
මවුපියන්ට අයත් ධනය, දේපළ සහ ‘සියලු වස්තුව‘ ඔවුන්ගෙන් පසු නිතැතින්ම හිමි වන්නේ දූදරුවන්ටය. විශේෂයෙන් ම දූදරුවන්ගේ කල්ක්‍රියා හොඳ - නොහොඳ කුමක් වූවද බොහොමයක් මව්පියෝ ඒ කිසිවක් නොතකා තමන් සතු සියලු සේසත දුදරුවන්ට දී මියැදෙන්නේ සැනසීමෙනි. සිය මවුපියන්ගෙන් උරුම වන දේපළ තමන්ගේ අයිතියට හිමි වන්නට පෙරදීම ඔවුන් සතු මිල මුදල් දේපළ ලබා ගැනීමට ඇතැම් දූදරුවන් නෙයෙක් උප්පරවැට්ටි යොදති. ඒ අතර ඇතැම් අමනුස්ස දූදරුවෝ මේ නිසාම සිය මවුපියන්ගේ ජීවිතද අවසන්කර දේපළ වස්තුව ලබා ගැනීමට තරම් සැහැසි වූ අවස්ථා ද විරල නැත.
එලෙස දේපළ වස්තුව ලබා ගැනීමේ අටියෙන් සිය පියා කොටහේනේ කාර්යාලය තුළදී 2017 වසරේ ජුනි මස 09 වැනිදා ඝාතනය කළ පුතෙක් වසර තුනක පමණ දීර්ඝ විමර්ශනයකින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි විය. එම පුත්‍රයා වූයේ අලි ගුලාම් හුසේන්ය. ඔහු විසින් ඝාතනය කළේ සිය පියා වන බෝරා ජාතික කෝටිපති ව්‍යාපාරික 68 හැවිරිදි ශබීර් අබ්බාස් ගුලාම් හුසේන්ය.
එසේ දියණියක තවෙකෙකු සමඟ එක්ව සැලැසුම්කර සිය පියා ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීමක් පසුගිය 19 වැනිදා ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ බටපොළ පොලිස් වසමෙන් වාර්තා විය. එලෙස සිය එකම දියණිය විසින් දේපළ සහ ස්ථාවර බැංකු ගිණුම් කිහිපයක තිබූ රුපියල් ලක්ෂ 80ක මුදල ලබා ගැනීම සඳහා ඝාතනය කර තිබුණේ බටපොළ, අලුත්වල පදිංචිව සිටි 71 හැවිරිදි කළුඅප්පු හැන්නදිගේ ජයසිරි ද සිල්වා නමැත්තාය.
ජයසිරිගේ ඝාතනයෙන් දින හතරකට පසු බටපොළ පොලිසිය සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුව ඔහුගේ දියණිය වන 38 හැවිරිදි හර්ෂා චාන්දනී ද සිල්වා සහ එම ඝාතනය සිදුකළ බද්දේගම, මිරිස්වත්ත, ඇත්කඳුරේ පදිංචි මෂාන් දිනුක අල්විස් නමැති 23 හැවිරිදි තරුණයකුද බටපොළ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. දියණිය චාන්දනීගේ සැලැසුමකට අනුව මෂාන් දිනුක ජයසිරි ඝාතනය කළ හද කම්පා කරවන කතාන්දරය බටපොළ පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
71 හැවිරිදි ජයසිරි ද සිල්වා ප්‍රදේශයේ කා අතරත් හොඳහිත දිනාගත් වැඩිහිටියෙකි. විශ්‍රාමික සමූපකාර නිලධාරියකු වූ ජයසිරිගේ බිරිය කලකට පෙර මිය පරලොව ගියාය. ඔහුගේ එකම දරුවා වූයේ දියණිය හර්ෂා චාන්දනීය. එසේම චාන්දනී හදාවඩා ගත් දියණියක් බවද සැල වේ. ජයසිරිට වතුපිටි මිල මුදල් යහමින් තිබිණි. ඔහු සතු කුරුඳු ඉඩම් දෙකකින් එක් ඉඩමක් පසුගිය කාලයේ විකුණා තිබිණි. අනතුරුව ජයසිරි එම මුදල් රුපියල් ලක්ෂ 10, 12, 15 ආදී ලෙස රුපියල් ලක්ෂ 80ක මුදලක් ස්ථාවර තැන්පතු කිහිපයක තැන්පත් කර තිබුණේ චාන්දනී ඇතුළු ඇගේ දරුවන්ගේ යහපත තකායි.
