කාන්ති මට හමුවුයේ හිරගෙදරදීය මේ කාන්තිගේ කතාවයි | සිළුමිණ

කාන්ති මට හමුවුයේ හිරගෙදරදීය මේ කාන්තිගේ කතාවයි

“මට දුවෙක් ඉන්නවා. ඒ දුවට දැන් අවුරුදු පහළොවක් විතර ඇති.” “ඇයි එහෙම කියන්නේ... පහළොවක් විතර ඇති කියලා.” පසුව ලියමි.

 

කාන්ති සිය දියණිය ගැන කිසිත් නොසිතයි. සිය සොයුරිය අකාලයේ මිය ගියේ සිය සැමියාගෙන් අතවරයට පත්වීමෙන් බව ඇය දනී. ඇය මේ සමාජයටම වෛර කරන මානසික තත්ත්වයක මුල සිටම සිට ඇත. නමුදු දැන් ඇය ඒ කිසිවක් ගැන නොසිතයි. “ජීවිතේ බැඳීම් කියන්නේ මහ වදයක්” ඒ ඇය දවසට දෙතුන් වර මුමුණන එකම වදනයි.

 

 

“මට මතක විදිහට. මට හරියටම මතක නැහැ. දැන් මගෙ වයස අවුරුදු පනස් පහක් ද මන්දා. වෙලාවකට මට ඒකත් අමතකයි. දැන් මම ඔය කිසිම දෙයක් මතකයේ තියාගෙන ඉන්නේ නැහැ. මට දැන් ජීවිතේ කොහොමත් එකයි.

බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඇය එසේ පවසන්නේ වෙනත් කියන්නට දෙයක් නැතිවාක් මෙනි.

ඇය දුටු පමණින් කෙනෙකුට ඇය ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වේ. ඇය බාල වියේදී හැඩකාරියකව සිටින්නට ඇතැයි ඈ දකින ඕනැම කෙනෙකුට සිතෙනු ඇත. දැන් බොහෝ වැහැරුණු සිරුරකට හිමිකම් කියන සීතාගේ උපන්ගම ගාල්ල පැත්තේය. පවුලේ පස්දෙනකු සිටි අතර ඇය සිය පවුලේ දෙවැන්නීය. පාසල් ගොස් ඇත්තේ දෙකේ පන්තියට පමණි.

“ඒ කාලේ අපි ඉස්කෝලේ ගියේ ඕනෑවට එපාවට. අපේ ගමේ කවුරුවත් හොඳට ඉගෙන ගත්තා කියලා නම් මම හිතන්නේ නැහැ. මට බාල නංගි කෙනෙක් හිටියා. මට වැඩිමල් අයියා කෙනෙක් හිටියා. දැන්නම් ඒ ගොල්ලෝ කොහේ ඉන්නවද කියන්න දන්නේ නැහැ. අපේ තාත්තා මට අවුරුදු පහළොවක් විතර කාලෙදි තමයි ගහකින් වැටිලා මැරුණේ. අම්මා අපිව ජීවත් කළේ කොහු මෝලක වැඩකරලා. අයියා පොඩි කාලෙම ගමෙන් පැනලා ගියා. එයා මොනවා කරනවද කියන්න කවුරුවත් දන්නේ නැහැ. අයියා ගමෙන් ගියාට පස්සේ අම්මට මොකක්දෝ අසනීපයක් හැදුනා. නිකම් කල්පනාව අඩුයි වගේ. අන්තිමට මට වුණේ අම්මවයි නංගිවයි දෙන්නවම බලාගන්න. ඒ කාලේ වෙනකොට නංගි ඉස්කෝලේ යනවා. එයත් ඉස්කෝලේ පහට විතර යන්න ඇති. අම්මා ඒ වෙනකොට කොහු මෝලේ රස්සාවෙන් අයින් වෙලා හිටියේ. අන්තිමට අම්මවයි නංගිවයි බලාගන්න ඕන නිසාම මම ඒ මෝලේ රස්සාවට ගියා.

උදේට මොනව හරි හදලා තියලා මම නංගිට අම්මව බලාගන්න කියලා ගෙදරින් යනවා. නංගි මොනදේ නැතත් අම්මා බලාගන්න එකනම් හරියටම කෙරුවා. අවුරුද්දක් දෙකක් මෝලේ රස්සාවට යනකොට තමයි මට සිරිරත්නව හමු වුණේ. එයත් අපේ මෝලෙමයි රස්සාව කළේ. සිරීගේ පවුලේ හිටියේ එයයි අක්කයි විතරයි. සිරිරත්න කලිනුත් විවාහ වේච්ච කෙනෙක්. ඒත් එයාගේ පවුල එයාව දාලා ගිහිල්ලා. ඒ වෙනකොට සිරිරත්නට වයස තිස්පහක් විතර ඇති. මට අවුරුදු විස්සයි. මම දන්නේ නැහැ මගේ හිත හැම වෙලේම සිරිරත්න ගැන හිතුවා.

