අයුෂ්මන්ගේ අලුත්ම චිත්‍රපටයට යොහානිගෙන් පසුබිම් ගීතයක් | සිළුමිණ

අයුෂ්මන්ගේ අලුත්ම චිත්‍රපටයට යොහානිගෙන් පසුබිම් ගීතයක්

දෙසැම්බර් දෙවැනිදා සිට රිදී තිරය කැලඹීමට නියමිත (ක්‍රියාදාම වීරයෙක්) සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුපිරි බොලිවුඩ් නළු අයුෂ්මන් කුරාණා විසින්. සාර්ථක චරිතාංග රංගන ශිල්පියකු ලෙස බොලිවුඩයේ ස්ථාවර වී සිටින ඔහු සිය රංගනය වෙනුවෙන් ‘ඉන්දියානු ජාතික සම්මානය’, ‘ෆිල්ම්ෆෙයාර් සම්මානය’ ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා සම්මාන 25කට වැඩි ගණනක් හිමි කරගැනීමට සමත් වුවෙක්. මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන අයුෂ්මන්ව සුප්‍රකට TIME සඟරාව විසින් ‘2020 වසරේ ලොව වැඩිම බලපෑමක් කළ හැකි පුද්ගලයන් 100 දෙනා’ අතරට එක්කිරිම ම ඔහුගේ හැකියාව ගැන ලොව වටා ඇති පිළිගැනීම ගැන කදිම සාක්ෂියක්.

 

ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ වසර 5ක් තිස්සේ කැපවී රංගනය ගැන ගැඹුරින් හැදෑරු දැනුමක්ද සමඟින් සිනමාවට පිවිසි අයුෂ්මාන්, රංගන ශිල්පියකුට අමතරව ගායකයකු ලෙසද සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වුවෙක්. තමා රඟපෑ පළමු සිනමාපටය වන ‘Vicky Donor’ (2012) වෙනුවෙන් ඔහු වසරේ හොඳම නවක රංගන ශිල්පියා සහ හොඳම පසුබිම් ගායකයා ලෙසට ඇගයීමට ලක්වුණේ සුපිරි බොලිවුඩ් නළුවන් රැසකගේම නළල් රැළි ගන්වමිනුයි.

2018 වසරේදී තිරගතවූ අන්ධයෙකු ලෙස රඟපාන තරුණයෙකු වටා ගෙතුණු ‘Andhadhun’ ඔහු රඟපෑ වඩාත්ම සාර්ථක සිනමාපටයයි. ඉන්දියානු රුපියල් කෝටි 460 ක් උපයමින් ආදායම් වාර්තා තැබූ එම සිනමාපටය සිනමා විචාරකයන්ගේද ඉහළම ඇගයීමට ලක්වීමත් කැපී පෙනෙන සිදුවීමක්.

පිට පිට වසර දෙකකදී තමා රඟපෑ ‘Andhadhun’(2018) සහ ‘Article 15’ (2019) යන සිනමාපට දෙකේදීම ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට සමත් වීම නිසා අයුෂ්මාන්ගේ නවතම සිනමාපටය වන ‘An Action Hero’ ගැන ඉන්දියානු සිනමා රසිකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මිට පෙර මෙම වසරේදී තමා රඟපෑ සිනමාපට දෙකක් තිරගතවූ නමුත් තමා වැඩි බලාපොරොත්තුවක් තබා සිටින්නේ ‘An Action Hero’හි සාර්ථකත්වය ගැන බව අයුෂ්මාන් පසුගියදා පැවති එහි ගීත ඇල්බමය නිකුත් කිරීමේ උත්සවයේදී එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ දීප්තිමත් දෑසකිනුයි.