චාන්දනී 38 හැවිරිදි විවාහක කතක් වූවද ඇයට අවුරුදු 18, 14 සහ 09 පසුවන දියණියන්ම තිදෙනෙක් සිටින්නීය. ඇගේ සැමියා අනිල්ය. අලුත්වලට නුදුරු බේරතුඩුවේ පදිංචිකරුවකු වන අනිල්ට චාන්දනී මුණගැසී තිබුණේ පාසල් ප්‍රේමයකිනි. පසුව ඔහු සමඟ විවාහ වන විට චාන්දනීගේ වයස අවුරුදු 20කි. චාන්දනී ඒ අවට පාසලක විද්‍යාගාර සහායිකාවක ලෙස රැකියාවක්ද කළාය. විවාහයෙන් පසුවද ඇය පදිංචි වූයේ මහගෙදර මව්පියන් සමඟිනි. ඇයගේ මව මීට කලෙකට පෙරදී මිය ගොසිනි. මව ජීවතුන් අතර සිටියදී පවා චාන්දනී හරිහැටි සලකා නැති බවද සැලවේ. පසු කලකදී පියා ඇගේ දරුවන් බලාකියා ගනිමින් දරුවන් වෙනුවෙන් යහමින් වියහියදම් දරමින් ඇගේ පවුල් දිවියට මහත් රුකුලක් විය. අනිල් මාර්ගවල කාපට් ඇතිරීමේ රැකියාවන්හි නිරතව සිටි අයෙකි. එහෙත් මේ දිනවල මාර්ගවල කාපට් ඇතිරීම් එතරම් සිදු නොවන හෙයින් ඔහු මීට මාසයකට පමණ පෙරදී ධීවර රැකියාවකට ගියේය. ඒ බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු යාම සඳහාය.
චාන්දනී විනෝදයට බර දුරදිග නොබලා කටයුතු කරමින් කෙලිදෙළෙන් කල් ගෙවූ අමුතුම ආකාරයේ චරිතයකි. ඇය අවට ප්‍රදේශවල පැවැත්වෙන එළිමහන් සංගීත ප්‍රසංග නැරැඹීමට දියණියන් තිදෙනාද කැටුව යන්නේ වෙලාවක් කලාවක් නොබලායි. එසේ යන චාන්දනී එම සංගීත ප්‍රසංගවලදී රැය පුරාම නර්තනයේද යෙදෙන්නීය. ඇගේ කල්ක්‍රියා නිසා පියා වූ ජයසිරි පසු වූයේ ඇය සමඟ තරමක ආරවුලෙනි. කෙතරම් මිල මුදල් තිබුණද ජයසිරි ඒවා දියණියට දුන්නේ නැත. එහෙත් ඔහු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් දැරුවේය. චාන්දනීගේ කල්ක්‍රියා නිසා ඇය හතරඅතේ ණය වී සිටියාය. එම ණයතුරුස් ගෙවීමට චාන්දනී පියාගෙන් මුදල් ඉල්ලමින් නිතර ආරවුල් ඇති කරගත්තාය. ඒ බව අවට පදිංචිකරුවෝද දැන සිටියහ.
