එයාගේ ආදරේ මාව වෙනස් කළා | සිළුමිණ

එයාගේ ආදරේ මාව වෙනස් කළා

දරණීය බැඳීමක තියෙන වටිනාකම මට හරියටම දැනෙන්න ගත්තේ මම මෙහෙ ආවට පස්සේ. මට හැමදාමත් වුණේ ජීවිතේ වැරදුන එක. සමහර තැන්වලදී මම දැන දැනම වරද්ද ගත්තා කියලා දැන් හිතෙනවා. හිතේ තියෙන දුක කොයිතරම් ද කියනවා නම් ඒ දුක නැති වෙන්න මම නොකරපු දෙයක් නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම වගේ කෙනෙක් කොහොමද මේ වළට වැටුණේ කියලා. 

ඇය සෙමෙන් පවසන්නට විය. සැබැවින්ම ඇය ලස්සනය. යම් පමණකට හෝ වැහැරි ඇත්තේ දැන් ගෙවන ජීවිතය නිසා විය යුතුය. ඇයට කියන්නට කතාවක් තිබිණි. මේ ඇගේ කතාවයි.

“අපේ පවුලේ හැම කෙනාම මාව අතහැරලා දැම්මා. ඒවා නම් මගේ වැරදි. ඉස්කෝලේ යන කාලේ ඉඳලම මට තිබුණේ පුුදුම විසයක්. අයියා වැඩ කළේ බැංකුවක. ඒත් එයා මීට අවුරුද්දකට විතර කලින් මැරුණා කියලා මම දැනගත්තේ දිනපතා පත්තරේකින්. අක්කලා දෙන්නා නම් හොඳින් ඇති. එයාලා මාව අත්හැරියේ ගෙදර ඉන්න කාලෙමයි. අම්මයි තාත්තායි මාව දරුකමෙන්ම අතහැරියා කියලා හරියටම දැන ගත්තේ මාව පොලිසියෙන් අල්ලන් ගිය පළවෙනි දවසේ.

මම ඉගෙන ගත්තේ බාලිකා පාසලක. පන්තියේ වැඩවලට මං හරි දක්ෂයි. ඒත් මට ඉගෙනගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අම්මයි අක්කලයි මාව ඉගෙනීමට යොමු කරවන්න හැදුවට මට එයාලා ඒ ගෝලෝ කියන දේ අහන්න වුවමනාවක් තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණත් එතැනින් පස්සේ ඉගෙනගන්න ඕනකමක් තිබුණේ නැහැ. අවුරුදු පහළොව දහසය වෙනකොට මම පුංචි හොරෙක් කිව්වත් වැරැද්දක් නැහැ. මම ඉස්සෙල්ලාම අක්කලාගේ සල්ලි හොරකම් කළා. දවසක් මාව ලොකු අක්කාගේ අතටම අහුවුණා. එදායින් පස්සේ මාව ඒ දෙන්නම එකතු වෙලා එයාලගේ කාමරයෙන් එළව ගත්තා. ඊට පස්සේ මම හිටියේ අම්මගෙ කාමරේ. ඒ දවස්වල මට අම්මගෙ කනේ තිබුණ කරාබු දෙකක පෙනුණෙත් කුඩු පැකට් එකක් විදිහට. මම කුඩුවලට පුරුදු වුණේ අපේ පන්තියේ කෙල්ලෝ දෙන්නෙක්ගෙන්. සැහෙන කාලයක් මම යාළුවෝ එක්ක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. අම්මා දවසක් මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයකට එක්කගෙන ගියා. ඒ පරිසරය හරිම සන්සුන්. මගේ හිත පුදුමාකාර විදිහට නිවුණා. ඒත් බොහෝම ටික කාලෙකට විතරයි. මම එතැන ඉන්න බෑ කියලා ගෙදර ආවා. ඒ ආව ගමන තමයි ගෙදර හැමෝම මාව ප්‍රතික්ෂේප කරන්න ගත්තේ.

මුල් දවස් ටිකේ ගෙදරට වෙලා හිටියත් ආයෙත් මම පරණ පුරුදු ජීවිතයටම හුරු වුණා. අක්කලා මගෙ මුහුණ බැලුවේ නැහැ. එයාලට ලැජ්ජයි කියලා. පොඩි අක්කා කොයි වෙලෙත් ඇනුම් පද කියන්න ගත්තා. තාත්තා මම ඉන්නවද මැරුණද කියලවත් බැලුවේ නැහැ. අම්මා විතරයි ටිකක් හරි මං ගැන බැලුවේ. මට හිතුණා ඒ ගෙදර ජීවිතේ වැඩක් නැහැ කියලා. එක දවසක් හැන්දැවේ මම ගෙදරින් එළියට බැස්සා. අම්මාගේ අල්මාරියෙන් සල්ලි ටිකකුත් අරගෙන. යන්නේ කොහෙද මොනවා කරනවද කියලා කිසිම අරමුණක් නැතිව මම එළියට බැහැලා ආවා.

