
මට හරිම උපදෙස දෙන්නේ මගේ අම්මා සහ නංගි
මඟහැරුණු කාලය ගැන දුකක් නැතුවම නෙවෙයි
නටාෂා හප්පාවන කියන්නේ 2004 දී විවාහක රූ රැජින කිරුළ දිනා ඉන්පසුව ලෝක රූ රැජින (විවාහක) ඇමරිකාවේ පැවැති තරගයේදී දෙවැනි ස්ථානය සහ තවත් උප ජයග්‍රහණ ද්විත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාවට මහත් කීර්තියක් අත්කර දෙන්නට සමත් වූ සුන්දර කාන්තාවක්. කලක් නිවේදිකාවක්, නිරුපිකාවක් සේම රූ රැජින තරඟ විනිශ්චය සඳහා දායක වූ ඇය පසුගිය කාලය තුළ යම් නිහැඬියාවක පසු වුණා. මේ වෙද්දී නටාෂා දිගු නිහැඬියාවකින් පසු නැවත සිය කලා කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය සතියේ සිට විකාශය ආරම්භ කළ “හීනයකි මේ ආදරේ” ටෙලි නාට්‍යය තුළින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එනවා.
නටාෂා කාලයකට පස්සේ රංගනයට ඇවිත්, අපි එතැනින්ම කතාව පටන් ගමු?
මගේ පෞද්ගලික ජීවිතේ ආව යම් යම් නීතිරීති එක්ක මම කලා ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා හිටියේ. මම ගොඩක් ලොකු ආසාවක හිටිය රඟපාන්න. නමුත් මට අවස්ථා ලැබුණට එක අවස්ථාවක්වත් ගන්න පුළුවන් වටපිටාවක් තිබ්බේ නැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙද්දී මට අවස්ථාවක් ලැබුණා. මගේ මිතුරියක් වන යුගානි ඉසුරු වීරසිංහමුදලිගේ චිත්‍රපටයකට මාව හඳුන්වලා දුන්නා. එය මාර්තු මාසේ රූපගත කිරීම් කරන්න හිටියත් කොවිඩ් සහ රටේ පැවති තෙල්, ආර්ථික ප්‍රශ්න නිසා කල් ගියා. ඊට පස්සේ තමයි මහේෂ් රත්සර මද්දුමඅාරච්චි මහතා තිරරචනය ලියන ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කරන “හීනයකි මේ ආදරේ” ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබුණේ. සුරාජ් මාපා තමයි මේ නාට්‍යයට මාව හඳුන්වා දුන්නේ. මේ මගේ පළමු නාට්‍යය.
ඒ කියන්නේ නටාෂාට මේ අවුරුද්ද විශේෂයි.
ඔව්. මේ අවුරුද්දේ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක විකාශය වුණේ. මට මේ මියුසික් වීඩියෝ එකට කතා කරන්නේ සමන් අතාවුදහෙට්ටි. මේ ගීතය ගයන්නේ නන්දා මාලනී. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඒ නිසා මම හිතනවා මම මාරම වාසනාවන්තයි කියලා මෙවැනි ගීතයක මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වෙන්න ලැබීම. ඉරහඳ තරු කියන ඒ ගීතය තුළින් කතාවෙන්නේ ගැමි කාන්තාවක් විඳින දුක් ගැහැට ගැන. එය රූපගත කළේ කිසිදු මේකප් එකක් නැතුව. සමන් අතාවුදහෙට්ටි මට පිටපත දීලා කිව්වේ මේකෙන් අදහසක් ගන්න කියලා. ඒ පිටපත මගේ ජීවිතේට ළඟයි. ඒනිසා මට ලේසි වුණා ඒ චරිතය කරන්න.
පළවෙනි දවසේ දර්ශන තලයට ගියාම බයක් හිතුණද?
මට පිටපත ලැබිලා ඊළඟ දවසෙම මම ෂූටින් ගියා. මම යද්දී සුරාජ් මාපා සහ රුවන්ති මංගලා අක්කා රඟපානවා. ඉතින් මම හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඒතමයි මම ලබපු සෙට් එකක පළවෙනි අත්දැකීම. ඊළඟ දවසේ තමයි මට ෂූටින් තිබ්බේ. පොඩි චකිතයක් මගේ හිතේ තිබ්බා. නමුත් සීන් එකක් දෙකක් යද්දී ඒ චකිතය නැතිව ගියා. සහය අධ්‍යක්ෂණයට හිටි ෂෙහාන් ඇතුළු හැමෝම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉදිරියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක තමයි මට බලන්න වෙන්නේ මගේ රංගනය ගැන.