පසුගිය 18 වැනි දින රාත්‍රියේද චාන්දනී සිය දියණියන් තිදෙනා යතුරුපැදියේ නංවාගෙන හික්කඩුවේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගියාය. සංගීත ප්‍රසංගය නරඹා පසුදා එනම් 19 වැනිදා අලුයම දෙකට පමණ ඇය දියණියන් තිදෙනා සමඟ නිවෙසට පැමිණියාය. අනතුරුව රාත්‍රී ආහාරයද ගෙන දරුවන් සමඟ නින්දට ගියාය. ජයසිරි සාමාන්‍යයෙන් අලුයම අවදි වන අයෙකි. පියා නින්දේ පසුවීම ගැන ඇය සොයා බැලුවාය. ඒ සමඟම චාන්දනී විලාප දෙන්නට වූයේ ‘තාත්තා මිය ගොස් ඇති බව‘ කියමිනි. එම නිසා ඇය පියාගේ මරණ කටයුතු සඳහා සූදානම් වූයේ ඒ බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කරමින් අවැසි නීතිමය කටයුතු සිදු කරමිනි. එහෙත් ග්‍රාම නිලධාරි චාන්දනීගේ කල්ක්‍රියාවන් දැන සිටියේය. ඔහු ඇයට කීවේ වහාම පියාගේ මරණය ගැන පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසයි. ඒ සමඟම චාන්දනී බටපොළ පොලිසියට ගියේ කළ යුතු වෙනත් කිසිවක් නොමැති හෙයිනි. ඒ වන විට බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් වෙනත් විමර්ශනයක් සඳහා බැහැර ගොස් සිටියේය. පොලිස් නිලධාරින් එම මරණය ගැන දුරකතනය ඔස්සේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය. ඒ සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකතනය මඟින් චාන්දනී හා සම්බන්ධ විය.
“සර්... මගේ තාත්තා ඊයේ රෑ නින්දෙන්ම නැතිවෙලා... මට මරණය ගැන කිසි සැකයක් නෑ... තාත්තා හාට් ඇටෑක්වලට බෙහෙත් බිව්වා...“ චාන්දනී කීවාය.
“තාත්තට වයස කීයද?“ පොලිස් ස්ථානාධිපතිවරයා විමසීය.
“71යි සර්... එහෙමනම් ඉතින් ග්‍රාමසේවක හරහා වැඩකටයුතු කරගන්න පුළුවන්නේ... හාට් ඇටෑක් එකකින් මැරිලනම් ප්‍රශ්නයක් නෑනේ... ඇයි පොලිසියට ආවේ...“
“සර්... ග්‍රාමසේවක මහත්තයා මරණේ රිලීස් කරන්න බෑ කිව්වා... පොලිසියට පැමිණිල්ලක් දාන්න කිව්වා...“
චාන්දනී එලෙස පැවැසීමත් සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ග්‍රාම නිලධාරිවරයා ඇමතුවේය.
“ඕඅයිසී මහත්තයා... ඔය ගෙදර තාත්යි දුවයි අතර හැම තිස්සෙම ආරවුල් තිබුණා... ඒක නිසා තමයි මං පොලිසියට යන්න කිව්වේ... අපි දන්නෙ නෑනේ මොකක් වෙලාද කියලා...“ ග්‍රාම නිලධාරිවරයා පැවැසුවේය.
ඒ අතරේ චාන්දනී කියන දේ මෙන්ම ඇගේ හැසිරීමේද සැක සංකාවක් පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේය. බටපොළ පොලිස් නිලධාරින් ජයසිරි මියගොස් සිටි නිවෙසට ගොස් පරීක්ෂා කළේය. ජයසිරි නිදි ඇඳ මතය මරණයට පත්ව සිටියේය. ඔහු නිදා ගනිද්දී එළාගත් මදුරු දැලද කිසිම වෙනසකින් තොරව එලෙසම තිබිණි. අනතුරුව පොලිසිය විසින් මළසිරුර බළපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඉෂාරා මහත්මියගේ නිරීක්ෂණයට ලක් වූවාය. එහිදී අධිකරණ වෛද්‍යවරියට ජයසිරිගේ සිරුරේ ගෙල ප්‍රදේශයේ තැලීම් කීපයක් නිරීක්ෂණය විය. අධිකරණ වෛද්‍යවරිය ඒ බව බටපොළ පොලිසියට දැනුම් දුන්නාය.
ඒ සමඟම ක්‍රියාත්මක වූ බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ද එම මරණය ගැන දැනුම්වත් කළේය. ඒ අතර පොලිසිය බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කළේය. අනතුරුව ජයසිරිගේ මළසිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙළේය.
