
විවාහ ජීවිතය සතුටින් ගත කිරීම සෑම යුවළකට ඇති පොදු සිහිනයකි. නමුත් වර්තමානය වන විට මෙම සිහිනය කොතරම් දෙනෙක් සැබෑ කර ගන්නවා ද? සතුට නොමැති වීමෙන් විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාදයෙන් අවසාන වන අවස්ථා බොහෝ ඇත. විවාහ ජීවිතයේ සතුට රඳවාගෙන බොහෝ කල් ජීවත්වීමට, සතුටින් ජීවත්වන යුවළක් නින්දට යාමට පෙර කළයුතු දේවල් කිහිපයක් පහත දැක්වේ.
01. ජංගම දුරකතනය පසෙකින් තබන්න
සාමාන්‍යයෙන් ජංගම දුරකතන යනු අප සැමට නැතිවම බැරි උපාංගයකි. නමුත් ඔබ එයට පමණට වඩා එල්ලී සිටීෙමන් ඔබේ ආදරණීයයන් ඔබෙන් දුරස් කරන්නෙත් ඔබට නොදැනුවත්වමය. විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන්ට ඇබ්බැහි වීම මඟින්, ඔබේ සිරුරේ ඔබ නොහිතන දේවල් වීමට හැකිය. ආදර හෝමෝනය නමින් හැඳින්වෙන ඔක්සිටොසින් හෝමෝනය මුදාහැරීම අඩපණ වීම සිදුවේ. ඔබ දෙදෙනා අතර ගතින් සිතින් බැඳීමට මෙම හෝමෝනය ලබා දෙනුයේ ඉමහත් දායකත්වයකි. එම දායකත්වය නොමැති වී යාමෙන් ඔබේ සම්බන්ධය කුමක් විය හැකි දැයි ඔබට නිසැකවම අවබෝධ විය යුතුය. මේ සඳහා ඔබ කළ යුත්තේ ඉතාමත් පුංචි දෙයක් වේ. ඔබ නින්දට යාමට පැය බාගයකටත් කලින් ඔබගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කිරීම වඩාත් සුදුසු වේ. එසේ කළ නොහැකි නම් අවම වශයෙන් එය silent කිරීමටවත් වග බලාගන්න. ඔබ දෙදෙනා විසින්ම මෙය සිදු කළ යුතුවේ. ඒ ආකාරයට ඔබ දෙදෙනාට ආදරණීය කාලයක් මෙන්ම සුව නින්දක් ලබා ගත හැකිවේ.
02 වැඩකටයුතු සියල්ල අමතක කිරීම
ඔබත් ඇඳ මතට පැමිණ ඔබගේ රාජකාරි වැඩකටයුතු කරන අයෙක්ද? ඔබගේ රාජකාරි වැඩ මෙන්ම නිවසේ වැඩ නිදන කාමරය තුළට රැගෙන යාමෙන් වැළකිය යුතුය. එසේම රාජකාරි කටයුතුවල ප්‍රශ්න, ආර්ථික ගැටලු, හිත කලබල කරන ගැටලු ඔබගේ නිදි යහන මතට ගෙන යාමෙන් වැළකිය යුතුය. දෙදෙනා එකට සමීපව ගත කරන කාලය තුළ ආදරණීය දේවල් කතා කිරීමට මතක තබා ගන්න. ආදරය කිරීමට සහ ආදරය ලැබීමට මෙම වේලාව වඩාත් සුදුසුය. මෙමඟින් ඔබ දෙදෙනාට ම වෙන් වූ ආදරණීය ගුණාත්මක කාලයක් සොයා ගැනීමට හැකිවේ. එසේම සුව නින්දක් සමඟ හෙට දිනයේදී නව ජවයකින් සූදානම් වීමට අවශ්‍ය හොඳ විවේකයක් ලබා ගැනීමට ද හැකිවේ.
03 එකම වේලාවක එකට නින්දට යෑමට පුරුදු විය යුතුය
සාමාන්‍යයෙන් යුවළක් ලෙස වැඩ කටයුතු කිරීමත් සමඟ එකම පුරුද්දක් පවත්වාගෙන යන්න ඔබට සිතීමට පුළුවන. එය එසේ පුරුදු වුවහොත් එය ඔබගේ සෞඛ්‍යයට පවා ඉතාමත් හිතකර පුරුද්දක් වේ. ඔබ දවසේ එකම වේලාවකට නින්දට යාමට හුරුවන්න. ඔබ වැඩ කටයුතු අවසන්ව නින්දට යාමට පහසු වෙලාව රාත්‍රී 11 නම්, පුරුද්දක් ආකාරයට සිදුකළ හොත් ඔබට නොදැනුවත්වම දිගටම එය හුරුවනු ඇත. ඔබ විසින් මෙය සිදු කළ යුත්තේ ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ ය. මෙය ටික දවසක් අමාරුවෙන් වුවද සිදු කර බැලීම වඩාත් සුදුසුය. එසේ කළහොත් හැමදාම රාත්‍රී 11ට ඔබගේ මොළයට නිදාගන්න යන්න සංඥාවක් යනු ඇත. එම වෙලාවට ඔබට ඈනුම් ගොස්, ඇස් විඩාබර වී ඔබව නින්දට සූදානම් කරනු ඇත. ටිකක් අමාරු වුවද මෙය සඳහා ඔබගේ සහකරු හෝ සහකාරිය එකතු කර ගැනීම තුළින් සුවපහසු ආදරණීය ජීවිතයක් ගත කිරීමට හැකි වේ. එපමණක් නොව දෙදෙනාටම සුව නින්දක් ලැබීමෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකි වේ.
