
ආදරය සම්පූර්ණ වෙන්න නම් ප්‍රේමය කැපවීම තියෙන්න ඕනේ
ආදරේ කියන්නෙම ඉවසීම තමයි
ජනප්‍රිය වෙන්න බලාගෙන නෙවෙයි මම නිර්මාණ කරන්නේ
මේ දිනවල ස්වාධින රූපවාහිනී තිරයෙන් සමීප වන ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කළ “නන්නත්තාර“ ටෙලි කතා මාලාව ගැන බොහෝදෙනා කතා කතා වෙනවා. “නන්නත්තාර“ කියන්නේ අපේ කලාව වෙනස්ම මානයකට අරගෙන යන්න සමත් වුණ හරිම අපූරු ටෙලි කතා මාලාවක්. මෙහි එන චරිත අතරේ රම්බා කියන්නේ වෙනස්ම චරිතයක්. රම්බා ලෙසින් එන්නේ පුංචි තිරයට අලුත් මුහුණක්. ඇය නමින් වින්ද්‍යා දෙගල්දොරුව.
කොහොමද රම්බාට ලැබෙන ප්‍රතිචාර?
රම්බා කියන්නෙම වෙනස් වූ සංකීර්ණ චරිතයක්. ඊට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දවස්වල මමත් පුදුමයට පත් වෙලා ඉන්නේ. මොකද මේ මගේ පළමු ටෙලි කතා මාලාව නිසා. ගොඩක් අයට මාව මගේ චරිතය තුළින් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න බැහැ.
රංගනයට ඔබේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද?
මම වෘත්තියෙන් ගුරුවරියක්. ඩුබායි රටේ තමයි මම ගුරු වෘත්තිය කළේ. 2017 දී මගේ යාළුවො මාව දාලා තිබ්බා කැන්ඩි බියුටි පැජන්ට් එකකට. මම ඒ ක්‍රවුන් එක ජයග්‍රහණය කළා. එතැනින් පස්සේ මගේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් ගත්තා. ඒ දේවල් දැකලා මට චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඉරාන් ගොඩමුණේ කියන අධ්‍යක්‍ෂවරයා තමයි මට ඒ ආරාධනය කරන්නෙ. ඒ සඳහා මුලදි පූජා උමාශංකර් තෝරාගෙන හිටියත් ඇය විවාහයත් සමඟ ඉන්දියාවට ගිය නිසා මට ඒ අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටය තමයි “සීක්‍රට් ඔෆ් ද රෝස්“ රොෂාන් රවින්ද්‍ර සහ රොෂාන් රණවන එක්ක මම එහි රඟපෑවේ.
එතකොට කොහොමද රම්බා වෙන්නේ?
2021දී කොරෝනා ව්‍යාප්ත වීමත් එක්ක මම ලංකාවට ආවා. ඒ ආවම මගේ ගම වුණ නුවර තමයි වැඩිපුර හිටියේ. ගමත් නුවර, ඒ වගේම මගේම ව්‍යාපාරයක් තිබ්බා නුවර. ඒ දේවල් එක්ක මම ඉන්නකොට මගේ යාලුවෙක් කිව්වා උදයකාන්ත වර්ණසූරිය මහතා චිත්‍රපටයක් කරනවා. ඒකට කට්ටිය හොයනවා එන්න කියලා. නමුත් මම ආවේ නැහැ. ඊට කාලෙකට පස්සේ මම කොළඹ ආවම උදයකාන්ත සර්ව හමුවෙන්න ගියා. හැබැයි ඒ වෙද්දී චරිත තෝරාගෙන අවසන්. එදා තමයි උදයකාන්ත සර් කිව්වේ ජයන්ත සර් මේ දවස්වල පිටපතක් ලියනවා, ජයන්ත සර්ට හඳුන්වා දෙන්නම් කියලා. ජයන්ත සර්ව ‘මිදුන විශ්වය‘ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තිබුණ වෙලාවෙ මට මුණගැහිල තිබුණා. එදා මට නිකමට වගේ හිතුණා මෙතුමාගේ නිර්මාණයක කවදා හරි රඟපාන්න ලැබෙනව නම් කියලත්. මම ‘ඔහුට කතා කරලා මගෙ ඡායාරූපයත් යැව්වා, ඒත් මාසයක් යනකම් මට කතා කළේ නැහැ. ඊට පස්සේ දවසක මට ඔඩිෂන් එන්න කිව්වා. ඔඩිෂන් එකේදී මට කිව්වේ මගේ සිංහල උච්චාරනය හදාගන්න කියලා. මට ලොකු පිටපතක් දුන්නා හෙට උදේ වෙද්දී කියවලා කියන්න කියලා. මම පහුවදාම කිව්වා මම මේ චරිතය කරනවා කියලා. මොකද මේ චරිතය ගැහැනු වෙනුවෙන්ම හදපු චරිතයක්. ලෝකයේ ඉන්න ගැහැනු වෙනුවෙන්ම ආදරේ වෙනුවෙන්ම හදපු චරිතයක්. එහෙම තමයි රම්බා මට ලැබෙන්නේ.