ජයසිරිගේ මරණය ස්වාභාවික සිදුවීමක් නොව කිසියම් අයකු හෝ පිරිසක් විසින් සිදුකළ ඝාතනයක් බව අනාවරණය වීමත් සමග බටපොළ පොලිසිය විමර්ශන පුළුල් කළේ ඝාතකයන් කොටුකර ගැනීමේ අටියෙනි. ඒ අතරේ මීට මාසයකට පමණ පෙරදී මුහුදු රැකියාවට ගිය චාන්දනීගේ සැමියා අනිල්ද 19 වැනිදා දහවලේ නිවෙසට පැමිණියේ මේ කිසිත් නොදැනය. හිටි හැටියේ ඔහුගේ පැමිණීමත් සමඟ පොලිසිය අනිල්ගෙන්ද ප්‍රශ්න කළේ ඔහුගේ ජංගම දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගෙනය. චාන්දනීගේ හැසිරීම් මත ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පොලිසිය ඒ වන විටත් පියවර ගෙන තිබිණි.
ඇය පියා වන ජයසිරිට සිටි තරහකාරයෙක් විසින් ඔහුව ඝාතනය කරන්නට ඇති බවටද එසේම පියාණන්ගේ අනියම් සබඳතාවක් තිබු බවත් ඒත්තු ගන්වමින් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ චාන්දනී පිළිතුරු දුන්නාය. එහෙත් ජයසිරිට එවැනි කිසිම තරහකාරයෙක් හෝ අනියම් සබඳතාවක් නොතිබූ බවත් ඔහු ඉතාම හොඳ දිවි පෙවෙතක් ගෙවූ අයෙක් බවත් පොලිසිය අනාවරණය කරගත්තේය. එසේම චාන්දනී තම සැමියා ගැනද නෙයෙක් දේ පොලිසියට පවසමින් පියාණන්ගේ ඝාතනය සැමියා විසින් සිදුකළ අපරාධයක් බවටද ඒත්තු ගන්වන්නට තැත් කළාය. පොලිසිය ඇගේ දරුවන්ගෙන්ද ප්‍රශ්න කළෝය. එහිදී ඇය වෙනදාට සංගීත සංදර්ශනවලට ගිය විට යෙදෙන නර්තනයන්හි එදින යෙදුණේ නැති බවද හෙළි විය.
සියලු විමර්ශන එලෙස සිදු වෙද්දී චාන්දනීගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින්, කුලුනු වාර්තා මෙන්ම දුරකතන එමි අංක ඔස්සේ විමර්ශනය තාක්ෂණිකව සිදු කරන්නටද බටපොළ පොලිසිය සූක්ෂ්ම වූයේය. එහිදී හෙළි වූයේ චාන්දනීගේ දුරකතනයට කිසිදා ඇමතුම් නොගත් දුරකතන අංකයකින් එදින රාත්‍රිෙය් සහ අලුයම ඇමතුම් දෙකක් ලැබී ඇති බවයි. එසේම කෙටි පණිවිඩද ලැබී තිබිණි. මේ අතර දෙවන වරට චාන්දනීට පොලිසියට එන ලෙස දැන්වූ පසු ඇය පොලිසියට පැමිණියේ සිය ජංගම දුරකතනය සඟවමිනි. එසේ ඇගේ දුරකතනයට ඇමතුම් ලද නාඳුනන අංකය පිළිබඳ පොලිසිය විමර්ශන සිදු කළේය. එම දුරකතන අංකය බද්දේගම, මිරිස්වත්තේ, ඇත්කඳුර ප්‍රදේශයේ තරුණයෙකුගේය. ඔහු 23 හැවිරිදි මෂාන් දිනුක අල්විස් නමැති කුරුඳු තලන රැකියාව කළ අහිංසක පෙනුමැති අයෙකි.
පොලිසිය දිගින් දිගටම චාන්දනීගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඇයට පොලිසියෙන් ගැලවීමක් නොමැති වග හැඟී ගියාය. ඒ සමඟම ඇය මුමුණන්නට වූවාය.
“සර්... මම මේක ප්ලෑන් කළාට තාත්තා මැරුවේ වෙන කෙනෙක්... එයාගේ නම දිනුක...“ චාන්දනී එසේ පැවැසුවාය.
“ඇයි තමුන් තාත්තව මැරෙව්වේ...“ පොලිස් නිලධාරියෙක් ඇගෙන් විමසීය.