මම ආවේ වැල්ලවත්තේ වෙරළ අද්දර ඉන්න අවන්තිගෙ ගෙදරට. අවන්ති මාත් එක්ක එක පන්තියෙ හිටියේ. ඒක මට අලුත් ජීවිතයක්. ඒ අලුත් ජීවිතයට මං ගොඩක් ආස කළා. ඒ කාලේ මම මත්ද්‍රව්‍ය ගන්න ගොඩක් ඇබ්බැහි වෙලා හිටියේ.

“මෙහෙම ඉඳලා බැහැ. උඹයි මමයි දෙන්නම රස්සාවක් කරන්න ඕන“ අවන්ති එහෙම කියලා තමයි මාවත් එයාව හම්බවෙන්න එන අයට අඳුන්නලා දුන්නේ. රැයක් දවාලක් නැති ඒ මත් වෙච්ච මිනිස්සු අතරේ මමත් මත් වෙලා හිටියා. ලැබුණ සල්ලි වියදම් කළේ අවන්ති. මට මගේ ගාන ලැබුණා.

දවසක් පොලිසියෙන් පැන්නා වැල්ලේ ගෙවල් පේළියට. පොලිසියෙන් ආවේ ‘පික්පොකට්‘ කාරයෙක් හොයාගෙන. එ් වුණත් පොලිසියට අහුවුණේ මාව. එතකොට මගෙ වයස අවුරුදු විසි හතරයි. පළවෙනි පාර මාව පොලිසියට අහුවුණා. අවන්ති දන්න කියන අයට කතා කරලා එදා මාව ගලවගත්තා.

“මොන දේ කළත් කල්පනාවෙන් කරන්න ඉගෙනගනින්. මට හැමදාම උඹව ඔහොම බේරන්න බැහැ.“

එදා පොලිසියේ ඉඳලා ආ වෙලාවේ ඉදලා අවන්ති කියන්න ගත්තා.

“වැල්ලේ හැම මිනිහෙක්ම වගේ මා ගැන දන්නවා.

අපි මෙහෙන් යමු.... ඔව්... උඹයි මමයි මෙහෙන් යන්න ඕන

අපි ලස්සනට ජීවත් වෙන්න ඕන....“

ඊට දවස් කිහිපයකට පස්සේ අපි දෙහිවලට ගියා. ඒක ඇනෙක්ස් එකක්. කාමර දෙකක් තිබුණා.

“අපි හැමදාම හිඟන්නෝ වගේ ඉන්න ඕන නැහැ. උඹෙයි.. මගෙයි රූපෙට පුළුවන් ඕන දෙයක් කරන්න.“ අවන්ති එහෙමයි අපිට ජීවත් වෙන්න මාර්ගය හැදුවේ.

“හැබැයි මම ඔයාගෙන් එකම එක දෙයයි ඉල්ලන්නේ ඔය මත්ද්‍රව්‍ය පාව්ච්චි කරන එක නතර කරපන් බං. උදේ ඉදන් රෑ වෙනකම් ඕක පාවිච්චි කරන්න එපා. අපි මේ වැටිච්ච වළෙන් ගොඩ එමු. “

අවන්ති හැමදාම මට කියන්න ගත්තා. අවන්ති මට වඩා ලස්සනයි. මොන හේතුවක් ද මන්දා මම අවන්ති කියන දේ අහන්න ගත්තා. දවසට දෙතුන් පාර පාවිච්චි කරපු මම ක්‍රමයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චිය අඩු කෙරුවා.

“අපි රස්සාවකට යමුද?“ අවන්ති දවසක් මගෙන් ඇහුවා.

“මම රස්සාවක් කරන්න දන්නේ නැහැ“

දවසින් දවස ඒ කතාව යට ගියා. ඒත් අපි දෙන්නටම ජීවත් වෙන්න සල්ලි හම්බවුණා. මටත් වඩා අවන්ති හම්බ කළා.

දවසින් දවස අලුත් අලුත් අය අවන්ති ට හමුවුණා. ඒ හැම කෙනෙක්ම ලොකු සල්ලිකාරයෝ. අවන්තිට සල්ලි තියෙනවා කියන්නේ මට තියෙනවා කියන එක තමයි. ඒ තරමටම අවන්ති මං ගැන හොයලා බැලුවා. ඒත් ඒ බැලිල්ල තිබුණේ ටික දවසයි.

“නිරා මම මෙහෙන් යනවා“

දවසක් අවන්ති මට කිව්වා. මම පුදුම වෙලා එයා දිහා බැලුවේ.

