එතැනින් එහා බැඳීමක් නෑ මට එයත් එක්ක | සිළුමිණ

එතැනින් එහා බැඳීමක් නෑ මට එයත් එක්ක

ඇය මට හමුවුයේ සිරගෙදර සල්ගස යටදීය. වයස අවුරුදු විසිහතරක් පමණ පෙනුමැති ඇය කොතැන හෝ රැකියාවක් කරන බව නම් බැලූ බැල්මටම කිවහැකිය. උදෑසන හිරු එළියෙන් බේරීමට සල්ගස අද්දර තිබූ සිමෙන්ති බැම්මේ වාඩිගෙන සිටි ඇය හා කතා කරන්නට මම වැයම් කළෙමි. සුන්දර සිනාවක් පෑ ඇය කතා කරන්නට කැමැති යැයි හැඟවුවාය. කොළඹට ආසන්න වෙසෙන අචලා නම් වූ ඇය මට කියූ ඇගේ කතාවයි මේ.

මම ඉපදුණේ නුවර. මට එක අක්කා කෙනෙක් ඉන්නවා. අපේ තාත්තා මැදපෙරදිග වැඩ කළේ. එතකොට පවුලේ බාලයා වුණ මගේ වයස අවුරුදු එකොළහක් විතර වෙනවා. ලොකු අක්කාට අවුරුදු දහතුනයි. අපේ අම්මයි, තාත්තයි යමක් කමක් තියෙන පවුල්වල අය. ඒ නිසා පොඩි කාලේ ඉඳලාම අපි බොහොම සැපට හැදුනා. තාත්තා ගෙදර ආවේ අවුරුදු තුනකට සැරයක්. තාත්තා ආවම අපේ ගෙදර සතුටෙන් පිරිලා යනවා. අම්මයි, තාත්තායි, අක්කයි, මමයි හරිම සතුටෙන් හිටියේ. සමහර දවස්වලට අම්මාගේ නෑයෝ එනවා අපිව බලලා යන්න. තාත්තා හැමදාම වගේ අම්මාට කතා කරනවා. අපිත් එක්ක කතා කරනවා. කාලය ගෙවිලා ගියා. දවසක් අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට අම්මා ගෙදර හිටියේ නැහැ. අක්කයි, මමයි අපේ නෑයන්ගේ ගෙවල්වලට කතා කරලා අම්මා ගැන ඇහුවා. කවුරුවත් දැනගෙන හිටියේ නෑ අම්මා කොහෙද කියලා. එදා හැන්දෑවේ මේසෙ කොළේ යට තිබිලා අපිට අම්මාගේ අත්අකුරෙන් ලියපු ලියුමක් හමු වුණා. ඒ ලියුමේ අම්මා කියලා තිබුණේ එයා සතුටෙන් ඉන්නවා. එයා ගැන හොයන්න එපා කියලා. එදත් රෑ තාත්තා කතා කළා. අපිට අම්මා ගැන කියන්න හිටියේ අහල පහල හිටියේ පොඩි මාමා විතරයි. අක්කයි, මමයි පොඩි මාමාට ගිහින් කිව්වා අම්මා ගෙදරින් ගිහින් කියලා.

 

පොඩි මාමා තාත්තාට අම්මා ගැන කිව්වා. තාත්තා අපිත් එක්ක කතා කළා. “ඕගොල්ලෝ බය වෙන්න එපා මම ඉක්මනින් එනවා. පොඩි මාමා දුවලාව බලා ගනියි.“

එදා රෑ අක්කයි, මමයි හිටියේ පොඩි මාමාගේ ගෙදර. පහුවදා අපි දෙන්නම ඉස්කෝලේ ගියේ නැහැ. එදා දවල් වෙලා පොඩි මාමා අම්මාගේ නංගිව අපේ ගෙදර එක්කගෙන ආවා. ආච්චි අම්මයි, පුංචියි දෙන්නම එදා ඉඳන් අපිත් එක්ක හිටියා. මේ සිද්ධිය වෙලා සති දෙකකින් විතර තාත්තා ලංකාවට ආවා. එදා තමයි අපි හොඳටම සතුටු වුණ දවස වගේම අක්කයි, මමයි හොඳටම අඬපු දවස. “ මගෙ පුතාලා අඬන්න එපා. මම ඔය දෙන්නාව දාලා යන්නේ නෑ කවදාවත්. ආච්චියි, පුංචි අම්මයි ඔයාලා දෙන්නව බලාගනියි. ඔය දෙන්නා හොඳට ඉගෙන ගන්න ඕන. අම්මා නැති වුණා කියලා මම ඔය දෙන්නව තනි කරන්නේ නෑ.“ තාත්තා අපි දෙන්නව බදාගෙන එහෙම කිව්වා. ඇත්තටම අපි තනිවෙලා නෑ කියලා අපිට දැනුණේ එතකොටයි. අපේ පුංචි අම්මා විවාහ වෙන්න හිටියේ. ඒත් අම්මා අපිව දාලා ගියාම එයා විවාහ වෙන්නැතිව ඉන්න තීරණය කළා. පුංචි අම්මා අපි දෙන්නා වෙනුවෙන් පුදුමාකාර පරිත්‍යාගයක් කරපු කෙනෙක්. තාත්තා මාසයකට විතර පස්සේ ආයෙත් රට ගියා.

