පොලිසියම හඬවා නික්ම ගිය ‘හතේ කල්ලියේ’ ලිස්ටා | Page 3 | සිළුමිණ

පොලිසියම හඬවා නික්ම ගිය ‘හතේ කල්ලියේ’ ලිස්ටා

මිනිසාට සමීපම සත්ත්වයා සුනඛයාය. සුනඛයන්ගෙන් මිනිසාට සිදුවන සේවාවන් ද අතිමහත්ය. විශේෂයෙන් බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් වන සුනඛයන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳි සිටින පොලිස් දෙපාර්තමේන්තුවට ආභරණයකි. මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය වැටලීම් සහ අපරාධකරුවන් කොටුකර ගැනීමට පොලිස් නිල සුනඛයන්ගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. පොලිස් දෙපාර්තමේන්තුව සතුව සිටින 355ක් වන නිල සුනඛයන් අතුරින් විශිෂ්ට ගණයේ නිල සුනඛයකු පසුගියදා සිය දිවි සැරිය නිමා කෙළේය. ඒ ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සිටි නිල සුනඛ ලිස්ටා ය.

ගාල්ල කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15ක් පුරා වසර තුනකට අධික කාලයක් මත්ද්‍රව්‍ය වැටලීම් 300කට අධික සංඛ්‍යාවක් සිදුකළ ‘ලිස්ටා‘ නමැති මේ සුනඛ ධේනුවගේ නික්ම යාම එලෙස සිදු වූයේ අවාසනාවන්ත ලෙසිනි. මනා රූ සපුවකින් යුත් ඉතාම කීකරු, සුරතල් සුනඛ ධේනුවක් ලෙස ප්‍රකටව සිටි ලිස්ටා 2017 නොවැම්බර් 01 වැනිදා නෙදර්ලන්තයේදී උපත ලද සුනඛයෙකි. 'ගෝල්ඩන් රිට්රීවර්' වර්ගයට අයත් ඇගේ වටිනාකම රුපියල් ලක්ෂ 14ක් පමණය. ලිස්ටා 2018 වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා මෙරටට ගෙන්වන විට වයස මාස 9කි.

අංක 1371 යටතේ මහනුවර, අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඇතුළු වූ ලිස්ටා 2019 ජුනි මස 01 වැනිදා සිට භාර කෙරෙන්නේ පොලිස් කොස්තාපල් (78840) යූ. එච්. චමිල ප්‍රසාද්ටයි. ඒ එවකට මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිටි සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටියගේ උපදෙස් මතයි. පසුගිය ඔක්තෝබර් මස 25 වැනි දින එක්වරම අසනීප වූ ලිස්ටා මාසයක පමණ කාලයක් අසනීප තත්ත්වයකින් පසු වීමෙන් අනතුරුව මරණයට පත් වූයේ චමිල ප්‍රසාද් පමණක් නොව ලිස්ටා ගැන දැන සිටි සැමගේ නෙතඟට කඳුළක් එක්කරමිනි. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම පිරිමැසිය නොහැකි පාඩුවක් වූ ලිස්ටාගේ නික්ම යාම ගැන ලිස්ටාගේ භාරකරු කොස්තාපල් චමිල ප්‍රසාද් මෙසේ පැවැසීය.

“2012 වසරේ සිට පොලිස් නිල සුනඛ අංශයට එක්වූ මම මුලින්ම බැලුවේ 'රෙක්ස්' කියන සුනඛයා. ඌ පුපුරණ ද්‍රව්‍ය වැටලීම් සඳහා පුරුදු කළා. රෙක්ස් අවුරුදු හතහමාරක් බලාගත්තට පස්සෙ තමයි මට ලිස්ටා භාර කෙරුණේ. ඒ 2019 ජූනි 01 වැනිදා. පුහුණුවෙන් පස්සේ දළදා පෙරහරේ රාජකාරි කරලා ගාල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ අංශයට ආවේ 2019 අගෝස්තු 20 වැනිදා...“

ගාල්ල පොලිස් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය වැටලීමට නිල සුනඛයකුගේ අඩුව පුරවමින් ගාල්ලට පැමිණි දිනට පසු දින එනම් අගෝස්තු 21 වැනිදාම ලිස්ටාගේ හපන්කම් පෙන්වා තිබුණේ එවකට ගාල්ල පොලිස් අධිකාරිවරයා සමඟ ගිංතොට ප්‍රදේශයේ වැටලීමකට එක්ව ගංජා ග්රෑම් 75ක වැටලීමක් සිදු කරමිනි.

