හැනෝයි සිනමා උලෙළේ දී අරුණගේ “මාරියා“ හි රඟපෑ නළුවන් හත්දෙනාටම හොඳම නළුවා සම්මානය | සිළුමිණ

හැනෝයි සිනමා උලෙළේ දී අරුණගේ “මාරියා“ හි රඟපෑ නළුවන් හත්දෙනාටම හොඳම නළුවා සම්මානය

රුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය මේ වෙද්දී ජාත්‍යන්තර මට්ටමින් ඇගයීම් සම්මාන ලබන මොහොතක්. ලාංකීය සිනමාපටයක් මෙලෙස සම්මාන ලැබීම ම අප රටට මහත් වූ ගෞරවයක් ගෙන දෙන්නක් බව කිව යුතුමයි.

පසුගියදා (නොවැම්බර් 12) වියට්නාමයේ හැනෝයි නගරයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාව දුටු 06 වෙනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නළුවාට (The Best Leading Actor in Feature Length Films) පිරිනැමූ සම්මානයෙන් පිදුම් ලැබීමට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා“ (The Ocean Angel) චිත්‍රපටයේ රංගනයේ යෙදුණු නළුවන් සත් දෙනා සමත්වූහ.

“මාරියා“ හි අන්තර්ගත වන්නේ ගැඹුරු මුහුදේ මසුන් මරණ ධීවරයන් සය දෙනෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් වටා ගෙතී ඇති කතාවකි. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස් සහ සුරන් දසනායක යන අයගේ රංගනයෙන් හැඩවෙන මෙහි කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි.

අන්තර්ජාතික සිනමා උලෙළකදී හොඳම නළුවා, හොඳම නිළිය හෝ හොඳම රංගනය උදෙසා පිරිනමන තනි සම්මානයක්, සම සම්මානයක් ලෙසින් දෝත දැරීමට ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් සමත්වූ 05 වෙනි අවස්ථාව මෙයයි.

මීට පෙර එකී අවස්ථාවන් හිමි වුයේ 2000 ඔක්තෝබර් ඉරානයේ පැවති 5 වෙනි ඉස්ෆහාන් අන්තර්ජාතික ළමා හා යොවුන් සිනමා උළෙල දී “සරෝජා“ චිත්‍රපටය වෙනුවෙන් නිත්‍යවාදිනී කන්දසාමි, ප්‍රමුදි කරණාරත්න, 2015 ජූනි මාසයේ චෙක් ජනරජය මඟින් පැවැත්වූ 55 වෙනි ස්ලීන් සිනමා උලෙළේ දී “හෝ ගානා පොකුණ“ චිත්‍රපටයේ රඟපෑ සියලුම ළමා නළු නිළි කැලට, 2017 නොවැම්බර් ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී “සය පෙති කුසුම“ චිත්‍රපටයේ දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි, භූමි හරේන්ද්‍රන්ට සහ 2022 සැප්තැම්බර් රුසියාවේ පැවති 18 වෙනි කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ දී ‘ද නිවුස්පේපර්‘ චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවල, කුමාර තිරිමාදුර යන නළු නිළියන්ට හිමිවිය.

එමෙන්ම මාරියා චිත්‍රපටය මේ වනවිට ලොව “ඒ“ ශ්‍රේණියේ සිනමා උලෙළක ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට (International Film Festival of India) මෙම සිනමා උලෙළ එළැඹෙන නොවැම්බර් 20 වෙනිදා සිට 28 වෙනිදා දක්වා ඉන්දියාවේ දර්ශනීය සංචාරක පුරවරයක් වන ගෝවා නගරයේදී පැවැත්වීමට නියමිතයි.

54 වෙනි වරට පැවැත්වෙන මෙම ඉන්දියානු උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට චිත්‍රපට 15 ක් සුදුසුකම් ලබා තිබෙනවා. එම චිත්‍රපට 15 ඇතුළත් නාමාවලිය පසුගිය නොවැම්බර් 07 වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී එකී චිත්‍රපට 15 අතරට ශ්‍රී ලාංකේය නාමය යටතේ එක්වීමට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ හා ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ “මාරියා“ (The Ocean Angel) චිත්‍රපටය ඇතුළත්. මෙය ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර සිනමා උලෙළ ප්‍රවාහය තුළ ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

“මාරියා“ චිත්‍රපටය 06 වෙනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළට ඉදිරිපත් කිරීම හා උලෙළ සම්බන්ධීකරණය ඈෂ්ලි රත්නවිභූෂණගෙන් වන අතර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට ඉදිරිපත් කිරීම හා උලෙළ සම්බන්ධීකරණය යූ. එල්. කේ. ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි.

Comments