දැන් මම ආයේ ආදරවන්තියක් වෙන එකක් නෑ | සිළුමිණ

දැන් මම ආයේ ආදරවන්තියක් වෙන එකක් නෑ

හීනයක් කියලා දැක්කෙත් ලස්සන පවුල් ජිවිතයක්

කෙනෙක් ඉන්නවා නම් මගේ ඇස් දෙකට කලින් හිතට දැනෙයි

ආදරේ කර කර අත්හදා බලන්න කාලයක් මට නැහැ

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘කියාදෙන්න ආදරේ තරම්‘ හි සමන්දිනි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. දකුණු ඉන්දීය නිළියක් වගේ ලස්සන රූ සපුවක් හිමි ඇය නමින් ඉෂංකා අබේසේකර. ඉතාම කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගන්නට සමත් වුණු ඇය සමඟයි මේ සොඳුරු කතා බහ.

 

කලාවට එන්නේ කොයි කාලේද?

මම බ්‍රයිඩ්ල් මොඩ්ල් කරන කෙනෙක් විදියට සහ කමර්ෂල්වල හිටියා. නමුත් මම රංගන ශිල්පිනියක් විදියට එන්නේ 2019 දී. ඒ ‘චන්ද්‍රපාණී’ රූප රචනාව තුළින්. වාසව බදුගේ තමයි මට චන්ද්‍රපාණි නිර්මාණය සඳහා ආරාධනා කරන්නේ. ඇත්තටම එයට ආරාධනා ලැබෙන්නේ අහම්බයෙන්. මම වැඩිය ටෙලි නිර්මාණ වලට දායක වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ටෙලි නිර්මාණ ගැන කිව්වොත් ඉන්ටර්නැෂනල් සහ බන්ධනා කියන ටෙලි නාට්‍යයවලට රංගනයෙන් දායක වුණා. නමුත් ගොඩක් අය මාව හඳුනා ගන්නේ ‘කියාදෙන්න ආදරේ තරම්‘ හි සමන්දිනි චරිතයෙන්.

 

ඒ කියන්නේ වැඩි කැමැත්තක් තියෙන්නේ සිනමාවට ද?

ඔව්. එහෙම තමයි. මොකද මම ‘චන්ද්‍රපාණි‘ වීඩියෝ එකෙන් පස්සේ දිගටම මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වුණා. උමාරියා කියපු යුද ගිනි දුමාරය සින්දුවටත් ඉන්නවා. මම හැමදාම නිර්මාණ භාර ගත්තේ තිරපිටපත බලලා. මගේ තිබ්බ ලොකුම ආසාව සිනමාවට සම්බන්ධ වීම. ‘චන්ද්‍රපාණි‘ එකෙන් පස්සේ ලංකාවේ සම්මානිත ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ඒ අයගේ අලුත් සිනමා නිර්මාණ වලට මට ආරාධනා කළා. මට ඕනේ වුණෙත් සිනමාවෙන් ගමනක් යන්න.

 

ඉෂංකාගේ වෘත්තීය කලාව ද?

නැහැ. මම වෘත්තියෙන් ව්‍යාපාරිකාවක්. මම මගේම කියලා import & export company එකක් කරනවා. එය නමින් ishskin. pvt. Ltd. තව මම fashion designer කෙනෙක් විධියටත් වැඩකටයුතු කරනවා. මේ වෙද්දී ISH fashion studio නමින් ඇඳුම් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් මම සතුව තිබෙනවා. මම කලා ක්ෂේත්‍රය තුළින් හම්බකරගන්න පුළුවන් කියලා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. මම හම්බ කරන්නේ මගේ ව්‍යපාරවලින්.