“මම සෑහෙන්න ණය වෙලා ඉන්නේ සර්... තාත්තා මට සත පහක් දෙන්නේ නෑ... ඒක නිසා තාත්තා මරලා සල්ලි ටික ගන්නයි මං මේ දේ කළේ... දවස් කීපයක්ම දිනුකට කියලා එයා මේ වැඩේට කැමැති කරවාගත්තා... ඊට පස්සෙ තමයි 18 වැනිදා රෑ මේ දේ එයා කළේ...“
ඒ වන විට දුරකතන විශ්ලේෂණ වාර්තා මඟින් හඳුනාගෙන සිටි ඇත්කඳුරේ වෙසෙන දිනුක සොයා පොලිසිය ගියේ ක්ෂණයෙනි. දිනුකගෙන් මුලින්ම ප්‍රශ්න කළේ 18 වැනිදා රාත්‍රියේ සිටියේ කොහිද යන්න විමසමිනි. දිනුක කීවේ බොරුවකි. එදින දිනුක සිටි ඉසව්ව දුරකතන කුලුනු වාර්තා මඟින් ඒ වන විට පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. ඒ බව කිසිවක් නොදත් දිනුක කීවේ ගත් කටටම එදින රාත්‍රියේ තමන් සිටියේ වෙනත් ප්‍රදේශයක බවයි. එසේම බටපොළ පොලිසිය විමර්ශන සිදු කරද්දී චාන්දනී පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක් ගැනත් පොලිසියට කරුණු අනාවරණය විය. ඇය මේ අනියම් සබඳතාව පවත්වා තිබුණේ දිනුකගේ වැඩිමල් සහෝදරයා සමඟිනි. ඒ සමඟම දිනුක සහ චාන්දනී අතර සබඳකම හෙළි වීමත් සමඟ දිනුකට පොලිසියෙන් ගැලවීමක් නොමැති බව හැඟී ගියේය.
“සර්... මං ඇත්තම කියන්නම්... මේ දේවල් ඔක්කොම කළේ චාන්දනී අක්කගේ වුවමනාවට... මං කවදාවත් මෙහෙම දෙයක් කරන්න හිතපු කෙනෙක් නෙවේ... එයා මට බයික් එකක් අරන් දෙනවා කියලා මට කියලා එයාගේ තාත්තා මරවාගත්තා...“යැයි කී දිනුක දීර්ඝ පාපෝච්චාරණයක් කළේය. චාන්දනී සහ දිනුකගේ පාපෝච්චාරණ අනුව ජයසිරි ඝාතනයේ සුලමුල හෙළි වූයේ මෙලෙසිනි.
චාන්දනීගේ නොමනා දිවි පෙවෙත නිසා ඇය හතරඅතේ ණය වී සිටියාය. මීට කලෙකට පෙරදී ඇය අනියම් ඇසුරකටද මුලපිරුවාය. ඒ චමින්ද සමඟිනි. චමින්දගේ බාල සොහොයුරා වන දිනුක චාන්දනීගේ සැමියා අනිල් සමඟ මාර්ග කාපට් ඇතිරීමේ නිරතව සිටි අයෙකි. වරක් දිනුක මුණගැසීමට අනිල්, චාන්දනී සමඟ දිනුකගේ නිවෙසට ගියේය. එදින දිනුකගේ වැඩිමල් සහෝදරයා චමින්ද දැකීමෙන් පසු චාන්දනී ඔහු සමඟ අනියම් ඇසුරක පැටලුණාය. දිනුක දුම්වැටියක් හෝ නොබොන දැහැමි තරුණයෙකි. ඔහුගේ රැකියාව කුරුඳු තැලීමයි. චාන්දනී මීට මාස තුනකට පමණ පෙරදී දිනුකට යමක් කීවේය.
“දිනුක මල්ලි... මං හතරඅතේ ණය වෙලා ඉන්නේ... අපේ තාත්තා ළඟනම් සල්ලි ඕනතරම් තියෙනවා... ඒ වුණාට මට සත පහක්වත් දෙන්නේ නෑ... බැරිද අපේ තාත්තට මොනවාහරි කරන්න... මං මල්ලිටත් හොඳට සලකන්නම්... අපේ තාත්තා මැරුණනම් ඉඩකඩම්, බැංකු පොත්වල තියෙන සල්ලි ඔක්කොම මටනේ...“ චාන්දනී සිය අදහස එලෙස දිනුකට පැවැසුවාය.
