
පවුලේ දියුණුව වෙනුවෙන් එයා ඒ සේරම අතහැරල මෙහෙ ආවා
අජීත්ගේ ජීවිතය බේරුණ එක තමයි මට තියන එකම සැනසීම
එයා කවදාවත් පෙම්වතාට රඟපෑවේ නැති නිසා මට ඒ ප්‍රශ්නෙ නෑ
නළුවෙක්ව නළුකමින් ගලවනවයි කියන්නෙ මාළුවෙක් දියෙන් ගොඩට දානව වගේ ඛේදවාචකයක්
දැවී අළු වුණ පුස්තකාලයේ පොත් 3,000 ක් විතර තිබුණා
රිනාත් මද්දුමගේ, මේ නම වගේම මේ රූපයත් බොහෝ දෙනෙකුට හොඳින් මතක ඇති. පුංචි තිරය අමතක කර දුරු රටකට ගියත් ශ්‍රීනාත්ව කාටවත් අමතක වෙලා නැහැ , සිනමාවටත් පුංචි තිරයටත් ඉතා සමීප චරිතයක් වූ ඔහුට පසුගියදා ලොකු කරදරයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින ඔහුව මෙලෙසින් ඇමතුවා. මේ ඒ කතාබහ ගැනයි.
ශ්‍රීනාත් වසර ගණනාවක සිට රංගනයෙන් ඉවත් වෙලා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. කරදරයක් වුණා කියලා ආරංචියි ..?
ඔව්. මනුස්සයෙක්ට වෙන්න තියෙන ලොකුම කරදරය වුණා . මගේ සකල සබ්බමනාවත් එක්ක මම ජීවත් වෙලා හිටපු ගේ ගිනි ගත්තා. ඒක මට තාමත් නපුරු හීනයක් වගේ. මීට වඩා මනුස්සයෙකුට නරක දෙයක් වෙන්න තියෙනවා කියල මම හිතන්නෙ නෑ.
ඒ මොහොතේ නිවසේ කවුරුත් හිටියේ නැද්ද ..?
එක්කෙනෙක් හිටියා. ඔක්තෝබර් 29 වෙනිදා තිබුණු මගේ ‘මම ශ්‍රීනාත්’ කියන පොත එළිදැක්වීමේ උත්සවයට ලංකාවෙ ඉඳන් පොත් ටික අරගෙන ආවා අජිත් මෙන්ඩිස්. අජිත් කියන්නෙ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්, තිරපිටපත් රචකයෙක් වගේම මුද්‍රණකරුවෙක්. ඔහු තමයි මගේ පොත ප්‍රකාශනය කරපු
‘සරසවි’ ආයතයනයත් එක්ක සම්බන්ධීකරණය කළේ. ඔහුගේ ජීවිතය බේරුණ එක තමයි මට තියන එකම සැනසීම. ඔහු හැර ඒ මොහොතේ නිෙවසේ කවුරුත් හිටියේ නැහැ, මොකද හෙලොයින් නිසා මගේ දරුවෝ ගේ අසල යාළුවෝ එක්ක විනෝද වෙමින් ඉදලා තිබුණා. මම නිවසින් බැහැරව හිටියේ.
මවු බිමෙන් ඈත ජීවත් වෙන ඔබට මේ සිදුවීම දරා ගන්න අමාරු ඇති ..?
ලංකාවේ ඉන්නකොට ගොඩාක් යාළුවො, නෑදැයෝ, හිතවතුන් ඉන්නවා. ඒත් මෙහෙ ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒත් ඒ ටික දෙනා මහා විශාල කණ්ඩායමක් වගේ මට මේ වෙලාවෙ උදව්වට ආවා. ඇඳිවත විතරක් ඉතුරුවුණු අපිට පැය විසිහතරක් ඇතුළත බොහෝ දේවල් ගෙනත් දුන්නා. දරාගන්න අමාරු සිද්ධියක් වුණත් සමීප හිතවතුන් නිසා ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් වුණා.
නිෙවසම ගිනිගත් නිසා දැන් කොහොමද ඉදිරි කාලය ගෙවන්න සැලසුම් කරලා තියෙන්නේ ..?