 

ඉෂංකා දකුණු ඉන්දීය නිළියක් වගේ කියලා නේද බොහෝ දෙනා කියන්නේ

‘චන්ද්‍රපාණි‘ කියන්නේ දකුණු ඉන්දියානු ගායකයෙකුට නිර්මාණය කළ සින්දුවක්. නමුත් ඒ කාලේ තිබ්බ ප්‍රශ්න එක්ක ඔහුට ලංකාවට එන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ සින්දුව නිර්මාණය කළ යසස් මැදගෙදර හිතනවා ඔහුම එය ගායනා කරනවා කියලා. වාසව සහ යසස්ට ඕනේ වෙන්නෙත් දකුණු ඉන්දීය පෙනුමක් තියෙන කෙනෙක්ව. ඒ නිසා තමා මාව අරගෙන තිබ්බේ. කොහොම හරි ඒ නිර්මාණය දැකපු බලපු හැමෝම හිතලා තිබ්බේ මම ලංකාවේ කෙනෙක් නෙවෙයි කියලා. ගොඩක් අය මගෙන් අහන්නේ දමිළ ද මුස්ලිම් ද කියලා. මම නිර්මාණයක් කරන විට මේකප් භාවිත කරන්නේ නෑ. නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් දකින්නේ ඇත්තම මාව.

 

දකුණු ඉන්දීය නිර්මාණවලට ඇරියුම් ලැබිලා ද තියෙන්නේ?

මම රංගනයෙන් දායක වුණු ඉන්දීය ගායක ආදිත්‍යය ආර්. කේ ගේ නිර්මාණයක් ළඟදි නිකුත් වුණා. තව ඒ වගේ ඉන්දීය නිර්මාණ 2 ක් එන්න තියනවා. ඒ එක්කම High school junkies එකෙන් කරපු Temporal Short film එකකටත් මම සම්බන්ධ වුණා. මේ සියල්ලට ආරාධනා ලැබෙන්නේ ‘චන්ද්‍රපාණි‘ සින්දුව දැක්කට පස්සේ.

 

ඉෂංකාට දෙමළ භාෂාව පුළුවන්ද?

සිංහල තරම් චතුර ලෙස බැහැ. නමුත් ටිකක් පුළුවන්. මොකද මගේ ගෙදර අයට භාෂා දෙක තුනම පුළුවන් නිසා. මම දායක වුණ දමිළ කෙටි චිත්‍රපටියක් එන්න තියනවා එහි මගේ චරිතයේ හඬ මම මයි ලබාදෙන්නේ.

 

ඉෂංකා මේ වෙද්දී ආදරවන්තියක් ද?

දැන් නැහැ. කලින් මම ආදරවන්තියක් වෙලා හිටියා. මම හිතන්නේ මම දැන්මම ආයේ ආදරවන්තියක් වෙන එකකුත් නැහැ. නමුත් අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවක ආදරේ මුණ ගැහෙයිද කියලා. ඒකත් හරියටම මරණය වගේ අවිනිශ්චිත දෙයක්. කොයි වෙලේ කාට ආදරේ ඇතිවෙයිද දන්නෙත් නැහැ.

මම අවුරුදු පහ හයක් ආදරේ කළා එකම කෙනෙක්ට. ඒ සම්බන්ධය මම නවත්තන්නේ 2017දී. මගේ තාත්තාගේ වියෝවත් සමඟම. මම ඊට පස්සේ එකම මතකය ඉන්නවා මම ආදරේ කරන කෙනා මගේ ජිවිතේ සහකරුවා විය යුතුයි කියලා. දැන් මට අවුරුදු 29යි. ඒ නිසා මට ආදරේ කර කර අත්හදා බලන්න කාලයක් නැහැ සහ මම එහෙම කැමති නැහැ. අනිත් එක මම විශ්වාස කරනවා සංසාරේ හුරුවක් තියෙන්න ඕනේ කියලා. මොකද ලේසියෙන් කෙනෙක්ට මගේ හිත යන්නේ නැහැ. අපි ඉන්න ක්ෂේත්‍රයට අනුව ගොඩක් ලස්සන කඩවසම් අය හම්බෙනවනේ. එහෙම හම්බෙන කිසිම කෙනෙක් අදටත් මට විශේෂ නැහැ. මම ආදරේ දකින්නේ හරි ගැඹුරින්. එහෙම කෙනෙක් ඉන්නවා නම් මම දන්නවා මගේ ඇස් දෙකට කලින් හිතට දැනෙයි කියලා. මම ආදරේ දකින්නේ ඒ කෙනා තුළ තියෙන පෞරුෂත්වය තුළින්. මට දැනෙන්න ඕනේ ඒ කෙනා ඉන්නකොට මට කිසිම බයක් නැහැ කියන හැඟීම. ඉස්සර තාත්තා අපි ගාව නම් අපි කිසි දේකට බය නැහැනේ. අන්න ඒ වගේ ලොකු ආරක්ෂාවක් රැකවරණයක් දැනෙන්න ඕනේ.

