රන්වල පදනමෙන් අවුරුදු 20ට වැඩ 20ක් | සිළුමිණ

රන්වල පදනමෙන් අවුරුදු 20ට වැඩ 20ක්

මට හිතෙනවා මම ඒ තරම් ඉස්පාසුවක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා

මම හිතුව දෙයක් තමයි මෙය මගේ පළමු සහ අවසාන නාට්‍ය කියන එක

ලාංකීය ජන ගීතය හා ජන සංගීතයේ ප්‍රතිහාපුර්ණ රංගන ශිල්පියකු වූ ලයනල් රන්වල ශූරීන් සිය දිවි සැරිය නිමවා විසි වසරක් සපිරෙන මේ මාසය තුළදී එතුමන් වෙනුවෙන් මෙරට ඉපැරණි කලා ශිල්පයන් සමඟ කලාශූරී ලයනල් රන්වලයන් ඉගෙනුම ලැබු පාසල්වල සහ ගුරු වෘත්තීය හෙබ වූ පාසල්වල දු දරුවන්ගේ සහභාගීත්වයෙන් රන් සලකුණ වැඩ 20ක් සංවිධානය කර තිබෙනවා. ඒ ගැන රන්වල පදනම, රන්වල බළකාය, රන්වල මතු පරපුර මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල සමඟ කළ කතාබහයි මේ.

 

අපි කතාවට මුල පුරමු මේ සංවිධානය වන රන් සලකුණ වැඩ 20 තුළින්ම

“මගේ තාත්තා නැතිවෙලා මේ මාසේ 13 වෙනිදාට වසර 20ක්. ඒ වෙනුවෙන් වැඩ කටයුතු 20ක් සංවිධානය වෙනවා. ඒක තමයි නිමිත්ත. එහි තියෙනවා තාත්තා උගන්වපු පාසල් නවයක දේශන වැඩමුළු නවයක්. කෝලම්, සොකරි, රූකඩ ආදී විෂයයන් පිළිබඳව කලා ක්ෂේත්‍රයන්හි නිපුණ විද්වතුන් ද එක්වන ‘ආදී වියතුන් සභා මැද’ වැඩසටහන් යටතේ විද්වත් දේශන 20 ක්. අප්‍රචලිත කවි 20ක් සමාජගත කරනවා. ලයනල් රන්වලයන්ගේ ගීත ඇසුරෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. එපමණක් නෙවෙයි රන් සලකුණ වැඩ විස්සට සමගාමීව එතුමා ගැයූ ගී ඇසුරින් ජීවිත විග්‍රහයක් ද නොමිලේ සිදුකරනවා. ලබන වසරේදී චරිත නිරාවරණයක් ලෙසින් ලංකාවේ බිහි වු විශිෂ්ටයන් පිළිබඳ ඉගෙනුමට ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද ශිල්පින්ගේ එකතුවෙන් කාටුන් චිත්‍රපටයක් කරනවා. මේ දිනවල එහි හඬ පටිගත කිරීම් කෙරෙනවා. සමස්ත ලංකා මට්ටමින් දස්කම් දැක්වූ ළමයින් 20කට ශිෂ්‍යත්ව 20ක් ලබා දෙනවා. ඒ එක්කම නොවැම්බර් 27 දිනට යෙ‍ෙදන තාත්තාගේ ජන්ම දිනය දවසේ “රන්වල බළකාය එක්ක හැන්දෑවක්“ නමින් ප්‍රසංගයක් සිදු කරනවා.

ඔය කියන වැඩවලට අමතරව මේ කාලය ගත වෙන්නේ කොහොමද?

පහුගිය මාසේ අපි ඕස්ට්‍රේලියාවේ පර්ත් වල සිංහල භාෂා පාසලේ ළමයින්ට දවස් 5ක වැඩමුළුවක් පවත්වලා ඒ වැඩමුළුව ඇසුරෙන් “ලංකාවලෝකනය“ නමින් ප්‍රසංගයක් කළා. ඊට කලින් කටාර්වල තිබුණා වොයිස් අන්ලිමිටඩ් (Voice Unlimited) කියල රියැලිටි වැඩසටහනක්. එහි තරුණ ශිල්පීන්ගේ ප්‍රාසංගික අංග පුහුණු කරන්න අපේ කණ්ඩායම සම්බන්ධ වුණා. ඒ එක්කම අපි මෙතෙක් අපේ පාඨමාලා පවත්වාගෙන ආවේ කොළඹ, ගම්පහ, මහනුවර විතරයි. නමුත් එළැඹෙන ජනවාරි මාසයේ මුල ඉඳලා අලුත් පාඨමාලා ආරම්භ කරනවා. මේ දවස් වල විෂයමාලා හදන එක කෙරීගෙන යනවා. ඊට අමතරව ජන නාද මාලා ඇසුරෙන් ගීත නිර්මාණ ගණනාවක් කෙරුණා. එකක් කළා ප්‍රභා දිසානායක වෙනුවෙන් “ආදරේට කෝඩුකාර“ ගීතය. රුහුණු කතරගම දේවාලයේ ආරාධනාවෙන් මේ පාර පෙරහරට සමගාමිව “හරෝ හරා“ නමින් නිල ගීතයක් කළා. එය ගායනා කළේ තාරුක ගුණරත්න සහ නදුන් ලක්ෂිත. තව “නිවෙන ඇවිළෙන“ කියන යොවුන් ගීතයත්, ඉහ පිට මල් කියන ළමා ගීතයත් දෙරණ නාළිකාවේ විකාශය වන “ඉස්කෝලේ“ ටෙලි නාට්‍යයට නිර්මාණය වුණා. ඒ එක්කම ඇමෙරිකාවේ වාසය කරන සුමුදු ජයනි කියන නවක ශිල්පිනියට ගීත හතරක් නිර්මාණය කළා. එහි රූප රචනා කටයුතු මේ දවස්වල සිදු කරමින් යනවා.