“අනේ අක්කේ... ඔය පවුකාර වැඩවලට මාවනම් ගාව ගන්න එපා... මං ඔය කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ...“ දිනුක ඇයට දොස් කියමින් චාන්දනීගේ යෝජනාව බැහැර කළේය.
එහෙත් චාන්දනී දිනුක හමුවන වාරයක් පාසාම පියා ඝාතනය කිරීමේ යෝජනාව දිනුකගේ ඔළුවට දැම්මේය. එහෙත් ඔහු ඊට කිසි ලෙසකින් එකඟ නොවීය. පසුගිය දිනෙක දිනුක සිය නැඟණිය විවාහ වීමට සිටින පුද්ගලයාට අයත් FZR වර්ගයේ යතුරුපැදියෙන් චාන්දනීගේ නිවෙසට ගියේය.
“ආ මල්ලි කොහොමද... ඔයා බයික් එකක් ගත්ත ද?“ චාන්දනී විමසුවේ උපහාසයට මෙනි.
“නෑ... අක්කේ මට කොයින්ද මේවා... මේක මගේ යාළුවෙක්ගේ...“ දිනුක ගත් කටටම කීවේය.
“අයියෝ මල්ලි මං ඔයාට මේ ජාතියේම බයික් එකක් අරන් දෙන්නම්... ඔයාට තියෙන්නෙ මං කියපු වැඩේ කරලා දෙන්න...“ චාන්දනී එලෙස පවසන්නට වූයේ කෙසේ හෝ දිනුක කැමති කරවා ගැනීමේ අටියෙනි.
එදින දිනුකට ගැලවීමක් නොමැති විය. කරන දෙය මොනතරම් කුරිරු මෙන්ම නීතියෙන් ගැලවීමක් නොමැති බව සිතුවද ඊට වඩා ඔහුගේ සිත යතුරුපැදියට ඇදී ගොස් තිබුණේය.
“හරි අක්කේ අපි වැඩේ කරමු...“ පසුගිය දිනෙක දිනුක ඊට කැමැති වෙමින් චාන්දනීට පැවැසීය.
“ඒකනේ මල්ලි කියන්නෙ... මේකට අපි දෙන්නා කොහොමටවත් අහුවෙන්නේ නෑ... මොකද අපේ තාත්තා ලෙඩවලට බෙහෙත් බොනවා... නිදාගත්තම වැඩේ කරමු... එතකොට නින්දෙන්ම හාට් ඇටෑක් එකකින් මැරුණා කියන්න පුළුවන්.“ චාන්දනී කීවේ සිය පියාණන් ඝාතනයේ මූලික සැලැසුම් සකස් කරමිනි. දිනය පසුගිය 18 වැනිදාය. එදින හික්කඩුවේ සංගීත ප්‍රසංගයක් පැවැති දිනයි. චාන්දනී එදින සංගීත ප්‍රසංගය නැරැඹීමට දියණියන් තිදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවාය. ඇය ඒ බව දිනුකට කීවාය. එහෙත් දිනුක කීවේ ‘දෙදෙනා එක්වම ජයසිරි ඝාතනය කරමු‘ කියාය. අනතුරුව කෙසේ හෝ දිනුක තනිවම ඝාතනය සිදු කිරීමට කැමැති වූයේ යතුරුපැදියට තිබූ නොනිමි ආශාව නිසා වන්නට ඇත.
එදින රාත්‍රී හතට පමණ දිනුක චාන්දනීගේ නිවෙසට පැමිණ නිවෙස පිටුපස තිබූ බංකුව මත වාඩිවී සිටියේ ඝන අඳුරේය. චාන්දනී සියල්ල දැන සිටියාය. රාත්‍රී නවයට පමණ ඇය පිටතින් දොර වසා යෑමට සූදානම් විය. දොර වසන්නට ඇය කීවේ දියණියකටය. දියණිය දොර වැසූ සැණින් චාන්දනී හඬගා කීවේ, “දුවේ යතුර පිටිපස්සෙ කවුළුව උඩින් තියන්න“ කියායි. එලෙස ඇය හඬගා කීවේ නිවෙස පිටුපස සිටින දිනුකටද ඇසෙන ලෙසිනි.