‘An Action Hero’ සිනමාපටයේ එන ‘Jehda Nasha: An Action Hero’ යන තේමා ගීතය ගායනය සඳහා ලාංකේය ගායන ශිල්පිනි යොහානිට අමතරව ජනප්‍රිය ඉන්දියානු ගායකයන් වන අමර් ජලාල් සහ IP සිංග් එක්ව සිටීමත් විශේෂත්වයක්. සුප්‍රකට T-SERIES සමාගම විසින් සිය ලේබලය යටතේ නිර්මාණය කළ ‘Jehda Nasha: An Action Hero’ යන ගීතය එය නිල වශයෙන් YOUTUBE වෙත නිකුත් කිරීමෙන් දින දෙකක් ඇතුළත මිලියන 20 වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. අයුෂ්මන්ට අමතරව මෙම ගීතයේ රංගනය සඳහා එක්ව සිටින්නේ සරාගී නර්තන ශිල්පිනි නෝරා ෆටෙහියි. අයුෂ්මන්, නෝරා, ජලාල් සහ යොහානි සංයෝගය හේතුවෙන් මෙම ගීතය ඉන්දියාව තුළ ඉක්මනින්ම ජනප්‍රිය වනු ඇති බවට එරට සිනමා වෙබ් අඩවිද මේ වන විට අනාවැකි පළකර තිබෙනවා.

2021 වසරේ ප්‍රතිනිර්මාණය කෙරුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ YOUTUBE ජනප්‍රියත්වය (මේ වන විට නැරඹුම් වාර මිලියන 230 පමණ) සමඟින් ඉන්දියානු සංගීත සහ සිනමා කර්මාන්තයන්ගේ අවධානය දිනා ගත් යොහානි, මේ වන විට බොලිවුඩ් සිනමාපට 3 ක පසුබිම් ගීත ගායනා කර අවසන්. ඒ ‘Shiddat’ (2021) ,Thank God (2022) සහ An Action Hero (2022) යන සිනමාපට ත්‍රිත්වයයි. මේ අතරින් පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා සිට තිරගත වීම ඇරඹු Thank God සිනමාපටය සඳහා ‘මැණිකේ මගේ හිතේ ගීතය’ යොදා ගැනීම විශේෂ සිදුවීමක්.

මේ වනවිට මුම්බායිහි නැවතී සිට සිය සංගීත කටයුතු වල නිරත වී සිටින යොහානි, බොලිවුඩ් සිනමාව කෙරෙහි සිය වැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ හේතුවෙන්ම ඇය හින්දි භාෂාව වැඩිදුර ඉගෙන ගනිමින්ද සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. හින්දි සිනමාපට පසුබිම් ගීත ගායනයට එක්වීම ඇගේ කුඩා කල සිට පැවති සිහිනය බව පවසන යොහානි ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් වන රහුමාන්, ප්‍රිතම්,අර්ජිත් සිං, නෙහා කක්කර් ආදීන් සමඟ ඉදිරියේදී නව ගීත නිර්මාණ සඳහා එක්වීමටද දැඩි බලාපොරොත්තුවෙන් පසුවනවා. ඇය පසුගිය දිනවලදී නව තෙලිඟු සිනමාපට ගීතයක් සඳහාද සිය හඬ මුසු කළ බව වැඩිදුරටත් වාර්තා වුණා.

එළඹෙන මාසය තුළ තිරගත වීමට නියමිත සල්මන් ඛාන්ගේ ‘Kisi Ka Bhai Kisi Ki Jaan’, රන්විර් සිංගේ ‘Cirkus’, ටයිගර් ශරෝෆ් ගේ ‘Ganapath’, සහ වරුන් ධවාන්ගේ ‘Bhediya’ වැනි දැවැන්ත නිර්මාණ සමඟ අයුෂ්මාන්ගේ ‘An Action Hero’ අතර රිදී තිරය මත සිදුවන බොක්ස් ඔෆිස් සිනමා ගැටුමේ ජය කාට හිමිවෙයිද? මෙම වසරේ හොඳම නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගනිමින්, මෑත කාලින බොලිවුඩයේ හොඳම රංගන ශිල්පියා බවට පත්වීමට අයුෂ්මාන්ට හැකි වෙයිද?

Comments