මේ වෙද්දී ඔබේ ගෝලයන් විවිධ ක්ෂේත්‍ර වලින් ඉදිරියට ඇවිත් තියෙනවා, ඒ ගෝල පරම්පරාව ගැන සිහි කළොත්?

ගුරුවරයා කියන කෙනා මම දැක්කේ මගේ තාත්තාගෙන්. මගේ තාත්තාගේ තාත්තා ගෝලයන්ව හැදුවේ තමන්ව පහුකරගෙන යන්න. තමන්ට වඩා ඉස්සරහට යන්න හැකි පරම්පරාවක්. අපි යම් කන්දක් නැග්ගා නම් ඊට වඩා ඉහළට යන්න තමයි අපි ගෝලයන්ට කිව්වේ. මගේ ඉගෙන ගන්න ළමයින්ට මම කියන්නේ අපි එක්ක දිගටම වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම ඉහළට ඉගෙන ගන්න ඕනේ කියන එක. එහෙම නැතුව නූගතුන් මම මේ වැඩේ ඇතුළේ තියාගන්නේ නැහැ. ඇත්තටම මම අධ්‍යාපනය කියන්නේ පොතේ පතේ වැඩ විතරක් නෙවෙයි. යම් විෂයකින් ඉස්සරහට යන්න ඕනේ කියන තැන මම ඉන්නේ. ඒ හරහා සෑහෙන පිරිසක් මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා. හැබැයි ඒ අයගේ ගෞරවය මම මුළුමනින්ම මට ගන්න ලැස්ති නැහැ. මොකද කෙනෙක් ඉස්සරහට එද්දී තව ගුරුවරු ඉඳලා තියෙනවා ඒ අය එක්ක. ඒ එක්කම ලැබුණු අවස්ථා සහ වාසනා ගුණය කියන එකත් ඉදිරියට එන්න බලපාලා තියෙනවා. ඒ නිසා මට කියන්න බැහැ මගේ ගාව ඉඳලා අද මෙතන ඉන්නවා කියලා. ඒ අය හැමතැනම ඒක කියනවා. ඒ සතුට මට තියෙනවා.

සහන් කියන රංගන ශිල්පියා මේ කාලයේ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන නිර්මාණ මොනවද?

දෙරණ ඉස්කොලේ නාට්‍යයේ ඉන්නවා. ඉදිරියට එන්න තියෙන ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු චිත්‍රපටයේ පොඩි කොටසකට දායක වුණා. ඒ කොටස මේ වෙද්දීත් සමාජ මාධ්‍යය තුළ වයිරල් වුණා. තව යම් යම් ටෙලි නාට්‍යය පටන් ගත්තත් කොවිඩ් එකත් එක්ක වැඩ නැවතුන ටෙලි නාට්‍යය දෙකක් තියෙනවා.

සහන් රන්වල කියන නිර්මාණකරුවා පුංචි තිරයට හෝ සිනමාවට නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

මම වෙන කෙනෙක්ගේ නිර්මාණයකට දායක වෙනවා ට වඩා මම නිර්මාණයක් කරනවා නම් එහි වගකීම මම භාරගන්න ඕනේ. මට හිතෙනවා මම ඒ තරම් ඉස්පාසුවක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා. ඒ දැනුම තවම මට නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ වෙනකම් මම කළේ එකම එක වේදිකා නාට්‍යයක් පමණයි. එයත් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංගකලාව මම ඉගෙන ගන්නකොට ඒ වෙනුවෙන් කළ නිබන්ධනයක් විදියට කරන්න තිබුණු නාට්‍යයක්. ඒ නාට්‍යය වෙනුවෙන් රාජ්‍ය සම්මානත් ලැබුණා. එය කරද්දීත් මම හිතුව දෙයක් තමයි මෙය මගේ පළමු සහ අවසාන නාට්‍යය කියන එක. මම හිතන දෙයක් තමයි මගේ වගකීම සහ මගේ යොමුව තියෙන්න ඕනේ මේ ජනගීය සමාජ ගත කරන එක. ඒ නිසා මට තියෙන කාර්යබහුලකම එක්ක එතනට යන්න වුවමනාවක් නැහැ.

අනාගත පරපුර ගැන ඔබේ දැක්ම කොහොමද?

නූතන ශ්‍රී ලාංකීය පරපුරක් හදන එක තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒක ලංකාවේ ඉන්න අයට වගේම අපි ආරම්භ කරපු ලංකා e පාසල මඟින් විදෙස් රටවල්වල ඉන්න අයට ඉංග්‍රීසි භාෂාව තුළිනුත් ඉගැන්වීම් කරන පාඨමාලා ආරම්භ කරලා තියෙනවා. අපි දකින්නේ සහ අපේ අරමුණ 2030 වෙනකොට ලෝකය පුරාම ඉන්න ලංකාවේ ළමයි ලංකාව ගැන එකට හිතන, ලංකාව ගැන සන්තෝෂ වෙන, ලංකාවට කරදරයක් වෙද්දී දුක හිතෙන, ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක් හදන එක.

 

Comments