ටික දවසක් යනකොට මට දැනුණා එයත් මං ගැන හිතනවා කියලා. දවසක් සිරිරත්න අපේ ගෙදර ආවා එයාගෙ අක්කයි, මස්සිනයි එක්ක. ඒ කාලේ වෙනකොට පොඩ්ඩිට වයස අවුරුදු දාසයක් විතර ඇති. අම්මවයි පොඩ්ඩිවයි දැක්කාම සිරිරත්නගෙ හිත වෙනස් වෙයි කියලා මට හිතුණේ. ඒත් එහෙම වුණේ නැහැ. සිරිරත්න කියන්නේ මනුස්සකම පිරුණ මනුස්සයෙක්.

එයාලා මඟුල් තුලා කතා කරන්න ආවට කවුරු කියලා අපිට උදව් කරන්නද, අපේ ලොකු නැන්දා හිටියේ අපිත් එක්කමයි. ඒ කියන්නේ තාත්තාගේ ලොකු අක්කා. එයාට එකම එක දුවෙක් හිටියා. අක්කා විවාහ වෙලා ගමෙන් පිට ගිහින් හිටියේ. මගෙ අම්මයි, තාත්තායි වගේ ඒ වෙලාවේ පෙනී හිටියේ ලොකු නැන්දා.

“ඒ මනුස්සයා එක පාරක් බැඳලා උන්නට මොකෝ කෙල්ලේ. ගෑනි ගියේ මිනිහගෙ වරදක් නිසා නෙවෙයිනේ. ඒ ගෑනිගෙ නොහොබිනාකම නිසානේ. ඔන්න ඔහෙ කැමති වෙයන්. රස්සාවක් තියෙනවා . ගෙයක් දොරක් තියෙනවා. තව මොනවා බලන්නද?”

ඇත්තම කිව්වොත් මටත් සිරීගෙ වැරැද්දක් පෙනුණේ නැහැ. මාසයකට විතර පස්සේ අපි විවාහ වුණා. උත්සව නොගත්තට සිරියි, මමයි රෙජිස්ටාර් නෝනා ළඟට ගිහිල්ලා පොතේ අත්සන් කරලා ගෙදර ආවා.

“අපි මේ ගේ ටිකක් පිළිවෙළක් කරමු නේද කාන්ති.”

සිරී ගෙදර හැමදෙයක්ම තමන්ගේ කරපිට පටව ගත්තේ ඒ විදිහට. දවස දවස අපේ ගෙදර අලුත් වුණා. නංගියි, මමයි දෙන්නම සිරි කියන විදිහට ජීවත් වුණා කිව්වොත් නිවැරැදියි. ඇත්තම කිව්වොත් සිරී අපි දෙන්නට තාත්තා කෙනෙක් , සහෝදරයෙක් වගෙයි බැලුවේ. අම්මා ගැන වුණත් සිරි හොඳට හොයලා බැලුවා. කාලය ගෙවිලා ගියා. පොඩ්ඩිත් කොහු මෝලේ වැඩට ගියා. ඒත් ටික දවසයි. එයා ටවුමේ ගාමන්ට් එකේ රස්සාවට ගියා. ඉඳහිට දවසක සිරි නංගිව බලන්න ගියා.

“පොඩ්ඩි දැන් ගෙදර එන්න කැමැත්තක් නෑ නේද?”

දවසක් සිරී මගෙන් ඇහුවේ අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ.

“ඔව් මටත් එහෙම දැනෙනවා.”

“කවුරු හරි හොයාගෙනද දන්නේ නැහැ.”

දවස් ගාණක් තිස්සේ මගෙ හිතට වද දුන් ඒ ප්‍රශ්නේ සිරීම කිව්වේ මොනවා හරි දැනගෙනද කියලා මට හිතෙන්න ගත්තේ ඒ වෙලාවේ.

ටික දවසක් යනකොට අපි නැති ගානට නංගි වැඩ කරන්න ගත්තේ.

මෝලේ වැඩට ගිය නිසා සිරීට නංගි ගැන හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. අම්මා ඒ වෙනකොට හිටියේ හොඳටම අබලන් ගානේ. දවසක් උදේ ඇහැරෙන කොට අම්මා එයාගේ දුක්ඛිත ජීවිතෙන් මිදිලා තිබුණා. අම්මාගේ අවසන් කටයුතු ඔක්කෝම කළේ සිරී මැදිහත් වෙලා. ඒ දවස් ටිකේ නංගිත් හිටියේ ගෙදරටම වෙලා. මටත් පොඩි පොඩි අපහසුතා දැනෙන්න ගත්තේ ඔය කාලෙදි.