“පොඩ්ඩි, ඔයා මං වෙනුවෙන් ලොකු දෙයක් මේ කරන්නේ. මං ඔයාලා දෙන්නව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. අනේ අම්මේ මගෙ කෙල්ලෝ දෙන්නාව ඇස් දෙක වගේ බලා ගන්න.“ තාත්තා රට යන දවසේ ආච්චි අම්මාට වැඳලා කිව්වා. ආච්චි අම්මා අපේ තාත්තාගේ ඔලුව අතගෑවේ පුදුම ආදරයකින්.

“පුතේ උඹ මගෙ බෑණා නෙමෙයි.. උඹ මගේම පුතා.... “තාත්තා ගිහිල්ලා ටික දවසක් යනතුරු අපි පුදුම පාළුවකින් හිටියේ. ඒත් තාත්තා හැමදාම අපිට කතා කෙරුවා. පුංචි අම්මා, ආච්චි අම්මා හැමෝම එක්ක කතා කළා. ඇත්තම කිව්වොත් අම්මා එක්ක හිටියට වඩා සතුටින් අපේ කාලේ ගෙවිලා ගියා. අපි දෙන්නම හොඳට ඉගෙන ගත්තා. අක්කා කැම්පස් ගියා. මමත් කැම්පස් තේරුණා. ඒත් මට කැම්පස් යන්න ආසාවක් තිබුණේ නැහැ. ඒ වුණාට මගෙ තාත්තාගේ ආසාව තිබුණේ මාවත් කැම්පස් යවන්න. අන්තිමට මම කැම්පස් යන්න තීරණය කළේ තාත්තාගේ ආසාව ඉෂ්ට කරන්න.

දවසක් අක්කා ගෙදර ආවේ හරිම කලබලයකින්.

“මොකද ලොකු”? පුංචි අම්මා එහෙම ඇහුවේ ප්‍රශ්න පත්තරයක්ම අතේ තියාගෙන. ගෙදර ආව අක්කා එක දිගට වතුර වීදුරුවක්ම බීගෙන ගියා. ඊට පස්සේ එයා හැන්ඩ්බෑග් එකෙන් කොළයක් අරගෙන ඒක පුංචි අම්මාගේ අතේ තිබ්බා.

“මොකක්ද ලොකු?”

“කියවලා බලන්න”

අක්කා පුංචිගෙ අතට දුන්නේ දිනපතා පත්තරයක්. පත්තරය බලපු පුංචිට හීල්ලුනා.

“ඇයි දූ...?”

ආච්චි අම්මත් පත්තරයට එබුණා.

“අයියෝ”

“අපි දැන් මොකද කරන්නේ පුංචෝ?” අක්කා පුංචි අම්මගෙ අත අල්ලගෙන ඇහුවා.

“අනේ මන්දා ..... අපි තාත්තගෙන් අහමු.”

“අනේ මට නම් බැහැ. තාත්තට කියන්න.” අක්කා කාමරයට ගියා එහෙම කියාගෙන.

පත්තර පිටුව අතේ තියාගෙන පුංචි අම්මා ලොකු කල්පනාවක හිටියේ. ඊට පස්සේ එයා තාත්තාට කෝල් එකක් ගත්තා.

මමයි, අක්කයි, ආච්චි අම්මයි තුන්දෙනාම එක ළඟට වෙලා හිටියේ. පුංචි අම්මා එකින් එක විස්තර කියන්න ගත්තා. පත්තරේ තියෙන විස්තරයත් කියෙව්වා.

