
හර්ෂණී වීරරත්න
හැමෝම පෙර පෙම්වතාගේ වැරදි කිව්වා, මමත් කොල්ලෙක්නේ ඒ නිසා මම දෙපාරක් හිතුවා
ඒ කාටවත් පොරොන්දු දීලා නැහැ, රත්තරන් පණ දෙන්නම් කියලා නැහැ
කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ සුරේන්ද්‍ර පෙරේරා දැන් තරමක් නිහඬයි. ඔහු ගැයු හැම ගීතයක්ම රසිකයින් වැලඳ ගත්තා. ප්‍රවීණ ගායක එච්. ආර් ජෝතිපාලයන්ට බොහෝ සෙයින් ආදරය කළ බොහෝ දෙනෙකු ඔහුගේ කට හඬට ද ආදරේ කළා. ස්වතන්ත්‍ර නිර්මාණ ගණනාවක් ගයා ඇති ඔහු යළිත් ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වෙලා. ඒ කලකට පසුව. පුංචි දියණියකට ආදරනීය තාත්තා කෙනෙක් වූ ඔහු ගැන තොරතුරුයි මේ. සුරේන්ද්‍ර කාලයක් නිහඬව හිටියා, ඇයි ඒ..?
හේතුවක් නැහැ. මේ දුවන ගීත රටාවත් එක්ක මම කොහොමද ගීතයක් කරන්නේ කියලා හිතමින් හිටියා. ඔය අතරතුර ගීත කිහිපයක් කරලා තියෙනවා. ඒ ගීතත් ඉදිරියේ දි එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
ආයෙමත් ප්‍රසංග වේදිකාවට ගොඩ වෙලා කියලත් ආරංචියි ..?
ඔව්. සෑහෙන කාලයක් ප්‍රසංගවලට සම්බන්ධ වුණේ නැහැ . මෑතකදී ඉඳලා වෙඩින්වල ගීත ගයන්න ලැබුණු ආරාධනා පිළි අරගෙන ඒවාට සම්බන්ධ වුණා. ළඟඳීම ඩුබායි යන්න තියෙනවා ප්‍රසංගයකට. ඊට අමතරව ඇමරිකාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවේ පවත්වන ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවායේ තවම දින නියම කරලා නැහැ. ඒවාටත් සම්බන්ධ වෙන්න තමයි දැන් අදහස් කරගෙන ඉන්නේ. නිහඬව හිටියා ඇති කියලා හිතුවා. මට ආදරේ කරන රසිකයින් නිතරම අහනවා ඇයි ෂෝවලට එන්නේ නැත්තේ කියලා. දැන් මගේ අලුත්ම ආරංචිය ඒක තමයි. ආයෙත් වැඩ පටන් ගත්තා.
බොහෝ ජනප්‍රිය තරුවලට එන ෆේස්බුක් ප්‍රශ්නයක් ඔබටත් ඇවිත්, ඔබ වගේ ගැහැනු ළමයින්ට අයුතු යෝජනා කරන ෆේක් ෆේස්බුක් එකවුන්ට් කතාවේ ඇත්ත මොකක්ද..?
මම නිතරම ෆේස්බුක් යන කෙනෙක් නෙමෙයි. සෝෂල් මීඩියා මම නිතරම භාවිතා කරන්නේ නැහැ. නමුත් මගේ නමින් එකවුන්ට් ගොඩක් හදාගෙන එක එක්කෙනා මගේ මුණ දාගෙන ගැහැනු ළමයින්ට චැට් කරනවා. අයුතු යෝජනා විතරක් නෙමෙයි මුදල් ප්‍රශ්නත් ඇති වෙලා. ඒ මම නෙමෙයි කියලා කී දෙනෙකුට පහදලා දෙන්නද. මම වගේ චැට් කරන අයගෙන් පරිස්සමින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම කිසිම කෙනෙකුට අනවශ්‍ය විදිහට චැට් කරන්නේ නැහැ. මට තියෙන්නේ එක ෆේස්බුක් එකවුන්ට් එකක් විතරයි. මට ඔය ප්‍රශ්නේ නිසා කරදර ගොඩක් ඇති වුණා මගේ නමට ඒක ලොකු හානියක්. ඒ නිසා රැවටෙන්න එපා මගේ හරි එකවුන්ට් එකට එන්න කියලා ආරාධනා කරනවා.