රම්බා වැඩියෙන්ම තිරයේ දකින්නේ මනෝ එක්ක, මනෝට ඉන්නේ මේඝ සූරියආරච්චි. කොහොමද ඔහු සමඟ රංගනය පහසුද?
මේඝ මට අලුත් කෙනෙක් නෙවෙයි. මේ නාට්‍යයට එන්න කලින් ඉඳලා මේඝ මගේ යාළුවෙක්. මම ලංකාවට ආව අලුත 2021 මුල ඔස්ට්‍රේලියාවේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක් මියුසික් වීඩියෝ එකක් කරන්න අපි දෙන්නට කතා කළා. නමුත් මම ඒකට කැමැති වුණේ නෑ. USA වලින් ආව කට්ටියක් කරපු වැඩකටත් මේඝ සහ මාව තෝරා ගත්තා. මේඝ පොලිස් නිලධාරියෙක් විදියට මම ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. ඒකත් කොරෝනා නිසා අතරමඟ නතර වුණා. පස්සේ තමයි මම දැන ගත්තේ මේඝ මගේ හස්බන්ඩ්ගේ චරිතය කරන්නේ කියලා. බොහොම හොඳ සහයෝගයක් මේඝගෙන් රම්බා චරිතය ගොඩ නඟන්න මට ලැබුණා. ඒ හැරුණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහායක් ලැබුණා.
එතකොට ඔබ ගුරුවෘත්තියට සමුදුන්නද?
මාස හයක විතර ශූටින් දිගටම වැටුණ නිසා ගුරු වෘත්තිය පොඩ්ඩක් නතර වුණා. මම චිත්‍ර ශිල්පිනියක්. ඒ වගේම මම ගායිකාවක්. ඒ නිසා යෝගා, මියුසික්, ඩාන්සින් සහ පේන්ටින් ඇතුළත් institute එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබේ පවුලේ පසුබිම පාසල් කාලය ගැන මතක් කළොත්,
මගේ උපන්ගම මහනුවර වටපුළුව. පාසල් ගියේ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට. අම්මා, තාත්තා, සහ නංගී කෙනෙක් ඉන්නවා. උසස් පෙළින් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙනව. මගේ උසස් අධ්‍යාපන කටයුතු සියල්ල සිදු වුණේ ඇමරිකාවේ සහ එංගලන්තයේ.
ඉගෙනීමේ කටයුතුවලින් පස්සෙ ගුරුවරියක් විදිහට වැඩිපුරම කාලයක් හිටියේ අබුඩාබිවල. මාව බොහෝ දෙනෙක් දන්නෙ ගායිකාවක් හැටියට. මගේ නංගිත් එහෙමයි. අම්මා තාත්තා නම් එතරම් කැමති වුණේ නැහැ අපි කලාව කරනවට. ඒ අයට ඕනේ වුණේ අපිව අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යවන්න.
ආදරේ ගැන මොකද හිතෙන්නේ
ආදරේ ගැන මට කියන්න තියෙන්නේ “නන්නත්තාර“ හි රම්බා කියන්න උත්සහ ගන්න දේම තමයි. ආදරය සම්පූර්ණ වෙන්න නම් සෙනෙහස සහ ප්‍රේමය කැපවීම මේ හැමදේම තියෙන්න ඕනේ. අනිත් දේ ආදරේ කියන්නෙම ඉවසීම තමයි.
මේ වෙද්දී ආදරවන්තියක් ද?
මම ඒ ගැන දැන්ම මුකුත් නොකියා ඉන්නම්.
අනාගත බලාපොරොත්තු මොනවද?
මට තියෙන ලොකුම බලාපොරොත්තුව ළමයි වෙනුවෙන් දෙයක් කරන්න. ඉස්සරත් මම නිවාඩුවට ආවම අනාථ නිවාසවලට ගිහින් මම උගන්වනවා. ඒ නිසා මට අවශ්‍ය දරුවන්ගේ මනස නිරවුල් වෙන විදියේ Institute එකක් පටන් ගන්න. කලාවේ කටයුතු කරන අතරේ ළමයින්ගේ මනස පෝෂණය වෙන විදියේ වැඩක් කරන්න හිතන් ඉන්නවා.