
අමීර් ඛාන් නමැති අතිජනප්‍රිය බොලිවුඩ් නළුවාගේ අසමසම නිර්මාණයක් වූ තාරේ සමීන් පර් චිත්‍රපටය ඔබට මතක ඇති. එහි කතාව කෙටියෙන් කිව්වොත් නම් බොහෝ දෙනෙකුට එය සිහිපත් කර ගන්නට හැකි වේවි. මනස සෙමින් වර්ධනය වීමේ රෝගයකට ගොදුරුව සිටින කුඩා පාසල් දරුවකුගේ ජීවිතය සාර්ථක කර දිමට වෙර දරන ගුරුවරයකු වටා තමයි මේ චිත්‍රපට කතාව ගොඩනැඟිලා තිබුණේ. මේ චිත්‍රපටයෙන් අමීර් ඛාන් තම ජනප්‍රියත්වය හිනි පෙත්තට නංවා ගැනීමට සමත් වූ අතර තවත් එක් චරිතයක් නිරූපණය කළ නළුවකුටත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය කියන තලයට පැමිණීමට තාරේ සමීන් පර් තුළින් හැකියාව ලැබුණා. ඒ නළුවා තමයි චිත්‍රපටියේ කුඩා දරුවාගේ චරිතය නිරූපණය කළ දර්ශීල් සෆාරි.
ඔහුගේ කුඩා මුහුණ මේ චරිතයට ඉතාමත් යෝග්‍ය වුණා පමණක් නෙමෙයි, ඔහු රංගනයෙන්ද තම චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත් වුණා.
කොහොම වුණත් බොලිවුඩ් සිනමාවේ සාර්ථක වීම මෙන්ම ස්ථාවර වීමත් එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. දර්ශිල්ට වුණත් එහි වෙනසක් නැහැ. අනෙක්අතට දර්ශිල් ක්ෂේත්‍රයට පැමිණියේ ළමා නළුවකු වශයෙන්. ඉතින් ඔහුට ගැළපෙන චරිතත් සුලබ නැහැ. ඒ නිසාම සෑහෙන කාලයක් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යමක් සිදු නොකළත් දක්ෂයෙක් කියන්නේ හැමදාම හැංගිලා ඉන්න හෝ හංගලා තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි දර්ශිලුත්.
පසුගියදා බොලිවුඩ් සිනමාව පැත්තෙන් ලැබුණ ආරංචි අනුව දර්ශිල් සෆාර් යළිත් ක්ෂේත්‍රයට ඇවිත්. මෙවර ඔහු රංගනයෙන් දායක වන්නේ ආදර කතාවකට. ඉතින් මේ වෙනකොට මල් ඉහිරෙන තරුණ වියේ ඉන්න දර්ශිල් මේ චිත්‍රපටයේ ආදරවන්තයාගේ චරිතය නිරූපණය කරන බව තමයි දැනගන්නට ලැබුණේ.
චිත්‍රපටයේ නම capital A small a. ඒ වගේම මේ චිත්‍රපටිය දර්ශිල්ගේ සමවයස් තරුණ කාණ්ඩයේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් නිපදවෙන බවක් තමයි එහි නිෂ්පාදක කණ්ඩායම මාධ්‍ය වෙත දන්වා තිබෙන්නේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සුමිත් සුරේෂ් කුමාර්. ගෞරව් ජෝෂිත් ඔහු සමඟ සම දායකත්වයෙන් කටයුතු කරනවා. ඔවුන් දැනට පවසා ඇති අන්දමට චිත්‍රපටයේ කතාව දිවෙන්නේ තරුණ වියේ අනාරක්ෂිත බව තේමා කර ගනිමින්. අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් පවසන අන්දමට තරුණ වියේදී බොහෝ අයට නොලැබෙන රැකවරණය බොහෝ ගැටලුවලට හේතු වෙනවා. මේ තත්ත්වයට පවුල් ඒකක විතරක් නෙමෙයි සමාජයත් වගකිව යුතුයි.
චිත්‍රපටය පිළිබඳව පමණක් නොවෙයි තමාගේ වැඩකටයුතු සම්බන්ධවත් අදහස් දැක්වීමට එක්වෙමින් දර්ශිල් පවසා ඇත්තේ, වසංගතය හේතුවෙන් තමාගේ කටයුතු රාශියක් පසුබෑමට ලක් වූ බවයි. එහිදී මාධ්‍ය ෙව්දීන් ඔහුගෙන් අසා ඇත්තේ ඔහු රඟපෑමට වැඩියෙන්ම කැමැත්තක් දක්වන නිළිය කවුරුන්ද යන්නයි. එයට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ සාරා අලී කාන් සහ ජාන්වී කපූර් සමඟ රඟපෑමට තමා කැමැත්තක් දක්වන බවයි. ‘ මම එයාලත් එක්ක වැඩකරන්න කැමතියි. ඔවුන්ගේ නම් ක්ෂේත්‍රයේ දැනටමත් ඉතා ජනප්‍රියයි. ඉතින් කවුද එයාලත් එක්ක වැඩකරන්න අකමැති වෙන්නේ‘ යනුවෙන් දර්ශිල් වැඩිදුරටත් පවසා තිබෙනවා.
කොහොම වුණත් බොලිවුඩයේ අනාගතය ගැන අනාවැකි පවසන බොහෝ දෙනා කියන්නේ දර්ශිල්ට බොහෝ දීප්තිමත් අනාගතයක් හිමිවීමේ වැඩිඉඩක් පවතින බවයි. ඔහුගේ රංගන දක්ෂතා නිසාම අනාගතයේදී ඔහුට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට වැඩි ඉඩක් පවතින බවක් තමයි ඔවුන්ගේ අදහස වන්නේ. ඉතින් දර්ශිල්ගේ දක්ෂතා බලන්නට තාරේ සමීන් පර් රසිකයන් ලෙස ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල බොලිවුඩ් ප්‍රේක්ෂකයන් බලා සිටිනු නොඅනුමානයි.