විවාහ ජීවිතෙන් එක්ක කාලයක් නිහඩව හිටපු සුරේන්ද්‍ර දියණියගේ උපන් දින සාදයේ ඡායාරූප සමාජ මාධ්‍ය ට මුදා හැරියා. කොහොමද දුවනියත් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ..?
අපේ දුවගේ නම ඩින්‍යා ඩියෝරා පෙරේරා. නොවැම්බර් 13 වැනිදා තමයි එයාගේ උපන් දිනේ තිබ්බේ. පළමු උපන් දිනය. පවුලේ අය හා හිත මිතුරන් එක්ක එය සැමරුවා. කාලෙකට පස්සේ තමයි පවුලේ ඡායාරූප වුණත් සමාජ මාධ්‍යවල පළ වුණේ. ඉතිං දුවත් එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා. තාත්තා කියන හැඟිම දුන්නේ එයා. පුළුවන් හැම මොහොතක ම එයා එක්ක ඉන්නවා.
දුවක් නිසා වැඩිපුර තාත්තට කිට්ටු ඇති..?
තවම ඒක හරියට කියන්න බැහැ. තේරෙන වයසක නෙමෙයි ඉන්නේ. අනිත් එක දුව ගොඩක් වෙලාවට වයිෆ් එක්ක කොළඹ ගෙදර ඉන්නේ. මට ගම හලාවත අමතක කරන්න බැහැ වැඩ ගොඩක් කරන්නේ මෙහේ. ඒ නිසා මට සතියට දවස් දෙක තුනක් හලාවත ඉන්න සිදු වෙනවා. ඒකත් එක්ක මට දුවව මිස් වෙනවා හරියට. වැඩිපුර අම්මා එක්ක ඉන්න නිසා ඒක හරියට ම කියන්න බැහැ
සුරේන්ද්‍රගේ සිංදුවලට ප්‍රතිචාර දක්වනවද..?
මගේ විතරක් නෙමෙයි ඕනම සිංදුවක් ඇහෙද්දී ප්‍රතිචාර දක්වනවා. ඇහුම්කම් දීගෙන ඉන්නවා. එයත් ගීත රස විදිනවා ඇති කියලා හිතෙනවා. සිංදු කියන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒවා ගැන නම් ලොකු බලාපොරොත්තු නැහැ. එයාගේ හුරතල් වයස එක්ක අපිත් සතුටින් ජීවත් වෙනවා. එයා ලොකු වෙන දිහා දවසින් දවස බලාගෙන ඉන්නවා. එයාගේ අනාගතය වෙනුවෙන් තමයි අපි දැන් හැමදේම කරන්නේ .
ඔබ සම්බන්ධ වුණු ප්‍රසංගයක් නරඹන්න ඇවිත් නේද බිරිය කරගත් අචිනි කල්පනා පෙම්වතිය කර ගන්නේ. ඒ සුන්දර අතීතය ගැනත් මතක් කරමු..?
ඔව්. මම සුපර් ස්ටාර් තරගයට සම්බන්ධ වුණු මුල් කාලේ තමයි මට එයාව මුණගැහෙන්නේ. මම සම්බන්ධ වුණු සංගීත ප්‍රසංගයකට එයා යාළුවෝ එක්ක ඇවිත් හිටියා. හැමෝම මාත් එක්ක සෙල්ෆි ගත්තා. මෙයත් ෆොටෝස් ගත්තා මාත් එක්ක. ඊට පස්සෙ දවසක මට කෝල් එකක් ඇවිත් තිබ්බා. එයාගේ යාළුවෝ මට කතා කරන්න ඕන කියලා එයාගේ ෆෝන් එකෙන් තමයි කෝල් එක අරගෙන තියෙන්නේ. මම මිස් කෝල් එක කාගෙන්ද කියලා බලන්න කෝල් කරා. ආන්සර් කරේ අචිනි. මම කතා කරද්දී එයා කිව්වා යාළුවෝ ඔයාට කතා කරන්න මගේ ෆෝන් එකෙන් කෝල්ස් ගත්තා කියල. ඒ ඇමතුම දිගින් දිගටම අරගෙන ගිහිං අවසානයේ පෙම්වතිය කරගෙන බිරියත් කර ගත්තා ඇයව.