“ඔය ගෑනිට ඔහොම වෙලා මදි. මාවයි මගෙ කෙල්ලෝ දෙන්නවයි අසරණ කළාට. ඔන්න ඔය පත්තර කොළේ වීසි කරලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පාඩුවේ ඉන්න... ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැනේ. ලොකු දුවට කියන්න මම ලබන මාසේ එනවා කියලා. එයාගේ වෙඩින් එකට ලැස්ති වෙන්න කියන්න .... ”

තාත්තා කතාව ඉවර කළේ ඒ විදිහට.

අම්මා අපිව දාලා අවුරුදු ගාණකට කලින් වෙන කෙනෙක් එක්ක ගිහින් තිබුණාට එයා මේ සිද්ධිය වෙනකොට එයාවත් අතහැරලා දාලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එයා ජීවත් වෙලා තියෙන්නේ හිතුණ හිතුණ වෙලාවට හමුවුණ කෙනත් එක්ක. ඔහොම ඉන්න අතරේ තමයි අම්මා එයා එක්ක හිටපු තාවකාලික පෙම්වතාව මරලා තියෙන්නේ. ආච්චි අම්මා නම් දවස් ගාණක්ම අඬ අඬා හිටියා. ඒත් පුංචි අම්මා අපි හැමෝගෙම හිත හැදුවා. මේ කාලේ වෙද්දි මට දැනුණ දෙයක් තමයි පුංචි අම්මයි තාත්තයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකට අපි කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අක්කාගේ මංගල උත්සවය ගන්න ආවාම තාත්තා කළේ පුංචි අම්මා එක්ක විවාහ වුණ එක. ඊට පස්සේ තමයි අක්කාගේ විවාහ උත්සවය ගත්තේ. විවාහයෙන් පස්සේ අක්කා එයාගේ මහත්තයත් එක්ක පිටරට පදිංචියට ගියා.

ඊට පස්සේ තාත්තාත් ලංකාවට ආවා. දැන් අපේ ආච්චි අම්මා ඉන්නේ ටිකක් අසනීප ගාණේ. පොඩි මාමා, ඒ නැන්දා මල්ලිලා දෙන්නා හැමෝම ආච්චි ගැන බලනවා. දැන් මමත් රස්සාවක් කරනවා. ඇත්තටම අපි සතුටින් ඉන්නවා.

ඒත් මගේ හිතේ දුකක් තියෙනවා. ඒ අම්මා ගැන. එයා විහින් අමාරුවේ වැටුණේ. මම හිතුවා දවසක් අම්මා බලලා යන්න ඕන කියලා. එහෙම හිතලා මම ජීවිතේ පළවෙනි පාරට හිරගෙදරට ආවා. අම්මා මාව අඳුරගත්තේ නැහැ. ඒත් මං කවුද කියලා කිව්වාට පස්සේ එයා මගෙ අත අල්ලගෙන හරියට ඇඬුවා.

“පුතේ ඔයාගේ තාත්තටයි, ඔය දෙන්නටයි කරපු දේවල්වලට තමයි අද මම මේ වන්දි ගෙවන්නේ.“

එදා මං එන්න කලින් අම්මා මට එහෙම කිව්වා. දැන් එයා දුක් වෙනවා එයාගේ අතින් වෙච්ච වැරැද්ද ගැන. ගෙදර කවුරුවත්ම දන්නේ නැහැ මම අම්මා බලන්න හිරගෙදර ආවා කියලා.

අම්මට වැඩිය මගෙ හිතේ ආදරය තියෙන්නේ පුංචි අම්මට. එයා එයාගේ තරුණ කාලෙමයි අපිව හදාගත්තේ. මං හිතන්නේ නැහැ කවුරුවත් ඒ වගේ කැපකිරීමක් කරයි කියලා. අපේ තාත්තා දෙවියෙක්. එයා කවදාවත් අපිට දුකක් දීලා නැහැ. දැන් අපේ පවුල බොහෝම සතුටෙන් ඉන්නවා. මට හිතුණා මං මොකටද අම්මා ගැන එයාලට කියලා ඒෙගොල්ලන්ගේ හිත්වලට දුකක් දෙන්නේ කියලා. ඒ නිසා මම කාටවත්ම කියන්න ගියේ නැහැ මම අම්මා බලන්න ආවා කියලා.

මම මට පුළුවන් දවසට ඇවිල්ලා අම්මාව බලලා යනවා. එච්චරයි. එතැනින් එහා බැඳිමක් නෑ මට එයත් එක්ක.

පුංචි අම්මයි, තාත්තයි තමයි මගේ ලෝකය.

Comments