නික්ම ගිය තාත්තාගේ ආදරේ මතකෙට ගෙනෙන 'මගේ කඳුළ' | සිළුමිණ

නික්ම ගිය තාත්තාගේ ආදරේ මතකෙට ගෙනෙන 'මගේ කඳුළ'

රුවකුගේ ලෝකයට හිරු සඳු වන්නේ මවුපියන්ය. මවගේ සෙනෙහසින් සිසිලැල් වන හදවතට පියාගේ රැකවරණය විසල් සවියකි. ඒ රැකවරණය අහිමි වූ දිනෙක දරුවකුගේ හදවතේ ඇති වන 'මහා හිස්කම' පුරවාලිය හැක්කේ කාටද? දයාබර පියකුගේ හදිසි නික්ම යෑමෙන් කම්පිත වූ දියණියකගේ හදවතේ පාළුව, ශෝකය සහ වේදනාවේ දිග පළල හඳුනා ගත හැක්කේ එවැනි විප්‍රයෝගයක් විඳි සිතකටම පමණි. 

"නුඹ තරම් මට කවුරුවත් නෑ- නුඹත් දැන උන්නා" ඒ දියණියගේ සෝබර සිතිවිලිය. උපන් දා සිට මියෙනතුරුම පියාගේ සෙනෙහසට තුරුලුව සිටි දියණිය දැන් තැවෙන්නේ පියා අවසන් ගමන යන දා ඔහුගේ බර උරහිසින් දරන්නට හරස් වූ සම්මතය ගැනය. එහෙත් ඇය ජීවිතය පුරා පියා අහිමි වීමේ වේදනාව හදවතින් දරාගන්නට සපථ කොට අවසන්ය. 

"තාත්තේ මගෙ සොඳුරු මතකය- හෙටත් නුඹ පමණයි"ඇය කඳුළු අතරින් කියන්නේ හදවත යළි යළිත් පාරා ගනිමිනි. දුක්බර වුවත් ළයාන්විත තනුවකට ඇමිණූ ඒ පද වැල් සවන් වැකුණේ ඉකුත් දා කලඑළි දුටු අපූරු ගීතයකිනි.

ඒ ගීයේ අපූරු පද රචනාවේ අයිතිකරු සුසන්ත දන්දෙණිය ගමගේ ය. වේදිකා නාට්‍ය පිටපත් රචනයට, චිත්‍ර ශිල්පයට සහ රංගනයට දස්කම් දක්වන ඔහු විසින් ලියා ඇති ගේය පද 140ක් පමණ මේ වන විටත් ගීත බවට පත්ව ඇත. 2003 වසරේ සිට ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත් වන සුසන්ත සිය අලුත්ම ගේ පද රචනාව 'මගේ කඳුළට' ගීතය පිළිබඳ ඔහු 'රසඳුන'ට මෙසේ කීවේය. 

"දිනක් මට මැසෙන්ජර් හරහා ප්‍රබෝධනී නංගීගෙන් ඇමතුමක් ලැබුණා. ඇය මා ගැන දැනගෙන තිබුණේ මිතුරියකගේ මාර්ගයෙන්. වියෝ වූ පියා වෙනුවෙන් ගීයක් නිර්මාණය කරගන්නයි ඇයට අවශ්‍ය වුණේ. ඇය පියා ගැන කී දේවල් දියණියක් සිටින පියෙක් ලෙස මගේ හිතටත් ඉතා සංවේදීව දැනුණා. දියණියක ලෙස උපරිම යුතුකම් ඉටු කළත් අවසාන මොහොතේ පියාගේ දෙනෙහි බර උරහිසට ගන්න නොහැකි වීම ගැනත් ප්‍රබෝධනී ලොකු දුකකින් කතා කළා. අපේ සංවාදය අවසන් වෙද්දි ඇගේ සංවේදී කතාවේ සාරාංශයක් මගේ මනසේ ලියැවිලා තිබුණා. ඉතින් කිසිදු ආයාසයකින් තොරව ඉතා කෙටි වේලාවක් තුළ මම ඇයට ගීතය ලියා යැවුවා. මේ ගීතය සඳහා සංගීතඥයකු තේරුවෙත් මමයි. මට විමල් දයානන්දයන් සමඟ නිර්මාණයක් කරන්න වුවමනාවක් තිබුණා. ඒ අනුව මම ඔහුට ආරාධනා කළා මේ ගීතයට සංගීතය නිර්මාණය කරන්න.

මා ප්‍රිය කරන දක්ෂ, යොවුන් ගායන ශිල්පිනියක් වන පවරි අමරසාගේ හඬ ගීතයට එකතු කරන්න උදවු වුණෙත් විමල්."