04 ආදරණීය කතාබහක යෙදීම.
ආදරණීය කතාබහක යෙදීම නම් ඔබට අමාරු නැත. මෙහිදී කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. ප්‍රථමයෙන්ම ඔබ දෙදෙනා එකිනෙකාගේ හැඟීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙහිදී ඔබ අනිකාට ක්ෂණික උපදෙස් හෝ විසඳුම් ලබාදීම අවශ්‍ය නොවේ. ඔහු කියන දේ පිළිබඳ ඔබගේ සැලකිල්ල සහො සහයෝගය ඇති බව පමණක් දැනීමට ඉඩ හරින්න. ඒ අනුව ඔබ දෙදෙනා ධනාත්මක හැඟීම් බෙදා ගැනීම වැදගත්ය. හොඳ දේවල් අසන්නට ලැබීමෙන් ඔබට පමණක් නොව ඔබගේ සහකරුට හෝ සහකාරියට සැනසීමක් ළඟාකර දෙන්න. දෙදෙනාටම හිතේ අස්වැසිල්ලෙන් සුවපහසු නින්දක් ලබා ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් දෙදෙනාම එදින සිදුවූ සියලු දෙයක්ම අමතක කිරීමට උත්සාහ කිරීම වැදගත්ය. සියලු ගැටළු සහ දුක් කරදර නිදන කාමරයේ දොර අසල තබා ඒමට අමතක නොකරන්න. ඔබ ඔබගේ සහකරුට කොතරම් ආදරය කරනවාද යන්න වචනවලින් පවසන්න. ඔබ ඔබගේ හැඟිම් අවංකව ප්‍රකාශ කිරීමද ඉතා වැදගත් වේ.
05 වාද විවාද පසෙකින් තබන්න
දෙදෙනා ඇඳට යාමෙන් පසුව රණ්ඩු වීමෙන් වළකින්න. වාද විවාද, උණුසුම් වචන ඔබ දෙදෙනාගේම හිත් රිදවනවා පමණක් නොව එය දීර්ඝ කාලීන ගැටලුවලට පවා මඟ විවර කරයි. වාද විවාද මඟින් ගැටලුවලට විසඳුම් නොලැබෙන බව සිහිතබා ගත යුතුය. සමහර වචන නිසා ඔබගේ ආදරණීය සහකරුට හෝ සහකරුගේ හෝ සහකාරියගේ හිත බිඳී යාමට පවා හැකිය. එසේ වුවහොත් ඔබට පසු දා ඉතුරුවන්නේ බිඳුණු හිතක් සහ මානසික පීඩනයක් පමණි. එවිට ඔබට නැවුම් දවසක් ආරම්භ කිරීමට සිදු වනුයේ පීඩාවට පත්වූ සිතකින් ය. නින්දට යාමට කලින් සියලු පීඩාකාරී කතාබහ ඔබගේ නිදන කාමරයේ දොර අසල තබා ඒමට වග බලා ගන්න.
06. දරුවන් නිදි යහනේ පසෙකින් තැබීම
සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ දරුවන් නිදියහනේ දෙදෙනා අතර මැදින් තබාගෙන නිදා ගැනීමට කැමතිය. එය ඉතාමත් ආදරණීය වේ. නමුත් යුවළක් ලෙස ඔබ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතේ ඉඩකඩත් තබාගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඔබ දෙදෙනාගේ සමීප සම්බන්ධතාවයට බාධාවක් නොවන පරිදි දරුවන්ව වෙනම තැබීම සුදුසු වේ. එලෙසම එය ඔබට සුවපහසු නින්දක් ළඟා කර ගැනීම ද හේතුවක් වේ.
07. සුරතල් සතුන් යහනට ගෙන ඒමෙන් වැළකීම
ලංකාවේ අප නම් සුරතල් සතුන් නිදි යහනට ගොඩ කරගන්නවා ඉතාමත් අඩුය. නමුත් සමහර පුද්ගලයන් මෙම සුරතල් සතුන්ට කොතරම් සමීපදයත්, ඔවුන්ව තම යහනේ තබා ගැනීමට පැකිෙළන්නේ නැත. නමුත් ඔබගේ සහකරු මෙලෙස සුරතල් සතකු යහනේ තබාගැනීම ප්‍රිය නොකරනවා විය හැකිය. ඔබේ අවධානය සුරතලා දෙසට නැඹුරු වීමෙන්, සහකරු හෝ සහකාරිය වෙත ඇති අවධානය බිඳී යාමට හැකය. විශේෂම දේ වනුයේ මෙම සුරතල් සතුන් නිසා ඔබට රාත්‍රියේ අඛණ්ඩ නින්දක් නොලැබී යා හැකිය. ඔබ සුරතල් සතුන්ට ආදරය වුවද, සුරතල් සතුන් ගෙයින් පිට තබා ගැනීම වඩාත් සුදුසුය.
08. මත්පැන් දුම්වැටි වලින් වැළකීම.
මත්පැන්, දුම්වැටිවලින් සුවයක් සෙවීමට ඔබ උත්සහ කළ ද එයින් ලැබෙන ප්‍රතිඵල වලින් නම් ඔබට සහනයක් නොලැබෙනු ඇත. මත්පැන් ජීරණය වීමට වැඩි කාලයක් ගත වනු ඇත. ඔබගේ නින්දට බාධා වීමට එයම ප්රමාණවත්ය. ඒ වගේම දුම්වැටි ඔබගේ නිදිමත ද නැතිකර දමයි. එයින් සිදු වන්නේ ඔබට ඔබගේ සුව නින්ද අහිමි වීම පමණි.