ආදරේ කරපු කෙනා එයා ඒ නිසා ඇයව මගේම කර ගත්තා | සිළුමිණ

ආදරේ කරපු කෙනා එයා ඒ නිසා ඇයව මගේම කර ගත්තා

කවුරුත් මාව චරිතාංග නළුවෙක් හැටියට හඳුන්වන්නේ

සුදුත් නොවන කළුත් නොවන අළු චරිතවලින් දකින්න  ලැබෙන නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා

 

රොෂාන් රණවන කියන්නේ කාලයකට කලින් ආසියාවේ කඩවසම්ම තරුණයා බවට පත් වුණු නිරූපණ ශිල්පියෙක්, ඉන් පසුව ඔහුට සිනමා තරුවක් වීමේ භාග්‍ය උදා වෙනවා. මේ වෙද්දී බිහි වූ බහුතර සිනමාපට බොහෝමයක ඔහුගේ රංගන දායකත්වය දැක ගන්න ලැබෙනවා, දැන් පුළුල් තිරයේ දිග හැරෙන නිමි චිත්‍රපටයෙන් හා රුහිලේ කියන සිනමාපටයෙනුත් ඔහුව දැකගන්න ලැබෙනවා. ඒ නිසාම ඔහු ගැන මේ විදිහට කතා කරන්න හිතුවා.

 

බොහෝ ජනප්‍රිය සිනමා තරු මේ වෙද්දී දකින්නේ නැති වුණාට රොෂාන්ව නම් තිරගත වන බොහෝ නිර්මාණවලින් දැකගන්න ලැබෙනවා..?

තවමත් සිනමාවට නොඅඩුව ආරාධනා ලැබෙනවා. ඒ නිසා තමයි ඉස්සර වගේම තවමත් මාව පුළුල් තිරයෙන් දැක ගන්න ලැබෙන්නේ. ඒක ඇත්තටම වාසනාවක් කියන්න පුළුවන්

 

ප්‍රතිචාර කොයි වගේද ..?

නිමි චිත්‍රපටයේ මම රඟපාන්නේ රශී එක්ක. රුහිලේ එකේ පබෝධා එක්ක රඟපාන්නේ. මේ සිනමපට දෙකේම චරිත එකිනෙකට වෙනස්. කතාවත් ලස්සනයි. කලාත්මක වගේම වාණිජ කියන දෙකට මැදි වූ චිත්‍රපටයක්. සුදුත් නොවන කළුත් නොවන අළු චරිතවලින් දකින්න ලැබෙන නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා . බොහෝ දෙනෙක් කියන්නේ නම් මගෙන් මෙච්චර කාලයක් මේ වගේ රඟපෑමක් දැක්කේ නැහැ වෙනස් ස්වරූප කියලා. ඉතිං සතුටු වෙන්න පුළුවන් ඒ ගැන.

 

දුෂ්ට හෝ ආදර පෙම්වතාගෙන් දැන් මිදිලා රඟපාන්න වෙන එක ගැන දුකක් නැද්ද ..?

හැමදාම එකම විදිහට රඟපාන්න තියෙනවට වඩා චරිතය ඇතුළේ දෙයක් කරන්න තියෙනවා නම් හොඳයි. එතකොට තමයි කවුරුත් මාව චරිතාංග නළුවෙක් හැටියට හඳුන්වන්නේ. මම ඒකට කැමතියි. නළුවෙක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන.

 

ඔබව දැකගන්න ලැබෙන නිර්මාණ කීයක් තිරගත වෙන්න තියෙනවද..?

එකිනෙකට වෙනස් චරිත පහක් එක්ක චිත්‍රපට පහක් තිරගත වෙන්න නියමිතයි

 

රජ කතාවලට රොෂාන් ට ඇරියුම් වැඩියි නේද ..?

රජ කතා සිනමා තිරයෙන් දැක්කාට පුංචි තිරයෙන් පළමු වරට මාව දැක ගන්න ලැබෙනවා දළදා ගමනය ටෙලි නාට්‍යයෙන්. ඒක හිරු නාලිකාවේ විකාශය වෙනවා. වැඩිපුර රජ කතාවලට ආරාධනා ලැබුණා.

 

නිරූපණයට තිත තිබ්බා නේද ..?

රංගනය වගේ නෙමෙයි නිරූපණයට වයස බලපානවා. හැමදාම නිරූපණ කටයුතු කරන්න බැහැ . ජාත්‍යන්තරය නියෝජනය කළාට පස්සේ ඇති කියලා හිතුවා. ඒ පැත්තෙනුත් යන්න පුළුවන් උපරිමය ගියා.

 

ඔය සියලු දැනුම එක්ක හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද ..?

තවම පළපුරුද්ද මදි. තව ඒකට කල් තියෙනවා. මට දැන් ඕන හොඳ චරිත එක්ක තවත් නිර්මාණ කරන්න. චරිත මවන්න. නිර්මාණයක් කරන්න තව ටිකක් වයසින් මුහුකුරා යන්න ඕන.

 

කොහොමද පුංචි පුතා මිනෙත් එක්ක ගෙවන ජීවිතේ ..?

හරිම සුන්දරයි. මිනෙත් පුතාට දැන් වයස අවුරුදු 3ක් වෙනවා. ඉඩ ලැබෙන හැම මොහොතක ම එයත් එක්ක තමයි කාලය ගත කරන්නේ. දැන් එයා ගත කරන්නේ හුරතල් වයසේ.

 

බිරිය දැන් කාර්යබහුල ගෘහිණියක්..?

ඉස්සර එයා රැකියාවක් කරා. පුතා ලැබෙන්න ඉන්නකොට බිරිය ඉන් ඉවත් වෙලා ගෙදරට වෙලා හිටියා. දැන් එයාට මගෙ වැඩයි බබාගේ වැඩයි ඔක්කොම කරන්න තියෙනවා. මගේ වැඩ කරනවා කියන්නේ පොඩි බබෙක්ගේ වැඩ කරනවා වගේ තමයි. ගෙදර වැඩ එක්ක ඇත්තටම එයා කාර්යබහුල වෙලා.

 

විවාහයට ඔබ තෝරා ගත්තේ ඔබ කලාවට සම්බන්ධ වෙන්න කලින් තිබුණු ප්‍රේමය. ඇයවම තෝරා ගන්නේ ..?

ජනප්‍රිය වුණාට පස්සේ ආදරේ කරන කෙනා මොන හේතුවකට ආදරේ කරනවද කියලා දන්නේ නැහැ. මම ජනප්‍රිය වෙන්න කලින් තමයි ඇය මට ආදරේ කරන්නේ. විවාහයට සුදුසුම කෙනා එයා කියලා හිතුවා. විවාහයේදි එහි පැවැත්ම තියෙන්නේ තේරුම් ගැනිම මත. මගේ අදහස්වලට ඇයගේ අදහස් ගැළපුණා. ඒ වගේම ආදරේ හිතුණු කෙනා එයා. ආදරේ කරපු කෙනා එයා. ඒ නිසා ඇයව මගේම කර ගත්තා. ඒ නිසා අද නිදහසේ පවුල් ජීවිතේ ගත කරනවා.

 

 හර්ෂණී වීරරත්න

 

Comments