මොකද්ද කරන්නෙ කියල තවම හිතාගන්න බැහැ. ගිනිගත්තු ගෙදරට ගිහින් බැලුවා. ඒක එකම අළු ගොඩක්. අපිට අනතුරක් වෙයි කියල ඇතුළට යන්න දෙන්නෙ නෑ. ගේ ඉන්ෂුවරන්ස් කරල තියෙන නිසා අපිට ඒකෙන් අලාභය හම්බ වෙයි. ඒත් ගෙදර වටිනාකමටම මුදල් ලැබෙන එකක් නෑ. ලැබෙන මුදලින් ගේ ආපහු හදාගන්න ඕනෙ. ඒක කරන්නෙ එතනමද නැත්තං වෙන තැනකද කියල තවම තීරණයක් නෑ. ඒ වෙනකං ඉන්ෂුවරන්ස් කම්පැනි එකෙන් අපිට ඉන්න හෝටලයක එපාර්ට්මන්ට් එකක් දුන්නා. දැනට ඒකෙ ඉන්නවා. හෙට අනිද්දට තාවකාලික ගෙයක් ඔවුන් අපට ලබා දෙයි. එන විධියකට මුහුණ දෙනවා.
සිද්ධියෙන් ඔබේ පුස්තකාලට හානී වෙලා නේද ..?
ඒක තමයි මට සිද්ධ වුණු ලොකුම අලාභය. එතන පොත් 3,000 ක් විතර තිබුණා. ඒ සේරම විටින් විට ලංකාවට ගිහින් එනකොට අරගෙන ආපු ධනය. රෝහණ විජේවිර, සයිමන් නවගත්තේගම, ආර්. ආර් සමරකෝන්, ජයලත් මනෝරත්න වගේ අය අත්සන් කරපු පොත් රාශියක් තිබුණා. දුර්ලභ පැරණි පොත් තිබුණා. ඒ සේරම තිබුණේ මගේ ස්ටුඩියෝ එකේ. ඒක හොඳට සැලසුම් කරපු හෝම් ස්ටුඩියෝ එකක්. එතන කාලයක් තිස්සේ මම එකතු කරපු සීඩි, ඩී.වී.ඩි එකතුවක් තිබුණා. ඒ වගේම මගේ ගැන ලියවුණු පත්තර තිබුණා. මගේ සම්මාන ජායාරූප සේරම තිබුණා. ඒ සේරම පුස්තකාලයත් එක්කම අළු දූවිලි බවට පත් වුණා.
ඔබ මවුබිමෙන් යද්දී අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්, දුක නැද්ද රංගනයට සමු දීම ගැන ..?
නළුවෙක්ව රඟපාන්න පුළුවන් කාලේ නළු කමින් ගලවනවයි කියන්නෙ මාළුවෙක් දියෙන් ගොඩට දානව වගේ ඛේදවාචකයක්. මම ලංකාවෙන් ඇවිත් අවුරුදු 17 ක් වෙනවා. ලංකාවෙන් එනකොට වේදිකාවේ, ටෙලි නාට්‍යවල සම්මානයට පාත්‍රවෙලා හිටියේ. ගිනි අවි සහ ගිනි කෙළි වගේ චිත්‍රපටවල රඟපාලා ජනප්‍රීයත්වයේ හිනි පෙත්තටම නැඟලා හිටියා. ඒ සේරම දාල එන්න සිදු වුණා. ඒ කම්පාව අකා මකා ගන්න බැරිව සෑහෙන්න විඳෙව්වා. ඒ සේරම මතක එකතු කරල තමයි “මම ශ්‍රීනාත්” පොත ලිව්වෙ. හැබැයි මම මෙහෙ ආවයි කියල රඟපෑම අතහැරලා දැම්මෙ නෑ. ලංකාවට විටින් විට ගියාම චිත්‍රපටිවල, ටෙලි නාට්‍යවල රඟපෑවා. ලංකාවෙන් මෙහෙ එන නාට්‍යවල රඟපෑවා. මෙහෙ මම නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඒවට ලංකාවෙන් ශිල්පීන් ගෙන්නුවා.
ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක නැවත මවු රටේ පදිංචියට එන්න අදහසක් නැතුව ඇති ..?
මගේ දුව ඉපැදුනේ ඕස්ට්‍රේලියාවේ. එයා ඉගෙන ගන්නෙ මෙහෙ. එයා දන්නෙ ඕස්ට්‍රේලියානු සංස්කෘතිය. එයා නැතිව අපිට ලංකාවට එන්න බෑ. අනික මෙහෙ ජීවිතයට අපි හුරු වෙලා ඉවරයි. එකෙන් මිදෙන්නත් අපිට අමාරුයි. මොන ඝට්ටන තිබුණත් මෙහෙ ජීවිතේ පහසුයි. මේ දවස්වල ලංකාවේ ඉන්න අය මෙහෙ එන්න ක්‍රම හොයනවා. අපිට තේරෙනවා ලංකාවේ ආර්ථික තත්ත්වය. එහෙම දැන දැන කොහොමද මේ පහසුව අතඅරින්නේ.