“ඇයි කාන්ති? “ දවසක් උදේක මම වමනය කරනවා දැකලා සිරි මගෙ ළඟටම ඇවිත් ඇහුවා. මට යාන්තම් හිනාවක් ගියා. එදා හැන්දැවේ සිරීගෙ අක්කා, අපේ ලොකු අම්මා ඔක්කොමල්ලා අපේ ගෙදර ආවා.

“අනේ කෙල්ලේ පරිස්සමෙන්”

සිරීගේ අක්කා මගෙ අත අල්ලගෙන එහෙම කිව්වා.

අපේ ජීවිත පුදුම විදිහට සතුටින් පිරිලා තිබුණේ. නංගිටයි, මටයි අලුත්ම ජීවිතයක් ගෙනැත් දුන්නේ සිරි.

මාසය දෙක තුන ගෙවිලා යද්දි සිරී හිටියේ පුදුම සතුටකින්. එයා හැමදේම කළේ අපේ දරුපැටියා වෙනුවෙන්. මේ කාලේ තමයි මට දැන ගන්න ලැබුණේ නංගි ගාමන්ට් එකේ කොල්ලෙක් එක්ක යාළුයි කියලා.

දවසක් මම සිරීට ඔය ගැන කිව්වා.

ඔයාට දරුවා ලැබුණට පස්සේ අපි ඒ ගැන හිතමු කාන්ති. සිරී මගෙ හිස අතගාලා එහෙම කිව්වා.

දවස දවස ගෙවිලා ගියා. මටයි සිරීටයි පුංචි මල් කැකුළියක් ලැබුණා.

අපි දූ ට ‘සමන්මලී‘ කියමු. සිරීගේ යෝජනාවට මමත් කැමති වුණා.

සමන්මලී දූට මාසයක් විතර ඇති මේ සිද්දිය වෙනකොට. පොඩ්ඩි දවසක් ගෙදර ආවේ අඬාගෙන. මම ඇයි කියලා ඇහුවත් උත්තරයක් දුන්නේ නැහැ. මම හැන්දෑවේ සිරී ආවම එයාට කිව්වා. සිරී පොඩ්ඩිගෙන් හැමදෙයක්ම දැනගෙන තිබුණා.

“අපි කොහොම ද අනේ ඒ මනුස්සයව හොයා ගන්නේ” පොඩ්ඩිට කරදර කරපු මිනිහා හොයා ගන්න සිරී වෙහෙසුණා.

ටික දවසක් බොහොම නිසංසලේ ගෙවිලා ගියා. පොඩ්ඩි වැඩට ගියේ නැහැ. ටික දවසකට පස්සේ පොඩ්ඩි වහ බීලා හිටියා නිදි පැදුරෙම. මං දන්නේ නැහැ මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා. සිරී හිටියෙත් මේ ගැන හිතේ අමාරුවෙන්. දවසක් සිරීව හොයාගෙන පොලිසියෙන් ගෙදරට ආවා.

ඒත් සිරී ගෙදර හිටියේ නැහැ.

“කෝ තමුන්ගේ මනුස්සයා”

“දන්නේ නැහැ”

“දන්නේ නැහැ”

“ඔය මිනිහා ගැන අපි බලා ගන්නම්“ පොලිසියෙන් එහෙම කියලා යන්න ගියා. මගෙ හිතට පොඩි සැකයක් ආවා. ඇයි එහෙම වුණේ. මම දවස් ගාණක් කල්පනා කළා. මම දන්නේ නැහැ මගෙ හිතට කොහොම ඒ දේවල් ආවද කියලා. හිතලා හිතලා ඉවරවෙනකොට මගේ හැම සිද්ධියකම අන්තිමට හිටියෙ සිරී.

මට මගෙ දරුවත් එපා වුණා. හැන්දෑවේ සිරී ගෙදර ආවා. මම හැම දෙයක්ම අමතක කරලා එයා එක්ක ඉන්න හැදුවත් මට ඒක කරන්න බැරි වුණා. ගෙයි මුල්ලක හංගලා තිබුණ උල්පිහිය අරගෙන මම සිරීගෙ පපුවට එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම ඇන්නා.

“කාන්ති මට සමාවෙන්න” සිරි අන්තිමට එහෙම කියනවා මට මතකයි. මේ දැනුත් ඇහෙනවා ඇහෙනවා වගේ.

ඒත් මට කවදාවත් ඒ මිනිහට සමාව දෙන්න බැහැ. ඒ මිනිහගෙන් ඉපදුන දරුවවත් මට ඕනෙ නැහැ කියලා හිතුණා.

කොහොම හරි ඒ දරුවා කාගෙ ළඟ හරි හැදෙනවා ඇති. මට දඬුවම් ලැබුණා. දැන් මම විඳවන්නේ ඒ දඬුවම.

 

Comments