කොහොමද නාට්‍යයයේ කණ්ඩායම
ප්‍රවීණ දක්ෂ ජනප්‍රිය කණ්ඩායමක් එක්ක මට වැඩ කරන්න ලැබුණේ. මගේ පළවෙනි නිර්මාණය විදියට ඒ වගේ කණ්ඩායමක් එක්ක මට වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි. මට මේ අය එක්ක වැඩ කිරීම තුළින්ම මගේ රංගන ජීවිතේට ලොකු අත්දැකීමක් එකතු කර ගන්න පුළුවන්. ඒ එක්කම මතක් කරන්න ඕනේ මේ නාට්‍යය විකාශය වෙන්නේ ස්වාධීන රුපවාහිනි සේවයේ. මම මෙවර ස්වාධීන රූපවාහිනි නාළිකාවේ සූර්ය මංගල්‍යයට නිවේදනයෙන් එක්වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මගේ පළමු නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වීම ගැන ගොඩක් සතුටුයි.
කොහොමත් නටාෂා රංගනයට එන්න කලින් නිවේදිකාවක්නේ...
මම නිවේදිකාවක් විදියට පටන් ගත්තේ රූපවාහිනියෙන්, ඊට පස්සේ ස්වර්ණවාහිනී නාළිකාවේ නිවේදිකාවක් විදියට හිටියා. මේ වෙද්දී නැවත මම නිවේදනයටත් යොමුවෙලා ඉන්නවා. ඒ සුනේත්‍රා කුමාරි අක්කාගේ ආරාධනාවෙන් මට ජාතික රූපවාහිනියේ විකාශය වන රූපවාලෝකනය වැඩ සටහන නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒකත් ඉදිරියේදී දැක ගන්න පුළුවන්.
නටාෂා පාසල් ගියේ කොහේද
කොළඹ මියුසියස් විද්‍යාලයට.
වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මම බාහිර උපාධිය ලබනවා. ඊට පස්සේ මාස්ටර් එක කරනවා UK විශ්ව විද්‍යාලයක් එක්ක. මේ වෙද්දී PHD එක පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා Psychology පැත්තෙන්.
මේ වෙද්දී පදිංචිය කොහේද?
මම ඉන්නේ නාවල.
නටාෂා රැකියාවක් කරනවද?
මම මුලින්ම රැකියාව විදියට කළේ Tourism Industry එකේ Sri Lankan airlines ticketing reservation පැත්තේ. දැන් මම මගේම ව්‍යාපාරයක් විදියට event planning (මංගල උත්සව සහ උපන්දින උත්සව) කරගෙන යනවා. මේ වෙද්දී මගේ මුලික ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ මගේ ව්‍යාපාරය.
ආදරේ, විවාහය ගැන කතා කළොත්
මම ඇත්තටම ආදරේ ගැන කතා කරන්න කැමතිම නැහැ. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු.
දැන් ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දැනට නම් මට මගේ පවුල් පසුබිම එක්ක ලොකු සහයෝගයක් තියෙනවා. ඉදිරියට කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. මට හරිම උපදෙස දෙන්නේ මගේ අම්මා සහ නංගි. ඒ කියන්නේ මම දන්නවා මගේ හොඳම විවේචකයන් වෙන්නේත් ඒ දෙන්නා කියලා. මට හැමතිස්සෙම එයාල කියන්නේ තමන්ට සුදුසුයි කියලා හිතෙන දේ හරියට තේරුම් බේරුම් කරගෙන කරන්න කියලා. හැමෝගෙම හිත් ගැන හිතලා හරි හිමින් ආව ගමනක් මේක. ඉතින් මම දැන් හිතනවා ඉවසීමෙන් මම ආව නිසා මට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කියලා.
ගතවුණු කාලය ගැන දුකක් තියෙනවද?
මඟහැරුණු කාලය ගැන දුකක් නැතුවම නෙවෙයි. නමුත් මම විශ්වාස කරනවා මේ ලෝකෙට අපි හැමෝම එන්නේ යම් කිසි සැලසුමක් ඇතිව. ඒ නිසා ඒකට අනුව තමයි හැමදෙයක්ම සිද්ධ වෙන්නේ. මේක වෙන්න ඇති මගේ කාලය. මම හිතනවා මම හැලහැප්පීම් එක්ක ගත කරපු ජීවිතේ අත්දැකීම මට රංගනයට උපකාරී වෙයි කියලා. විශේෂයෙන්ම මම කළ මියුසික් වීඩියෝ එක කරන්න මට මම ලබපු අත්දැකීම් උපකාරී වුණා. ඒ නිසා ගත වුණු කාලය තුළ නිර්මාණ මඟහැරීම ගැන දුකක් නැහැ. මම තවම පරක්කු නැහැ කියන එක මම හිතනවා. ඒ නිසා ඇත්තටම මට සතුටුයි.
අනාගතය ගැන මොනවගේ බලාපොරොත්තුද තියෙන්නේ?
මට ජීවත් වෙන්න ලැබුණු අද දවස ගැන මම හිතනවා. මම අද නොකා නොබී හෙට වෙනුවෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ එක්කම අද තියෙන ඔක්කොම නාස්ති කරලා හෙට කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන කෙනෙකුත් නෙවෙයි. බොහොම මධ්‍යස්ථව, හරිම උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන කෙනෙක්.