බිරියද කිව්වේ රංගනයෙන් ඈත් වෙලා විදෙස් ගත වෙමු කියලා ..?
ඒක අපි දෙන්න එකතු වෙලා ගත්තු පොදු තීරණයක්. විශේෂයෙන්ම මට වඩා ලංකාව දාල එන්න බැරි දේවල් තිබුණෙ එයාට. ඒ වෙනකෙට එයා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සහකාර ලේකම්. අපි ගෙවල් දොරවල් හදල ජීවිතේ හොඳට පටන් අරගෙන තිබුණේ. විශේෂයෙන්ම මෙහෙ එන්න තීරණය කළේ බිරියගේ පී.එච්.ඩි එක සඳහා. ඒ ආපු ගමන තමයි නතර වුණේ.
දැන් ඕස්ට්‍රේලියාවේ ජීවිතේට හුරු වෙලා නිසා ලංකාවට එන්න හිතෙන්නේ නැතුව ඇති..?
සරලම උත්තරේ ඔව් කියන එකයි.
සුපිරි රටක ජීවත් වුණාට සුපිරියටම ජීවත් වෙන්න හැල්මේ දුවන්න සිදුවෙලා ඇති, දැන් ඇති කියලා හිතෙන්නේ නැද්ද ..?
දැන් ඇති කියල හිතිල තිබුණා. ඒත් මේ සිද්ධියත් එක්ක තව කාලයක් හැල්මේ දුවන්න වෙනවා. හැබැයි මෙහෙ හැල්මෙ දිව්වට දුක නෑ. නීතිය, සමාජය වගේම මනුස්සයොත් හොඳයි. හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ ක්‍රමවේදයක් අනුවයි. ඒ නිසා සතුටින් මෙහෙ හැල්මේ දුවනවා.
දැන් රංගනයට ආරාධනා ලැබෙන්නේ නැද්ද ශ්‍රීනාත්ට..?
ලැබෙනවා ලැබෙනවා. මං ලංකාවෙන් ආවත් උදයකාන්ත වර්ණසූරියගේ හැම චිත්‍රපටයකම වගේ රඟපාන්න මට අරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය කීපයකම රඟපෑවා. මෙහෙ නාට්‍ය කළා. රේඩියෝ වැඩසටහන් කළා. සංගීත ප්‍රසංග ඉදිරිපත් කළා. මගේ පොත එළිදක්වන උත්සවයට මම ලියපු පිටපතකට අනුව සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්‍ෂණය කළ ‘කුරුලු පිහාටුවක් එවන්න’ කෙටි චිත්‍රපටයේ මම වියපත් චරිතයක් රඟපෑවා.
හම්බකරගත් සේසතම වතුරේ ගියා කියන හැඟිමද ඔබ තුළ තිබෙන්නේ ..?
ඔව්. ඒක බොරුවක් නෙමෙයි. ඒත් මේ සිද්ධිය නිසා අටලෝ දහමේ යථාර්ථය ගැඹුරින්ම අවබෝධ වුණා. ඒත් වැටෙන්නෙ නෑ. ආපහු බිංදුවෙන් පටන් ගන්නවා
මේ කතාබහට ශ්‍රීනාත්ගේ බිරියත් මේ විදිහට උත්තර දුන්නා, ඇය නමින් ශ්‍රියානි ජයවික්‍රම
ඔබ ශ්‍රීනාත්ගේ ආදරණීය බිරිඳ, ඔහුට කලාවෙන් ඈත් වෙන්න සිදු වුණාට ඔබට දුකක් නැද්ද ශ්‍රීනාත් මද්දුමගේ කියන නම හැදුනේ කලාව නිසා. නළුවෙකුට නළුකම අතඅරිනවා කියන්නෙ දිවි නසා ගන්නවා වගේ වැඩක්. එයා මහන්සියෙන් ගොඩනඟා ගත්තු දේවල් අතඇරපු එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඒත් අපේ පවුලේ දියුණුව වෙනුවෙන් එයා ඒ සේරම අතඇරල මෙහෙ ආවා.