සුසන්ත දන්දෙණිය කී පරිදි මේ ගීතය රචනා කිරීමට ඔහුට ඇරියුම් කළ ප්‍රබෝධනී සුරංගිකා, වසර 19කට අධික කාලයක් තිස්සේ පින්ලන්තයේ පදිංචි වී සිටින සුදුසුකම්ලත් දන්ත ශල්‍ය හෙදියකි. 'මගේ කඳුළට' ගීතය නිර්මාණය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රාහක්වය දක්වා ඇත්තේ ඇය විසිනි.

"මගේ තාත්තා ධර්මසිරි විජේරත්න, විශ්‍රාමික රජයේ නිලධාරියෙක් වගේම මාධ්‍ය‍ෙව්දියෙක්; කලාකරුවෙක්.ඒ සේරටම වැඩිය මගෙ තාත්තා ඉතා සුන්දර හදවතක් තිබුණු සංවේදී මිනිසෙක්. මගේ පවුලේ දරුවෝ හතරදෙනයි. මම තුන්වැනියා. වැඩ වර්ජනයක් නිසා තාත්තා වැඩ තහනමට ලක් වෙලා ඉන්නකොටයි මම ඉපදිලා තියෙන්නෙ. තාත්තා රෝහලට ඇවිත් මාව බලලා ගොඩාක් සතුටින් ගෙදර ගියාම තාත්තට නැවත වැඩ බාරගන්න කියලා ලියුම ඇවිත් තිබුණලු. මියෙනතුරුම තාත්තාත් මාත් අතර ලොකු බැඳීමක් තිබුණු නිසාම ඔහු නැති වේදනාව මගේ හිතට තදින්ම දැනෙනවා. තාත්තා ගැන තියෙන ආදරේ ගීතයක් කරලා මුළු ලෝකෙටම අහන්න දෙන්න හිතුවේ ඒකයි. මවු ගුණ ගැන කියැවෙන ගී ඕනෑ තරම් තිබුණට පිය සෙනෙහස ගැන කියැවෙන ගී හරි අඩුයි. මේ ගීතය නිර්මාණය කරන්න ඒකත් එක හේතුවක්. මගේ හිතේ තිබුණු අදහස් සුසන්ත දන්දෙණිය අයියා ඒ විදිහටම ගීතයට එකතු කළා වගේම පවරි අමරසා නැඟණිය බොහොම සංවේදීව ඇගේ හඬ මේ ගීතයට මුසු කළා. විමල් දයානන්ද සොහොයුරා මම කැමැතිම විදිහේ ඉතා මියුරු තනුවකින් ගීතයට විශාල ආලෝකයක් දුන්නා. ඉදිරියේදී ගීතය වෙනුවෙන් රූප රචනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා" 

යූටියුබ් ඔස්සේ කාටත් රස විඳිය හැකි 'මගේ කඳුළට' ගීතය වෙනුවෙන් මේ වන විටත් ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව ද ප්‍රබෝධනී පැවසුවාය.

"මම හිතන්නේ ඒකට හේතුව මේක සැබෑ අත්දැකීමක් ඇසුරින් කළ නිර්මාණයක් වීම වෙන්න ඇති. මේ ගීතය අහන හැම දුවෙකුටම තාත්තගේ ආදරය නැවත නැවතත් හිතට දැනෙනවා නිසැකයි. ගීතය අහන වාරයක් පාසා මමත් ගොඩක් සංවේදී වෙනවා"

මගේ කඳුළට සිනා රැල්ලට
ළඟම රැඳුණු සෙනෙහසක් තිබුණා
නුඹ තරම් මට කවුරුවත් නෑ
නුඹත් දැන උන්නා
මදෙස බලලා වැසුවෙ දෙනයන
සදහටම කියලා
දැනුණ මොහොතේ ඉනූ කඳුළැලි
තාත්තේ ...නෑ තවම සිඳිලා

ගිරි කුලක් නොව ඒ මතින් නුඹ
ගැලුව දිය දහරයි
නිවුණු හදගැබ සුවඳ පමණක්
බෙදුව හැටි පුදුමයි
අපේ බර ගෙන නොකී සරතැස
සිනහවෙන් සඟවයි
තාත්තේ මගෙ සොඳුරු මතකය
හෙටත් නුඹ පමණයි

ගත දුරින් ඉඳ ආ ගමන් මඟ
දියුණ ලෙස සිතමින්
තුටින් දිවිමඟ ගෙවා දැමුවෙද
කඳුළැලිත් සඟවන්
එදා අවසන් ගමනෙ බර නම්
මගේ උරතලයෙන්
අරන් යන්නට ඉඩක් නොවුණේ
සම්මතේ වරදින්


ගායනය- පවරි අමරසා
ගේයපද - සුසන්ත දන්දෙණිය
සංගීතය-විමල් දයානන්ද

Comments