නිතරම ඔබත් එක්ක ඡායාරූප ගන්න පිරිස අතරේ ඇයගේ රූපය මතක තියෙන්න ඇයව විශේෂයෙන් හිතට ඇතුළු වෙන්න ඇති නේද ..?
බොරු කියන්න ඕන නැහැනේ. ෆොටෝස් ගන්න මොහොතේ තමයි මම මුලින්ම ඇය ගැන හිතුවේ. ඒ කියන්නේ අමුතු හැඟීමක් ඇති වුණේ . ඒ නිසයි කතා කරද්දී මතක තිබ්බේ. එයා කතා කරාට පස්සේ සතුටු හිතුණා. නමුත් එතැනදී ඇති වුණේ ආදරයක් නෙමෙයි. පස්සේ කතාබහ කරද්දී තමයි ඇයට ආදරේ ප්‍රකාශ කරලා සම්බන්ධයක් ඇති වුණේ .
පෙම්වතිය විදිහට ඇය ඔබත් එක්ක ජීවිතේ ගෙවද්දී ඔබට තවත් පෙම්වතියන් හිටියා කියන්නේ ඇත්තද ..?
ඔව්. අචිනිට ආදරේ කරද්දී මම තව කිහිප දෙනෙක් එක්කම සම්බන්ධකම් තිබ්බා. නමුත් ඒවා දුර දිග ගිය සම්බන්ධකම් නෙමෙයි අනිත් එක ඒ කිසි කෙනෙකුට මම ආදරේයි කියලත් නැහැ පණ රත්තරන් කියලා චාටු දාලා කතාබහ කරලා පොරොන්දු දීලත් නැහැ. ඒ හැමෝටම කිව්වේ අපි සම්බන්ධය අරගෙන යමු ගැළපුණොත් බලමු කියලා. ඒ නිසා ඒ සම්බන්ධකම් නැති වෙද්දී එයාලා මට දොස් කියලත් නැහැ ප්‍රශ්න ඇති වෙලත් නැහැ .
ඒ අතරින් විවාහයට සුදුසුම කෙනා අචිනි කියලා හිතුවේ ඇයි..?
පළමු කාරණාව එයා මාත් එක්ක සම්බන්ධය ගොඩනගා ගනිද්දී එයාගේ වයස අවුරුදු 17ක්. මුලින්ම මුණගැහෙන්නේ 2008 අවුරුද්දේ. එදා ඉදලා එයා කට්ට කාගෙන දුක සැප නින්දා ප්‍රසංසා මැද දීර්ඝ ගමනක් මගෙත් එක්ක ආවා. අනිත් එක එයාගේ පළමු පෙම්වතා මම. තව හේතුවක් තියෙනවා අර යාළු වුණු හැම කෙල්ලම එයාලගේ පෙර පෙම්වතාගේ වැරදි කිව්වා. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. මමත් කොල්ලෙක් තව කොල්ලෙක්ගේ වැරදි කියනවා කියන්නේ මටත් දවසක අත් වෙන්නේ ඒ ඉරණම විතරයි. ප්‍රධාන හේතුව ඒක. කවදාවත් අචිනි මට වරදක් කරේ නැහැ වරදක් කිව්වේ නැහැ ඒ නිසා හැමෝම අත හැරලා ඇයව ප්‍රියම්භිකාව විදිහට තෝරා ගත්තා. ලොකු කාලයක් ප්‍රශ්න එක්ක මාත් එක්ක හිටපු ඇය විවාහයට සුදුසුම කෙනා කියලා හිතුවා. අත නොහැර මාත් එක්ක ජීවිත කාලෙම ඉන්න කෙනෙක් මට ඕන වුණේ. ඒකට වැඩි සුදුසුකම් තිබ්බේ එයාට.
ඇය පෙම්වතිය විදිහට ඉන්නකොට තවත් පෙම්වතියන් එක්ක සම්බන්ධකම් තියෙද්දි ඇය ඊට දක්වපු ප්‍රතිචාර කොහොමද ..?
