවා. මම නිශාන්තගේ ගෙදරට යනකොට හවස හතරට විතර ඇති. ගෙදර ඒ තරම් කට්ටිය හිටියේ නැහැ. මම ගියේ වාහනයකින්. වාහනේ ගේ ගාවටම ගියා. වාහනේ සද්දෙට නිශාන්තගේ නංගී තමයි මිදුලට දුවගෙන ආවේ.
මම නිශාන්ත ගැන ඇහුවාම එයා “අයියේ“ කියලා කතා කළා.
නිශාන්ත මිදුලට ආවේ පුදුමෙන් වගේ. එයා මගේ දිහා බැලුවේ බය වෙලා. මට ගෙට යන්න ලැබුණේ නැහැ. එයා මා ගාවටම ආවා.
“නිමාලි ඔයා....කවද්ද ලංකාවට ආවේ... මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා....මං හැමදේම ඔයාට කියන්න හිටියේ... මට සමාවෙන්න...“එයා එහෙම කියනවා මට යාන්තමින් ඇහුණා. මම නිශාන්තගේ ගේ දිහා බැලුවා. එයාගේ අම්මයි තාත්තයි නංගියි දොරකොඩට වෙලා බලාගෙන ඉන්නවා. මට යාන්තමට මතකයි නිශාන්ත මගේ අතින් අල්ලනවා. ඒ අතේ පහස මට මාව අමතක කෙරුවා. ඒ වෙනකොට මට නිශාන්ත ගැන ආදරයක් නෙමෙයි හිතේ තිබුණේ, ලොකු වෛරයක්. මම හම්බකරපු හැම සතයක්ම මං එයාට දුන්නා. ඒ අපිට ලෝකයක් හදා ගන්න. ගෙවුණ කාලේ චිත්‍රපටයක් වගේ මට මතක් වුණා. මගේ ගවුමේ සාක්කුවට අත ගියේ ඉබේටමයි. නිශාන්ත මට මොන මොනවද කියවන්න ගත්තා. ඒ එකකටවත් ඇහුම්කන් දෙන්න මට ඕන වුණේ නැහැ. ඒ හැන්දෑවේ නිශාන්තට මම කීපාරක් පිහියෙන් ඇන්නද කියලා මට මතක නැහැ. නිශාන්තගේ කෑ ගැහිල්ලට එයාගේ ගෙදර අය දුවගෙන ආවා. මම බිම වැටිලා හිටිය නිශාන්තව බදාගත්තා. එයාගේ නිරුවත් උඩුකය ඒ වෙකොටත් හරි උණුසුම්. මම පිස්සියක් වගේ හඬා වැටුණා. මගේ ජීවිතේ මට නැති වුණේ ඒ විදිහට.
දැන් මම හිර ගෙදරට ඇවිල්ලා අවුරුදු ගාණක්. ජීවිතේ හෙට දවස ගැන කියන්න දන්නේ නැහැ. කාත් කවුරුවත් නැති මට ළං වෙච්ච මිනිස්සු මගෙන් ප්‍රයෝජන ගන්න විතරයි බැලුවේ.
අදත් ඉඳලා හිටලවත් මා ගැන බලන්න එන්නේ අචිනි විතරයි.
මට ජීවිතේ වැරදුණේ කොතැනද කියලා මම තවම හිතනවා. දැන් ඉතිං හිර ගෙදරම ජීවිතේ ගෙවනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ.