
නැවත ලංකාවට ඇවිත් නිර්මාණ කරලා යන්න කැමැත්තක් නැහැ
මට හැම මොහොතක්ම හොඳම මොහොතක්
හර්ෂ තෙන්නකෝන් කියන්නේ පුංචි තිරය තුළ සාර්ථක වුණ රංගන ශිල්පියෙක්. වේදිකාවෙන් ලබාගත් දැනුමත් ඇතිව කලා ලොව තුළ ඔහු හරි පරෙස්සමින් රංගනයේ විවිධ කඩඉම් ස්පර්ශ කරන්නට සමත් වූ රංගන ශිල්පියෙක් බව නොරහසක්. එමෙන්ම හර්ෂ බොහෝ තැන්හි කෙළින් කතා කරන තිතට වැඩ කරන කලාකරුවෙක් විදිහටත් සමාජයේ කතාබහට ලක් වුණා. හර්ෂ ගැන අලුත්ම ආරංචිය මේ වෙද්දී රට හැර ගොසින් කියන දේ. ඒ නිසාම රසඳුන අපි හර්ෂව සම්බන්ධ කරගත්තා.
මොකක් ද මේ රට හැර ගිය කතාව
ඔව්. මගේ පවුලේ අය ලංකාව අතහැරලා ආවා. මේක අපි ගත්ත හදිසි තීරණයක් නෙවෙයි. ලංකාව අතහැර එන්න බලාපොරොත්තුවක් ඉස්සර අපිට තිබුණේ නැහැ. මගේ බිරිය සහ මම ලංකාව තුළ අපිට අනන්‍ය වූ දේවල් කරමින් හිටිය නිසා සහ ජිවත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බේ නැති නිසා. නමුත් පාස්කු ප්‍රහාරය තමයි අපේ ජිවිත වෙනස් කළේ. ඒ වෙද්දී අපිට ලොකු පුතා හම්බෙලා. බලය වෙනුවෙන් අනිත් මිනිසුන්ගේ ජිවිත බිලිගන්නා රටක අපි තවදුරටත් ඉන්න ඕනේ ද කියලා අපි තීරණය කළා. ඒ නිසා ඒ කාලේ ඉඳන් දරපු මහන්සියක ප්‍රතිඵලයක් විදියට තමයි අපි මේ මොහොතේ ලංකාවෙන් ඇවිත් ඉන්නේ.
දැන් ඉන්නේ කොහෙද, මොකද කරන්නේ
දැන් ඉන්නේ පින්ලන්තයේ. මොකද කරන්නේ කියන එකට තවම නිශ්චිත උත්තරයක් නැහැ. අපි තවම ඇවිත් සතියක්වත් නැහැ. ගේ දොර අස් කරනවා. තව නීතිමය වැඩකටයුතු ටිකක් තියෙනවා ඒ වැඩ ටිකත් කර ගන්න ඕනේ. බබාලා ඩේ කෙයා දාන්න ඕනේ වැඩ කටයුතුත් එක්ක ඉන්නේ.
කලා ලොවේ ඔයාට තියෙන හොඳම මොහොතක මෙහෙම රට හැරයාම ගැන කනගාටුවක් නැද්ද?
එහෙම හොඳම මොහොතක් කියලා එකක් නැහැ. මට හැම මොහොතක්ම හොඳම මොහොතක්. අතහැර යාම කියන එක කොහොමත් කනගාටුවට කාරණයක් තමයි. ඒක නැහැ කියන්න බැහැ අපි කාටවත්. ජිවිතේ ඒ ඒ තීරණ ඒ ඒ වෙලාවට ගන්න ඕනේ කියන තැන මම ඉන්නවා. මේකත් එහෙම ගත්තු තීරණයක්. හැබැයි රටහැර යාම සම්බන්ධයෙන් මහා විශාල අවුලක් හෝ මහා විශාල සතුටක් නැහැ. මේ මොහොතේ ඒක කරන්න අවශ්‍යයි කියලා හිතුණ නිසා ඒ පියවර තිබ්බා.
කලාකරුවෙක් විම ගැන අද පසුතැවෙනවද?
මම ඇත්තටම කලාකරුවෙකුත් නෙවෙයි. මම කලා ශිල්පියෙක්. ඒ කියන්නේ කලාවට සම්බන්ධ ශිල්පියෙක් විදියට මගේ දායකත්වය ලබා දුන්නා. මගේ බිරියත් එක්තරා කාලයක එයාගේ දායකත්වය ලබා දුන්නු කෙනෙක්. ඒ ගැන කිසිම කලකිරීමක් කවදාවත් නැහැ. අසාධාරණකම් සිද්ධ වුණා අනන්තවත්. ඒවා හැමෝටම සිද්ධ වුණු දේවල්. ඒවා සිද්ධ වෙනවා කියලා සහ මේ තත්ත්වයන් උරුම වෙනවා කියලා දැනගෙන අපි කලාව ඇතුළේ හිටියේ. ඒ නිසා කනගාටුවක් නැහැ. මම අවුරුදු 15ක් තිස්සේ මේ කලාව තුළ ඉඳලා තියෙනවා. මගේ බිරියත් ඒ හා සමාන කාලයක් නැටුම් අංශයෙන් ඉඳලා තියෙනවා. අපි ඒ ගත කරපු ජිවිතේ ගැන තියෙන්නේ සතුටක්. හැබැයි එකේ තේරුම බොහොම සරලව ඒ දේවල් කරගත්තා කියන එක නෙවෙයි. හැමදේම අමාරුවෙන් කර ගත්තේ.
නැවත හර්ෂව කලා නිර්මාණයකට කෙනෙක් ට සම්බන්ධ කර ගන්න බැරි ද?
දැනටනම් ආයෙත් ලංකාවේ වැඩ කිරීමේ කැමැත්තක් හෝ ආසාවක් මට නැහැ. මම කරපු නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒවා ඉස්සරහට එයි. එහෙම නැතුව නැවත ලංකාවට ඇවිත් නිර්මාණ කරලා යන්න කැමැත්තක් නැහැ.
අනාගත ඉලක්ක බලාපොරොත්තු මොනවාද?
අනාගත බලාපොරොත්තු කියන දේවල් ගැන තවම කියන්න ඉක්මන් වැඩියි. අපිට ඕනේ වුණේ හොඳ නිදහස් හොඳ සිස්ටම් එකක් තියෙන රටක අපි මැරිලා යන්න ඕනේ කියන අදහස. ඒක අපේ රටේ වෙන්නේ නැහැ කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. ඒ නිසා අපි ඒ ගැන බලාපොරොත්තු අතහැරියා. දැනට තියෙන බලාපොරොත්තුව තමයි හොඳ සිස්ටම් එකක් තියෙන නිදහස් විදියට හිතන ලිබරල් මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්න ඕනේ කියන එක සහ ඒ ප්‍රතිලාභයන් දරුවන්ට ලබා දෙන්න ඕනේ කියන එක. ඒක තමයි දැනට තියෙන අපේ අනාගත බලාපොරොත්තුව. ඊට එහා දෙයක් කියන්න තවම කල් වැඩියි.