
කලාව කියන්නෙම මගේ ආසාවට කරපු දෙයක්
ඊට පස්සේ මම විවාහ වුණා. එයත් එච්චර කැමැති වුණේ නැහැ මම රඟ පානවට
ඔබ 2006 වසරේදී තිරගත වූ උදයකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්ෂණය කළ “හිරිපොද වැස්ස“ චිත්‍රපටය නැරඹු කෙනෙක් නම් එහි ටීචර්ගේ චරිතය කිසිදා අමතක නොවනු ඇත. එදා ඒ චරිතය රඟපෑ හර්ෂිනී පෙරේරා පසුකලෙක නම් සිනමා නිර්මාණවලින් හෝ වෙනයම් කලා නිර්මාණ තුළින් අපිට දකින්නට ලැබුණේ නැහැ. දිගු නිහැඬියාවකට පස්සේ හර්ෂිනී ගැන නැවත කතා වෙන්නට පටන් ගෙන තියෙනවා. ඒ පසුගිය දා ඇය ලද ජාත්‍යන්තර ඇගයීම් සම්මාන දෙකත් සමඟ. ඒ නිසාම රසඳුන මේ සොඳුරු කතාබහ ඇය සමඟ.
පසුගිය දිනෙක ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් සම්මාන ලැබුණනේ, අපි ඒ ගැන කතා කළොත්
ඔව්. Outstanding women leadership award එක සහ Personality of the year award කියන සම්මාන දෙක මට ලැබුණේ. ඒක Women icon awards දෙකක් සංවිධාන කරලා තිබුණේ ඇමරිකාවේ තියෙන Times women සංවිධානය මඟින්. සම්මාන උලෙළ තිබ්බේ ගිය මාසේ 16 වෙනිදා ඉන්දියාවේ. women icon awards ceremony එකට මට ආරාධනා කරලා තිබ්බේ Chief Guest කෙනෙක් විදියට. එතැනදී තමයි මට මේ සම්මාන දෙකත් දුන්නේ.
දැන් කලාවෙන් පූර්ණකාලීනව අයින් වෙලාද?
කලාවෙන් මම පොඩ්ඩක් ඈත් වුණේ පුතා ටිකක් ලොකු වෙනකම් කියලා. දැන් නම් පුතාටත් අවුරුදු 15ක්. පුතාගේ නම අකේෂ් කුලසේකර. එයත් ගිය අවුරුද්දේ නොවැම්බර් මස ඩුබායි හි පැවති Junior Model International තරගය ජයග්‍රහණය කළා. එතකොට පුතාට වයස අවුරුදු 14යි. දැන් පුතාට එයාගේ වැඩකටයුතු තනියම කරගන්න පුළුවන් නිසා නැවත ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තියෙනවා.
අන්තිමට කළේ හිරිපොද වැස්ස ද?
ඔව්. ඊට පස්සේ මම විවාහ වුණා බුද්ධික කුලසේකර එක්ක. එයත් එච්චර කැමති වුණේ නැහැ මම රඟපානවට. ඊට පස්සේ මට පුතා ලැබුණා. පුතාට සම්පූර්ණ කාලය දෙන්න ඕනේ නිසා කලාවෙන් ඈත් වුණා.
පහුගිය කාලයේ ජීවිතේ ගත වුණේ කොහොමද?
මම Jewelry Designing and Manufacturing කරන කෙනෙක්. ඒ දේවල් එක්ක තමයි මගේ කාලය ගත වුණේ. මගේ ප්‍රධාන ආදායම් උපයන මාර්ගය එය.
හර්ෂිනී කියන්නේ සමාජ සේවයටත් වැඩි කාලයක් යොදවන කෙනෙක් ද?
මම ඉස්සර ඉඳන්ම charity වැඩ කරපු කෙනෙක්. සුනාමි කාලයේ ඉඳලම. We Are For Children කියන Organization එක මේ වසරේ අපි ආරම්භ කළා. එහි මමත් Founding Director කෙනෙක්. ඒ තුළින් අපි කටයුතු කරන්නේ හිංසනයට ලක්වුණු දරුවන් වෙනුවෙන්. එහි මම විතරක් නෙවෙයි මාත් එක්ක ස්ටෙෆනි සිරිවර්ධන, සාරංග දිසාසේකර ඇතුළු කණ්ඩායමක් ඉන්නවා.
පුංචි තිරයට ආරාධනා ලැබුණොත් භාර ගන්නවද? නැත්නම් සිනමාව විතරයි ද?
