මනමේට 66 පිරුණ දා යළිත් මනමේ රඟදැක්වූ වගයි | සිළුමිණ

මනමේට 66 පිරුණ දා යළිත් මනමේ රඟදැක්වූ වගයි

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාටකයට පසුගිය නොවැම්බර් 03 වැනිදාට වසර 66ක් සපිරිණි. ඒ නිමිති කොටගෙන කැලණිය විශ්වවිද්‍යාලය විසින් සැමරුම් උලෙළක් සංවිධාන කර තිබුණු අතර එදින ‘මනමේ’ නාට්‍යය වේදිකාගත කළේය. එහිදී දැනට ජීවත්ව සිටින මනමේ නාට්‍යයට විවිධ අංශයන්ගෙන් දායක වූ ජ්‍යේෂ්ඨ කලාකරුවන් ඇගයුමට හා සම්මානයට පාත්‍ර වීය.

 

1956 නොවැම්බර් මස 03 වැනි දින මනමේ නාටකය මුලින්ම වේදිකාගත වන්නේ කොළඹ ලයනල්වෙන්ට් රංග ශාලාවේදීය. එය එදා මෙදාතුර මෙතෙක් ලංකාවේ දෘශ්‍ය කලා මාධ්‍යට කළ බල පෑම සුළුපටු නොවේ. මනමේ නාට්‍ය වේදිකාගත වන්නේ මෙරට විධිමත් නාට්‍ය සම්ප‍්‍රදායක් නොතිබුණු කාලයකය. ඒ අනුව මෙරට නාට්‍ය කලා වංශකතාවේ තිඹිරිගෙය සනිටුහන් වන්නේ මනමේ නාට්‍යයෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උත්සවශ්‍රීයෙන් සැමරුණු 66 වැනි මනමේ වාර්ෂික සැමරුම පිළිබඳව සිය අදහස් පළ කරමින් ලලිතා සරච්චන්ද්‍රන් පවසා සිටියේ “කැලණිය විශ්වවිද්‍යාලයෙන් නොවැම්බර් 03 වැනිදා මනමේ නාට්‍ය වේදිකාගත කරන්න මගෙන් අවසර ඉල්ලා තිබුණා. එදිනට මනමේ නාට්‍යයට වසර 66 ක් පිරෙන බව මා ඒ අය දැනුම්වත් කළා. එහිදී මෙය අහම්බෙන් ලැබුණු භාග්‍යයක් බව සඳහන් කරමින් එය උත්සවාකාරයෙන් සැමරමින් නාට්‍ය පෙන්වීමට මගෙන් අවසර ඉල්ලුවා. ඒ වගේම එහිදී සම්මාන පිරිනමන්න සුදුසු අයගේ නම් කිහිපයක් මගෙන් ඉල්ලා සිටියා. මනමේ නාට්‍යට සහභාගි වෙච්ච හැමෝටම සම්මාන දෙන්න ගියොත් දෙසීයකට වැඩි පිරිසකට සම්මාන දෙන්න ඕන. ඉතින් මා ජ්‍යේෂ්ඨත්වය සලකා එකොළොස් දෙනකු ඒ සඳහා තෝරා දුන්නා. මා එහි සහභාගි වන විටත් එම උත්සව ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුණා. එය ඉතා ගාම්භීර අන්දමින් පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් කටයුතු කර තිබෙන ආකාරය මා දුටුවා. සාම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිහිකර එතුමන්ට පිං පමුණුවා උත්සව කටයුතු ආරම්භ වුණා. ඇත්තෙන්ම මේ සත්කාර්ය දැක මා ඉතාම සතුටට පත් වුණා.“

මේ ගැන අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති සහ මානව ශාස්ත්‍ර පීඨයේ, ලලිතකලා අධ්‍යයනාංශයේ මහාචාර්ය මහාචාර්ය පැට්‍රික් රත්නායක පැවැසුවේ,

“අප සියලු දෙනාම දන්නා පරිදි මනමේ නාට්‍යය 1956 නොවැම්බර් මස 03 වැනිදා කොළඹ ලයනල්වෙන්ටඩ් රඟහලේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ එවකට සේවය කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් වේදීකාගත කෙරුණා. එය නූතන නාට්‍ය කලාවේ සමාරම්භක සන්ධිස්ථානය ලෙස කාගේත් පිළිගැනීමයි. 1956 යනු යටත් විජිත යුගයෙන් පසුව; නැතිනම් 1948 නිදහස ලැබීමෙන් පසුව ඇරඹි නිදහස් සමාජ දේශපාලන සංස්කෘතික අවකාශයේ එක්තරා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. මේ කාලයේදී ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වුණා. එහිදී සෑම ක්ෂේත්‍රයකම විශාල උද්දීපනයක් අපට දකින්න පුළුවන් වුණා. විශේෂයෙන් කලාව පැත්තෙන් බැලුවම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත්; ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවත් කලාව පැත්තෙන් සුවිශේෂී පිබිදීමක් ඇති කළා. එදා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දායකත්වයෙන් පේරාදෙණිය විශ්විද්‍යාලය කේන්ද්‍ර කරගෙන ඇති වෙච්ච කලා සාහිත්‍ය පුබුදුව පසුකාලීනව කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණා. එහිදී මහාචාර්ය ඈෂ්ලි හල්පේ, ගාමිණි හත්තෙට්ටුවේගම, මහාචාර්ය එම්. එච් ගුණතිලක වගේ අය ඊට මුල් වී ක්‍රියා කළා. පසුව 1997දී කැලණිය විශ්වවිද්‍යාලය මූලික කරගෙන නාට්‍ය අධ්‍යයන ඒකකයක් ආරම්භ වූණා. එමඟින් රංග කලාව සඳහා උපාධි පාඨමාලවක් ඇති කිරීමට ආරියවංශ රණවීර සහ ආචාර්ය මංගලිකා ජයරත්න මුල් වී ක්‍රියා කළා. මේ වන විට එහි ඉදිරි කටයුතු දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට මට හැකියාව ලැබුණා.