ඒ කාලේ ඔහුට ලබුණු රසිකයන්ගේ ප්‍රතිචාර එක්ක ඔබට ඔහු ගැන බයක් හිතුණේ නැද්ද?
රසිකයන්ගෙ ප්‍රතිචාර ගැන නම් බයක් දැනුණෙ නැ. ඒත් රසිකාවියන්ගේ ප්‍රතිචාර ගැන ඕනෑම නළුවෙක්ගෙ බිරියක් නිකමට හරි සසල වෙනව නේද. ඒක ඉතිං මනුස්සයෝ හැටියට අපි කාටත් පොදු දෙයක්. මගේ හිතටත් බයක් ඇති වුණු අවස්ථා තියෙනවා. හැබැයි එයා කවදාවත් පෙම්වතාට රඟපෑවේ නෑ. ඒ මොනව වුණත් අපි දෙන්න අතරේ තිබුණු අවබෝධය විශ්වාසය ඒ දේවල්වලට බලපෑමක් කළේ නෑ. අවිශ්වාසයක් ඇති වෙන විදිහට එයා හැසිරුණෙත් නැහැ. ඒ නිසා ගට්ටන අපි අතර ඒ පැත්තෙන් ඇති වුණේ නැහැ.
දරුවෝ දැන් ලොකු ඇති, ඔවුන් කලාවට ආදරෙයිද, තාත්තා වගේ රඟපාන්න ඕන කියන්නේ නැද්ද ..?
අපේ දුවට දැන් වයස අවුරුදු 11 යි. නම මිනුරි චමත්කා එයාගේ ලාංකේය කලාව ගැන ඒ තරම් ලොකු දැනීමක් නෑ. ඒත් එයා නැටුම් ඉගෙන ගන්නවා. රඟපෑම ගැන ඒ තරම් උනන්දුවක් නෑ. රඟපාන්න ඕන කියලා ආසාවකුත් නැහැ
ශ්‍රීනාත් කියන්නේ අතිශය ජනප්‍රිය තරුවක් ඒ කාලේ, ඔහු ඔබේ ජීවිතේට සමිප වුණේ කොහොමද කියලත් කියමු..
සඳ සාක්කි කියාපුදෙන් ගීතයේ විෂුවල් එක බලලා ඒ විෂුවල් එකට මගේ කැමැත්තක් ඇති වුණා. මම සතුටින් ඉන්න කාලේ තමයි ශ්‍රීනාත්ව මුණගැහෙන්නෙ. ඒකත් අහම්බයක්. එතකොට මම ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් හැටියට වැඩ කරනවා. අපේ අත්කම් ප්‍රදර්ශනයක් බලන්න ශ්‍රීනාත් ආපු වෙලාවක ඔහු එක්ක කතාබහ කළා. පසුව හිතවත්කමක් ඇති වෙලා ඒ හිතවත්කම ආදරයක් බවට පත් වුණා. ඒ ප්‍රේම සම්බන්ධය දුර දිග ගිහිං තමයි විවාහ වෙන්නේ.
තරගකාරී සමාජය එක්ක ජීවත් වෙද්දී දැන් හිතෙන්නේ නැද්ද ලංකාවේ ජීවත් වුණා නම් කියලා ..
අනේ නැහැ. මෙහෙ ජීවිතේ ලංකාවේ වගේ තරගකාරි නැහැ. ලංකාවට ආදරෙයි. ඒත් අපි දැන් මෙහෙ ජීවිතයට හුරු වෙලා අවුරුදු 17 ක්. ලංකාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මෙහෙ ආපු එක ගැන සතුටුයි.
ශ්‍රීනාත් නිළියන් එක්ක කැමරාව ඉදිරියේ ආදරණීය චරිත රඟපාන විට ඔබට මොකද හිතුණේ ..?
එයා කවදාවත් පෙම්වතාට රඟපෑවේ නැති නිසා මට ඒ ප්‍රශ්නෙ ලොකුවට දැනුණේ නෑ. අනික මම රට ලෝකය සමාජය ගැන දන්න නිසා ඒක ගැටලුවක් වුණේ නෑ.
අවසන් වශයෙන් කියන්න ශ්‍රීනාත් වගේ සැමියෙක් ලැබිම ගැන මොකද හිතෙන්නේ
කෙටියෙන්ම කිව්වොත් මම ඇත්තටම තෘප්තිමත්.