ඇත්තම කිව්වොත් දැන් නම් හැමෝම වගේ නළු නිළියන් වෙලානේ. ඉතින් මට එහෙමම වුවමනාවක් නැහැ. චිත්‍රපට කරන්න නම් කැමැත්තක් තියෙනවා. ඒකත් පෙනී සිටින්න ඕනේ කියලා ලැබෙන හැම චරිතයක්ම කරන්න නම් ආසාවක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් කරන්න කැමැත්තෙන් ඉන්නවා.
වැඩ කරන්න කැමති අධ්‍යක්ෂකවරු ඉන්නවද?
එහෙම එකක් නැහැ. අධ්‍යක්ෂකවරයා ජේෂ්ඨ කෙනෙක් ද නවක කෙනෙක් ද කියන තේරීම මා තුළ නැහැ. මට ලැබෙන චරිතය මොකක් ද? ඒ තුළ මට දෙයක් කරන්නට තියෙනවද කියන එක තමයි මම මුලික වශයෙන් බලන්නේ.
හර්ෂිනී කලාවට ආව කාලේ අය අද ඉන්න තැන දකිද්දී හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද? පසුතැවීමක් තියෙනවද?
මම එහෙම ඒ ගැන හිතලා නැහැ. මම වෙලාවකට චිත්‍ර ශිල්පිනියක්. තවත් වෙලාවකට ආභරණ හදන කෙනෙක්. ඒ වගේම කාලයකදී මම නිළියක්. මම අවුරුදු 18 ඉඳන් ආභරණ හදනවා. ඉතින් ඒක තමයි මගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත. ඒ හැර කලාව කියන්නෙම මගේ කැමැත්තට මගේ ආසාවට කරපු දෙයක්. උදයකාන්ත අයියා මුලින්ම මට චිත්‍රපටයකට කතා කළේ අවුරුදු 14 දී. ඒ වෙද්දී මම කැමැත්තක් තිබ්බේ නැහැ රඟපාන්න. ඊට පස්සේ මම මිස් ශ්‍රී ලංකා 2004 දින්නට පස්සේ තමයි ආයෙම කිව්වේ දැන්වත් චිත්‍රපටයක් කරමු කියලා. එතකොට තමයි මම හිරිපොද වැස්සට හා කිව්වේ. ඊට පස්සේ ඉන්දියාවේ සිනමා නිර්මාණවලටත් ඇරයුම් ලැබුණා. මුල් ඇරයුම ලැබුණේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගෙන මාස තුනේදී. නැවත මට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබුණා. එතකොට පුතාට අවුරුදු හතරයි. ඒ නිසා ඒ අවස්ථාවන් මග හැරුණා. නමුත් විවිධ වූ භූමිකාවන් එක්ක මගේ හැකියාවන් එක්ක මම කටයුතු කරලා තියෙන නිසා පසුතැවීමක් කියලා දෙයක් නැහැ. අනිත් දේ මම කාලය වෙන් කළේ මගේ පුතා වෙනුවෙන්. මම හිතනවා දැන් මම මගේ වගකීම් යුතුකම් කොටස කළා කියලා. දැන් අපි දෙන්නම ලෑස්තියි කලා ක්ෂේත්‍රයට එන්න.
පුතාත් කැමති ද රඟපාන්න
ඔව්. දැන් නම් එයත් කැමතියි. ගිය වසරේ Junior Model International තරගයට ගියේ නම් එහෙම කලාවට එන්න බලාපොරොත්තු ඇතිව නෙවෙයි. මගේ ලිපියක් පත්තරේ පළ වෙද්දී පුතා එක්ක ඉන්න ජායාරූපයක් පළ වුණා. එය දැකල තමයි මේ තරගයට පුතාව ඉදිරිපත් කරන්න කියන යෝජනාව ආවේ. ඒ කාලය වෙද්දී කොවිඩ් කාලය. ගෙදරට වෙලා ඉන්න එකේ මම පුතාට කිව්වා අපි යමු මේකට කියලා. පුතාට ඒ වෙද්දී වයස අවුරුදු 14ක් වුණාට අඩි හයක් උස තිබ්බා. බුද්ධික වගේ පුතත් ලස්සනයි. අවසානයේ එහි ජයග්‍රහණ තුනක්ම හිමි වුණා. Best Interview, Best National Costume & Main Title Winner.
ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ
ජීවිතේ ගැන කිසිම පසුතැවීමක් නම් නැහැ. අද වෙද්දී මට ලස්සන කඩවසම් හොඳ පුතෙක් ඉන්නවා. දැන් එයාට වයස අවුරුදු 15යි. දැන් එයාගේ උස 6'1ක්. බුද්ධික වගේ තමයි පුතාත්. බුද්ධිකත් 6'3ක් උසයිනේ. ඉතින් මගේ දැන් ජීවිතේ පුතා එක්ක සතුටින් ගත වෙනවා.