චාන්දනී සහ දියණියන් නිවෙසින් ගිය සැණින් නිවෙසට ඇතුළුවූ දිනුක ඒ වන විට ඇඳෙහි නිදා සිටි ජයසිරි අසලට ළං වූයේය. ඒ සමඟම අවදි වූ ජයසිරි සමඟ දිනුක පොර බදද්දී දෙදෙනා ඇඳෙන් බිමට වැටුණු බවද දිනුකගේ පාපෝච්චාරණයෙන් හෙළිදරව් විය. ඒ් මොහොතේ ඇඳට එළා තිබූ මදුරු දැලද කඩා වැටිණි.
පසුව මදුරු දැලෙන් ගෙල සිර කර ජයසිරි මරා දමා ඔහු නිදා සිටි ලෙසටම ඇඳ මත තබා මදුරු දැලද ගැට ගසා නිසි ලෙස ඇඳට එළන්නට තරම් දිනුක කූට විය. එසේ දිනුක විසින් ජයසිරි ඝාතනය කර තිබුණේ බොහෝ වේලාවක් නිවෙස තුළ රැඳෙමිනි. රාත්‍රී 11ට පමණ නිවෙසින් පිටතට පැමිණි දිනුක චාන්දනීට කෙටි පණිවිඩ මෙන්ම දුරකතන ඇමතුම්ද ගෙන දන්වා තිබුණේ ‘වැඩේ කළා‘ යන්නයි.
නිවෙසින් පිටතට ආ දිනුක නිවෙස පිටුපසට ගොස් සිටියේ චාන්දනී නිවෙසට එනතුරු මඟ බලමිනි. අලුයම දෙකට පමණ නිවෙසට පැමිණි චාන්දනී කිසිවක් සිදු නොවූ සේ හැසිරෙමින් දරුවන් සමඟ රාත්‍රී ආහාරයද ගෙන තිබිණි. ඒ අතරේ නිවෙස පිටුපස සිටි දිනුක චාන්දනීට කෙටි පණිවිඩයක් යවන්නේ ‘එළියට එන්න‘ යැයි සඳහන් කරමිනි. ඒ සමඟම චාන්දනී නිවෙස පිටුපසට ගොස් දිනුක හමු වූවාය.
“ඔන්න අක්කේ වැඩේ හරි...“ දිනුක කීවේය.
“හරි එහෙනම් මල්ලි ඔතැනම ඉඳලා... උදේ පාන්දර යන්න... මට කෝල් කරන්න එපා... මම සතියකින් කෝල් කරන්නම් බයිසිකලේ වැඩේට...“ චාන්දනී එලෙස පැවසීමත් සමඟ අලුයම වන තෙක් නිවෙස පිටුපස සිටි දිනුක අලුයම තිබූ බසයෙන් බද්දේගම නිවෙසට ගොස් තිබුණේය. නින්දට ගිය චාන්දනී පෙරවරුවේ අවදි වූ සැණින් දරුවන්ටද පෙනෙන සේ විලාප දී තිබුණේ ‘තාත්තා නැතිවෙලා‘ යැයි හඬමිනි.
ඇගේ එකී සියලු සැලැසුම් දින හතරක් වැනි කාලයකදී බටපොළ පොලිසියේ නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනයකින් හෙළි වී අවසානය. චාන්දනීගේ දරුවන්ටද පණ මෙන් ආදරය කළ සිය පියා ඝාතනය කිරීමෙන් පසුවද ඇය වැඩිදුරටත් පොලිසියට කියා තිබුණේ පියා තමන්ට ලිංගික කරදරද කරන්නට තැත් කළ නිසා මෙවැනි දේකට පෙලඹුණු බවට මුසාවකි. පසුගිය 23 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් චාන්දනී සහ දිනුක බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිනී රුවනි ගුරුසිංහගේ අධීක්ෂණයෙන් බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත්ගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන 35207 වීරසේකර, 40180 බණ්ඩාරිගොඩ, කොස්තාපල්වරුන් වන 32100 පැතුම්, 86720 ලක්මාල්, 95113 නිලන්ත, කාන්තා කොස්තාපල්වරියන් වන 12379 චන්දිමා, 6991 උදයන්ති සහ 12270 අධිකාරි යන නිලධාරිහු විමර්ශන සිදු කරති.
ඡායාරූප - චන්ද්‍රසිරි ගුණසේකර
ඇල්පිටිය සමූහ