“ලිස්ටා වැටලීමකට ගියොත් අනිවාර්යයෙන්ම මොනවාමහරි හොයාගන්නව තමයි... එයා වැටලීම් සිදුකළ කෙටි කාලය තුළදී සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් 302කට වැඩි ප්‍රමාණයක් සිදුකළා. ඒ අතරින් ප්‍රධානම වැටලීම තමයි 2019 දෙසැම්බර් 04 වැනිදා සිදුකළේ. දොඩන්දූවේ ගෙදරක කාන්තාවක් වානේ අල්මාරියක් යට හෙරොයින් පැකට් 117ක් හංගලා තිබුණා. ඒ හෙරොයින් පැකට් එකක් රුපියල් 1000 ගාණේ විකුණන්න තිබුණේ.“ යැයි ලිස්ටාගේ භාරකාර චමිල ලිස්ටාගේ හපන්කම් ගැන සිය මතකය ආවර්ජනය කළේ හැඟීම්බර වෙමිනි.

අසනීප වන්නට පෙර දින එනම් පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදා ලිස්ටා වැටලීමක් සිදුකළ අවසන් දිනයි. පෝද්දල ප්‍රදේශයේ සිදුකළ එම මත්ද්‍රව්‍ය වැටලීමේදී ලිස්ටාගේ මත්ද්‍රව්‍ය ඉවට කොටු වුණේ පසුගියදා යක්කලමුල්ල කුරුඳු වාඩියේ ද්විත්ව ඝාතනය සිදුකළ එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වූවන්ගේ ඥාති පාර්ශ්වයකගේ මත්ද්‍රව්‍ය ජාවාරමකි. එම මත්ද්‍රව්‍ය ලිස්ටා සුනඛ ධේනුවගේ ඉවට හසු වූයේ ලොරි රථයක යට කොටසේ සඟවා තිබියදියි.

ලිස්ටාගේ මත්ද්‍රව්‍ය වැටලීම් 302ක ප්‍රමාණය අතර හික්කඩුවේදී, ගාල්ල වරාය තුළදී, රජ්ගමදී, දඩල්ල සහ ගාල්ල, කනම්පිටියේදී සිදු කළ වැටලීම් ප්‍රධාන වේ. ලිස්ටාගේ සාර්ථක වැටලීම් 104ක් අතුරින් මේ වන විටත් මහාධිකරණ නඩු ද රැසක් පවතින බව බාරකාර චමිල ප්‍රසාද් අපට හෙළි කළේය. කෙතරම් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් සිටියදී වුවත් ලිස්ටාගේ ගති පැවතුම් සහ පෙනුම නිසාවෙන් සුනඛයකුට කලාතුරකින් ලැබෙන දුර්ලභ අවස්ථාවක උදාකර ගැනීමට ලිස්ටා සුනඛ ධේනුවට වාසනාව සැලැසිණි. ඒ පසුගිය කාලයේ ජනප්‍රිය රූපවාහිනි ටෙලි නාට්‍යයක් වූ කුඩා දරුවන් හයදෙනෙකුගේ හපන්කම් ගැන කියැවෙන ‘හතේ කල්ලිය‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ දෙමිනි. ලිස්ටාගේ භාරකරු චමිල ඒ ගැන මතකයද අපට සිහිපත් කළේය.