කිසි දෙයක් කිව්වේ නැහැ ප්‍රශ්න ආවා. නමුත් මට නිදහස දුන්නා. එපා වෙන තරමට රණ්ඩු කරේ නැහැ සමහර සම්බන්ධතා ඇය දැනගත්තා. එතකොට ප්‍රශ්න කළා. දුක් වෙන්න ඇති සෑහෙන්න පසු තැවෙන්න ඇති. නමුත් අත ඇරලා දැම්මේ නැහැ. මම නරක දෙයක් කරන්නේ නැහැ කියලා එයා විස්වාස කරා. දුක දරාගෙන හැමදේම ඉවසගෙන හිටියා කියලා තමයි කියන්න තියෙන්නේ .
ඒ කාලේ සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ සෙල්ලක්කාරයෙක් කියලත් රාවයක් පැතිරුණා. එහෙම වකවානුවක ඇයගේ මව්පියන් දුවව ඔබට දීග දෙන්න අකමැති වෙන්න ඇති ..?
බඳිනවා කියලා කිව්වට පස්සේ එයාලගේ ගෙදරින් මම ගැන හොයලා බලලා තිබ්බ නරක ආරංචි එක්ක ප්‍රශ්න ආවා. නමුත් සමහර කතා බොරු. කියන තරම් මම සෙල්ලක්කාර නැහැ . බරපතළ වැරදි කරලා නැහැ ඒක අචිනි තේරුම් ගත් නිසා ප්‍රශ්න පැත්තකින් තියලා විවාහයට ලෑස්ති වුණා.
වැඩිපුර ම ආදරේ කරපු පෙම්වතිය මිය ගිය නිසා ජීවිත කාලෙම තනිකඩව ඉන්න තීරණය කරපු කෙනෙක් හැටියට තමයි සුරේන්ද්‍රව ඒ කාලේ සමාජය දැක්කේ..?
ඇත්තටම මට ඕන වුණේ නිදහසේ ඔහේ ජීවත් වෙන්න. ඒකට මට හයියක් වුණේ මගේ අම්මා. මගේ අම්මා නැති වුණේ නොහිතපු මොහොතක. එයාගේ අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කළා. ප්‍රතිකාර ගන්න අතරතුර මගේ යාළුවා විවාහ වුණා එයාට ඔපරේෂන් එක කරන්න ඕන කිව්වේ යාළුවා ගේ වෙඩින් එකට ගියාට පස්සේ. මම ඒ ආසාවත් ඉෂ්ට කරලා තමයි රෝහල්ගත කරේ. ඔපරේෂන් එකෙන් පස්සේ රෝහලේදී මගේ අම්මා මගේ අත උඩ නැති වුණේ. ඒක මට ලොකු කම්පනයක් වුණා. මගේ ජීවිතේ හැමදේම කරලා මාත් එක්ක අම්මා හිටියේ . අම්මා නැති වුණාට පස්සේ මගේ ජීවිතේට කවුරු හරි ඕන කියලා හිතුවා. අම්මා ජීවතුන් අතර ඉන්නකල් විවාහ වෙන්නේ නැහැ කියන තැන මම හිටියේ. ඒත්, ඊට පස්සේ තමයි අචිනි එක්ක විවාහ වෙනවා කියලා හිතුවේ.
පෙම්වතිය අචිනි කියලා අම්මට හඳුන්වලා දීලා තිබ්බද..?
මගේ කිසිම සම්බන්ධයක් මම අම්මට කියලා නැහැ . අචිනිව විවාහ කර ගන්නවා කියලා හිතලා නොතිබ්බ නිසා අම්මාට කියන්න වුවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා කිව්වේ නැහැ.
විවාහයෙන් පස්සේ අචිනි කොහොමද? වෙනස් වුණා ද , එහෙම නැත්තම් තිබ්බ ගතිගුණම ද තියෙන්නේ ..?
වෙනස් වෙලා නැහැ. හිටපු කෙනාමයි. හැබැයි ටිකක් නපුරුයි. මම වගේ කෙනෙකුට හරි යන්නේ එහෙම කෙනෙක් තමයි . අහිංසක ගතිගුණ තියෙන්නේ. වැඩි කතාබහක් නැහැ . ඒ වුණාට ටිකක් නපුරුයි.