 

පවුලේ තව ඉන්නේ කවුද?

මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි. මගෙ තාත්තා මට තිබ්බ ආදරේ නිසාම මාව සමාජයට යවන්න බය වුණා. තාත්තා මට හොඳට ඉගැන්නුවා නිතරම අධ්‍යාපන කටයුතු පිළිබඳ හොයලා බලලා අධ්‍යාපනයට යොමුකළා. ආදරේ නිසා ඔහු කීවේ රස්සාවක් කරන්න ඕන නෑ ඒත් ගෑනු ළමයෙක් බුදුධිමත් වියයුතුයි කියලා. ඒත් අම්මා අපිව ස්වාධීනව රැකියාවක් කළ යුතුමයි පවුලෙන් යැපෙන්න හදන්න එපා කියන එක තරයේම සැරටම මටයි මල්ලිටයි හිතට දුන්නා. ඒ වෙලාවට ඇය අපිට කියනවා තාත්තා එක්ක හුරතල් වෙන්න. මාත් එක්ක ඒවා බෑ ඔයාලා ලොකු ළමයි හම්බකරන්න ඉගෙන ගන්න කියලා. අපි ඉල්ලන අපි ආස හැමදේම අම්මා දුන්නත් ඇය තරයේම අදටත් කියන්නේ අපි අපේ දේවල් තනියම ගොඩනඟා ගන්න ඕන කියලා.

 

අහම්බෙන් හරි නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නේ

මම හිතුවේ නැහැ මම කවදාවත් නිළියක් වෙයි කියලා. මම මාතලේ උපන්න කෙනෙක්. පාසල් ගියේ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලට. මගේ පෙනුම එක්ක මට පාසල් යන කාලේ ඉඳන් අවස්ථාවන් ලැබුණා. මගේ අම්මගෙන් තාත්තාගෙන් අහල තියෙනවා නිර්මාණයකට දුව දෙනවද කියලත්. හැබැයි ඒ දේවල්වලට මම කිසිම වෙලාවක සම්බන්ධ වුණේ නැහැ. මම සාම්ප්‍රදායික ෆැමිලි එකකින් එන කෙනෙක්. ඒ නිසා අපි දකින්නේ ඩ්‍රීම් එකක් විදියට ෆැමිලි ලයිෆ් එක තමයි හොඳම දේ කියලා. මගේ තාත්තා හරිම සැරයි. එයා කිව්වේ හැමදාම හොඳින් ඉගෙන ගන්න කියලා. මම දන්නවා මට රඟපාන්න හීනයක් තිබ්බත් අපේ ගෙදරින් ඊට ඉඩක් නැහැ කියලා. ඒ නිසා වෙන්නේ නැති දේවල්වලට මම හීන දැක්කේ නැහැ. හීනයක් කියලා දැක්කෙත් ලස්සන පවුල් ජිවිතයක්. මට කලින් තිබුණ ආදර සම්බන්ධය පවා කළේ ගෙදර අය දැනුම්වත්ව. පවුල ඇතුළෙ ඉද්දි දැක්ක හීනෙ තමා හොඳ පවුල් ජීවිතයක් කියන එක.

අද මම ඉන්න තැන ගැන සහ ප්‍රේක්ෂකයන් ඇවිත් කතා කරද්දී පුදුම සතුටක් දැනෙනවා. මම මාස්ක් එක දාගෙන හිටියත් මගේ ඇස් වලින් මිනිස්සු හඳුනගෙන කතා කරනවා. මගේ කටහඬින් ‘අනේ මේ සමන්දිනි නේද?‘ අහනවා. එහෙම ආදරයක් ලබන්න ලැබීමම වාසනාවක්. මේ ක්ෂේත්‍රයට මාව හඳුන්වල දුන්න වාසව බදුගේ මහත්මයාට සහ මහේශ් රත්සර අයියා සහ ධනුෂ්ක රත්නායක අයියට මගේ ස්තූතිය සහ ගෞරවය පිරිනමන්න ඕන.

 

Comments