“ලිස්ටාගෙ තිබුණු ලස්සන පෙනුම... ගැති පැවැතුම් නිසා තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඒ නාට්‍යයට සුනඛයෙක් අවශ්‍ය වෙලා සොයද්දි මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයෙන් යෝජනා කරලා තිබුණේ ලිස්ටා. පස්සේ 2020 වසරේ සිට වසර එකහමාරක පමණ කාලයක් ලිස්ටා රටේ බොහෝ ස්ථානවලට ගියා ඒ ටෙලි නාට්‍යයේ ශිල්පීන් සමඟ. හැබැයි කොච්චර ඇවිද්දත් කිසිම තැනකදී කිසිම කෙනෙකුට කරදරයක් කළේ නෑ. විශේෂයෙන්ම ඒ නාට්‍යයේ කුඩා දරුවන් හයදෙනාට පුදුම ආදරයක් මේ සතා දැක්වූවේ.“

එම ටෙලිය සමඟ ලිස්ටා ගාල්ලේ සිට පැලවත්ත, කෝට්ටේ, නාරාහේන්පිට, වත්තල, කඩවත, කුලියාපිටිය, පන්නල ආදි බොහෝ පෙදෙස්හි සැරිසැරුවාය.

ඉකුත් ඔක්තෝබර් මස 24 වැනිදායින් පසු එක්වරම අසනීප වූ ලිස්ටාගේ එම අසනීප තත්ත්වයට මුලින්ම ප්‍රතිකාර කර තිබුණේ ගාල්ල පශු වෛද්‍ය සුරේකා කාරියවසම්ය. එම වෛද්‍යවරිය සිදුකළ පරීක්ෂණවලට අනුව ලිස්ටාගේ රෝගී තත්ත්වය හඳුනා ගැනිණි. එහිදී අනාවරණය වී තිබුණේ ලිස්ටාගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවයි. අනතුරුව ලිස්ටාගේ අසනීපය සුවකර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් වැය කරමින් ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් වූ එම සුනඛ ධේනුව බේරා ගැනීමට තැත් කර තිබුණේ මහනුවර සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක වෙතද ප්‍රතිකාර සඳහා ලිස්ටා යොමු කරමිනි.

දවසේ දින චර්යාව ව්‍යායාමවලින් අරඹන ලිස්ටාගේ ප්‍රධානතම ආහාරය වී තිබුණේ කිරි සහ පාන්ය. මස්, මාළු කිසිම දිනෙක ආහාරයට නොගත් ලිස්ටා ඉතා සුවච කීකරු සුනඛ ධේනුවක් බව කොස්තාපල් චමිලගේ අදහසයි.

“ඇත්තටම මට ආපහු ලිස්ටා වගේ ගති පැවැතුම් තියෙන සුනඛයෙක් හම්බ වෙන එකක් නෑ. ලිස්ටා ඒ තරමටම කීකරුයි. එයාගේ තිබුණ හොඳ ගතිගුණ නිසාම තමයි මේ වගේ වයසකින් මැරිලා ගියේ... ඒ වගේම පුදුම ඉවක් තිබුණ සත්ත්වයෙක්. ලිස්ටට ඕනෑම දෙයක් ඉක්මනින්ම හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණා. මං ගෙදර ගියපු දවස්වලට කිසිම කෑමක් කන්නෙ නෑ එයා... ඉතින් ඒක නිසා මමත් ගෙදර ගියපු වෙලේ සිටම බලන්නෙ පොලිසියට එන්නමයි...“

මලින් සැරසු පෙට්ටියක් තුළ බහාලු ලිස්ටාගේ දේහය පසුගිය 23 වැනිදා දින සහකාර පොලිස් අධිකාරි ලොකුගේ, ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති ද සොයිසා සහ ගාල්ල-මාතර නිල සුනඛ අංශ අධීක්ෂණ නිලධාරි උපපොලිස් පරීක්ෂක ජී.පී.බී. අබේවික්‍රම ඇතුළු පොලිස් නිලධාරීන් රැසකගේ සහ ප්‍රදේශවාසීන්ගේද සහභාගිත්වයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය තුළදී සිදු වූයේ සියලු දෙනාගේ දුක් සෝසුසුම් මධ්‍යයේයි. එම අවස්ථවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමකද එක්වෙමින් ලිස්ටාගේ අවසන් කටයුතුවලදී පාංශු කූලය ද දෙමින් පින් පමුණුවා සිදු කරන්නට තරම් ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරිහු කාරුණික වී තිබුණේ සත්ත්වයකු වුවත් ලිස්ටා සෑම දෙනාගේ සිත්සතන්හි පැළපදියම්ව සිටි කාරුණික සුනඛ ධේනුවක වූ හෙයිනි.

 

Comments