අදත් අප නාට්‍ය පමණක් නොව සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගුරු තරුව ලෙස සැලකෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. අදත් මේ රටේ විශ්වවිද්‍යාල බැබළෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ ආලෝකයෙන්. ඒ අනුව එතුමාගෙන් හිමිවෙච්ච සුවිශේෂී දායාදයක් තමයි මනමේ නාට්‍යය. මනමේ නාට්‍යයට හේතු වුණේ 1950 දී ජපන් ජාතික අකිර කුරසෝවා විසින් අධ්‍යක්ෂණය කරන ලද “රශෝමොන්” (Rashomon) චිත්‍රපටිය හා පන්සිය පනස් ජාතක පොතේ එන චුල්ල ධනුද්ධර ජාතකය බව එතුමන්ම පවසා තිබුණා. මෙරට තුළ පැවති නොයෙක් යාතු කර්ම, නාඩගම්, සොකරි සහ කෝලම් යන සාම්ප්‍රදායික කලාවන්ගේ ආභාසය වගේම ජපානයේ නෝ, කබුකි, හා කියෝකි යන නාට්‍ය සම්ප්‍රදායන් ගේ ලක්ෂණ මෙහි ආකෘතිය සැකසීමේදී ඉවහල් කරගෙන තිබුණා. ජපානයේ මේ සම්ප්‍රදායන් නූතනය දක්වා ක්‍රමිකව විකාශනය වී පැවතියත් අපේ රටේ සොකරි, නාඩගම් ඒ දක්වා ක්‍රමික විකාශනයත් සමඟ ස්වාභාවික තත්ත්වයට පත් වු බවක් දකින්න ලැබුණේ නැහැ.

එතුමන් තමයි ප්‍රථම වතාවට එවැනි විකාශනයක් නාට්‍ය කලාව තුළ ඇති කරන්න මූලිකත්වය ගත්තේ. එනිසා එතුමන්ට ඒ කාර්ය සඳහා දක්වන කෘතගුණ සැලකීමක් විදියට මනමේ නාට්‍ය පෙන්වා වසර 66ක් ගෙවෙන අවස්ථාවේ; එදා 1956 නොවැම්බර් 03 වැනිදා සවස 6:30 ට කොළඹ ලයනල්වෙන්ට් හි රංග ගත කළ ලෙසම පසු ගිය නොවැම්බර් 03 වැනිදා ඒ වේලාවටම එතුමන්ට උපහාර දක්වා මනමේ නාට්‍යය රඟදැක් වූවා. මෙහිදී එතුමන්ගේ නිර්මාණ මතු පරපුරට දායාද කරමින් සිය කාර්ය නොපිරිහෙළා ඉටු කරන ලලිතා සරච්චන්ද්‍රයන් මීට සහභාගි කරවා ගැනීමට අප කටයුතු කළා. ඒ වගේම එතුමියගේ තෝරා ගැනීම අනුව දැනට ජීවත්ව සිටින මනමේ නාට්‍ය සඳහා දායක වූ කලාකරුවන් කිහිප දෙනකුට උපහාර පුදකිරීමටත් අපට හැකියාව ලැබුණා.“

එදින මනමේ නාට්‍ය දර්ශන වාර දෙකක් පෙන්වා තිබුණු අතර ප්‍රේක්ෂකයන් 5000 ක් පමණ මෙම දර්ශන වාර දෙක නැරඹීමට පැමිණ තිබුණි. ඉන් පෙනී යන්නේ මෙරට ප්‍රේක්ෂක ප්‍රජාව මෙකී නිර්මාණ කෙතරම් ආදරයෙන් වැලඳ ගෙන තිබේද යන්නය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ කැලණිය විශ්විවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්තී ද සිල්වාය. ඇය පසුගියදා ලොව විද්‍යාඥවරුන් අතර හොඳම විද්‍යාඥවරියක ලෙස පැසුමට ද ලක් වුවාය. මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක් වන අතර, සිංහල අධ්‍යයන අංශය, නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්භ කලා අධ්‍යයන ඒකකය හා ඇකඩමික් ප්ලේයස් සංසදය මඟින් සංවිධානය කර ඇත.

Comments