
හින්දි සිනමාවේ ජනප්‍රිය නිළි ආලියා බාත් පසුගිය 6වැනිදා මවු පදවිය ලැබුවා. ඇයගේත් ජනප්‍රිය නළු රන්බීර් කපූර්ගේත් පළමුවැනි දරුවා ලෙස එදින උපත ලැබුවේ සුන්දර දියණියක්.
ආලියා බාත් මවු පදවිය ලැබීමේ පුවත මුළු බොලිවුඩ් පුරය පුරා උණුසුම් පුවතක් ලෙස පැතිර ගියා. ඒ මෙතරම් තරුණ වියේ සිටින, එමෙන්ම ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින ආලියා බාත් තම නිළි වෘත්තිය පසෙක තබමින් මවු පදවිය ලැබීම නිසා. ඒ විතරක් නෙමෙයි බාත් පවුලට තවත් අලුත් අමුත්තෙක්ගේ ආගමනයත් බොලිවුඩ් පුරයට විශේෂ පුවතක් වුණේ බාත් පවුල යනු බොලිවුඩ් සිනමාවත් සමඟ දැඩි බැඳීමක් තිබෙන පවුලක් වන නිසාවෙන්.
පවුලට එක්වීමට යන අලුත් සාමාජිකයා පිළිබඳව ආලියා බාත්ගේ පියා වන ජනප්‍රිය හින්දි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන මහේෂ් බාත් පවසා තිබුණේ ‘අලුත් ඉරක් උදාවන තුරු තමා බලා සිටින’ බවයි.
මේ වසරේ අප්‍රේල් 14වැනිදා විවාපත් වුණු ආලියා සහ රන්බීර් යුවළ නොබෝ කලකින්ම දරුවකු බලාපොරොත්තු වන බව ලොවට ප්‍රකාශ කළා. ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය චාම් උත්සවයක් ලෙසින් පැවැත්වුණු අතර, එයට සහභාගී වීමට ආරාධනා ලැබුවේ ආරාධිතයන් සුළුතරයක් පමණයි. විවාහයෙන් කෙටි කලක් ගත වන විටම ආලියා සමාජ මාධ්‍ය ඔස්සේ තමා මවක් වීමට යන පුවත වාර්තා කර සිටි අතර, ඇය සහ රන්බීර් එක්ව වෛද්‍ය සායනයකට සහභාගී වී සිටින අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යවලට එක් කර තිබුණා.
මේ උණුසුම් පුවත් ලෝකය පුරා වේගයෙන් පැතිර ගියේ ආලියා බොලිවුඩ් සිනමාවේ ජයදද නංවා ලෝක සිනමාවටද එක්වෙමින් සිටි නිසාවෙන්. ඇය මවක වීමට යන පුවත සමාජගත වන විටත් ඇය තම ප්‍රථම හොලිවුඩ් සිනමාපටය වන ‘Heart of stone‘ හි රංගනයෙන් දායක වෙමින් සිටියා. පසුව ඇය ස්පාඤ්ඤයේ රූගත කිරීම් සඳහා මාතෘ ඇඳුමකින් සැරසී සහභාගී වී සිටින ඡායාරූපද සමාජ මාධ්‍යවලට එක් කර තිබුණා. එහෙත් එතැනින් පසු විශේෂයෙන්ම පසුගිය මාස දෙකක කාලයකදී ආලියා හෝ රන්බීර් කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක හෝ උත්සව අවස්ථාවකදී දැක ගැනීමට ලැබුණේ නැහැ. ඉන් පසුව තමයි ආලියා මවක වූ පුවත පැතිර ගියේ.
ආලියා සහ රන්බීර් විවාහ වුණේ වසර පහක පෙම් සබඳතාවකින් පසුවයි. ආයන් මුඛර්ජිගේ ‘බ්‍රශ් මාස්ටර්’ සිනමා පටයේ රූ ගැන්වීම අතර ඔවුන් හමුවී තිබුණා. රන්බීර් කෙසේ වෙතත් ආලියා බාත් යනු හින්දි සිනමාවේ පැහැපත් අනාගතයක් හිමි නිළියක් බවයි විචාරකයන් පවසන්නේ. චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් වාර්තා පිට වාර්තා තබන අධ්‍යක්ෂවරයකු වන කරන් ජොහාර්ගේ මීළඟ සිනමා පටයේ රඟපෑමේ අවස්ථාවත් මේ වන විටත් අලියාට හිමි වී අවසන්. එම චිත්‍රපටයට නම් ලබා දී ඇත්තේ ‘රොකී ඔර් රානි කි ප්‍රේම් කහානි‘ යනුවෙන්. මේ සියල්ල පෙන්වා දෙන්නේ ආලියා බාත් යනු දීප්තිමත් අනාගතයක් ඇති නිළියක් බවයි.
එහෙත් ඇය මෙතරම් තරුණ වියේදීම මවක වීම බොහෝ දෙනාගේ විමතියට කරුණක්. ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි හින්දි නිළියන් රැසක් මවු පදවිය ලැබූවත්, ඒ බොහෝ දුරට සිනමාවෙන් පසුගැනීමෙන් පසුයි. එහෙත් ආලියා තම රංගන ජීවිතයේ උච්චතම අවස්ථාවේදීම මවු පදවියට හිමිකම් කියා තිබෙනවා.
ආලියාගේ දියණිය උපත ලැබූ පෞද්ගලික රෝහලේ පසුගිය නොවැම්බර් 6වැනිදා ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පිරී ගිය බව මාධ්‍ය වාර්තා කොට තිබුණා. කෙසේ වෙතත් අලුත උපන් බිලිඳාගේ ඡායාරූප කිසිවක් මේ දක්වා මාධ්‍ය වෙත නිකුත් කර නැති බව පැවසෙනවා.