ලසන්ත කියනවා එයත් එක්ක රට යමු කියලා. මටත් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම ලසන්තට මං ගැන හැමදෙයක්ම කිව්වා. එයා ඒ හැමදේම අමතක කරලා තමයි මට එයත් එක්ක යන්න කතා කරන්නේ. මම එයා එක්ක යනවා. ඒත් මට ඔයාව දාලා යන්න දුකයි. “ අවන්ති මාව බදාගෙන ඇඬුවා.

“කමක් නෑ ඔයා යන්න“ මම එහෙම කිව්වේ ගොඩාක් වෙලාවකට පස්සේ. ඊට මාසයකට විතර පස්සේ අවන්ති ගියා. එයා දැන කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. එදායින් පස්සේ තමයි මගෙ ජීවිතේ කඩාගෙන වැටුණේ. අවන්ති යන්න කලින්ම අපි එතැනින් වෙන තැනකට මාරු වුණා. අවන්ති නම් මට කිව්වේ හැමදේම අතහැරලා පොඩි රස්සාවක් කරන්න කියලා. මමත් එහෙම කරන්න හිත හදාගත්තා. මම දෙහිවල රෙදි ෂොප් එකක වැඩට ගියා. එතැන හොඳයි. මට බෝඩිමටත් ගෙවාගෙන ඉන්න තරම් පඩියක් ලැබුණා.

“මම අලුත් ජීවිතයක් පටන් ගන්නවා“ මම මටම පොරොන්දු වුණා. කාලය ගෙවිලා ගියා. ඔය අතර තමයි මට මංජුලව හමුවුණේ. එයා අපේ කඩේට එහා කඩේ වැඩ කළේ. 

“මට කියලා මොනවද තියෙන්නේ“ මංජුල වගෙ කෙනෙක් මගෙන් යාළුවෙන්න ඇහුවම මට කියවුණේ එහෙම.

“ඔයා විතරක් හිටියම ඇති“ මංජුල එහෙම කිව්වා. ඒ වෙනකොට මම මගේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා හිටියේ. අපි ඉදලා හිටලා දවසක කොහේ හරි ගියා. සමහර නිවාඩු දවස්වලට දවස් දෙක තුන කොහේ හරි දුර ඈතක ගියා.

මංජුල කියන්නේ ඈත පිටිසර ගමක කොල්ලෙක්. අම්මයි නංගියි අප්පච්චියි විතරයි ඒ පවුලේ. මංජුල මා ගැන හැමදේම දැන ගෙනත් මට කැමැත්තෙන් හිටියා. මේ දැනුත් මට හිතා ගන්න බැහැ ඇයි මංජුල එහෙම වුණේ කියලා.

“ඔයා මට එක පොරොන්දුවක් වෙන්න. දැන් ඔයාට ඔයා විතරක් නෙමෙයි මමත් ඉන්නවා. ආයේ පරණ කිසිම දෙයක් කරන්න බැහැ. ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕන. ඒ නිසා හැම වැරදි වැඩක්ම නතර කරන්න. අපි දෙන්නා සිංහල අවුරුද්දෙන් පස්සේ අපේ ගමට යමු. ඔයාව අඳුනන කවුරුවත් අපේ ගමේ නැහැ. මගේ ගෙදර ඔයාට අලුත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. තේරුණා ද කෙල්ලේ.“ මංජුල අලුත් ජීවිතයකට මාව පොරොන්දු කර ගත්තේ ඒ විදිහට. මටත් ජීවිතේ ගැන ආසාව ඇති වුණා.

ඒත් මම නොසිතපු දෙයක් මට වුණේ. මම වැඩ කරපු තැන බඩු වගයක් නැති වුණා. ඒකට සැක කළේ අපි තුන්දෙනක්ව. ඒත් කැෂියර් එකේ හිටපු කෙනාව තමයි අපට සැක. අපි එහෙම කිව්වට වැඩක් වුණේ නැහැ. දැන් මාස තුනක් වෙනවා ඒ සිද්ධිය වෙලා. දෙපාරක් උසාවි ගියා. අපි විශ්වාස කරනවා ඊළඟ නඩු වාරයේදී අපට එළියට යන්න පුළුවන් කියලා. මට ජීවිතේ තියෙන එකම සතුට මංජුල වගේ කෙනෙක් ලැබුණ එක ගැන. එයා මං ගැන හොයනවා බලනවා. මම හිතුවා මම හිරේ ගියාම ආයෙත් මම තනි වුණා කියලා. ඒත් මංජුල කියන්නේ පුදුම මනුස්සයෙක්.

ඉස්සර කරපු එකම නරක වැඩක්වත් මම දැන් කරන්නේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මංජුල නිසයි.

මට නැති වෙන්න ගිය මගේ ජීවිතය බේර ගත්තේ මංජුල. ඔහුට මම හැමදාම ණයගැතියි.

Comments