ඒ ආදර කතාව නිසා නොවෙයි මම කලාවට සමුදෙන්නේ | සිළුමිණ

ඒ ආදර කතාව නිසා නොවෙයි මම කලාවට සමුදෙන්නේ

මම ෆැෂන් කරන්නේ මට පහසු නම් විතරයි

මම ගහලා තියෙන ටැටූ මගෙ ජීවිතේට සම්බන්ධයි

 

මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන “ලංවී“ ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට අපූර්වා ලෙසින් මුණ ගැහෙන හර්ෂි රසාංගා හදිසියේ ම රංගනයෙන් සමුගන්න තීරණයක් අරන් කියන පුවත සමාජ මාධ්‍ය තුළින් පැතිරෙන නිසාම, ඒ ගැන ඇත්ත නැත්ත දැන ගන්නත් එක්කම රසඳුන සොඳුරු කතාබහකට ඇයව සම්බන්ධ කර ගත්තා.

 

මේ දවස්වල මොකද වෙන්නේ

මේ කාලයේ මම රංගනයෙන් දායක වන එකම ටෙලි නිර්මාණය තමයි හිරු ටීවී ඔස්සේ විකාශය වන ලංවී කියන්නේ. ඉතින් එහි රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

 

කොහොමද ලංවී හි අපූර්වාට ලැබෙන ප්‍රතිචාර

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවේවත් නැති තරමට ප්‍රේක්ෂකයන් අපූර්වා කියන චරිතය ආදරෙන් භාර අරගෙන තියෙනවා.

 

හර්ෂි දැන් කලාවට ඇවිත් අවුරුදු කීයක් ද?

දැන් වසර 11ක්.

 

මේ කාලය ගත්තම අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මම කලාවට ආවේ මට කලාවට එන්න ආසාවක් හීනයක් තිබිලා නෙවෙයි. මට දෙයියෝ දුන්නු තෑග්ගක් වගේ එකපාරට ලැබුණු අවස්ථාවක්. එහෙම ආව ගමනේ අද ඉන්න තැන ගැන මම නිහතමානී සතුටක් ලබනවා. කලාකරුවෙක් විදියට ලබන්න පුළුවන් ඉහළම සම්මානය ප්‍රේක්ෂක ආදරය. මම ඒ ආදරය අද ලබනවා.

 

ඔබට කලාවට එන්න අවස්ථාව ලැබුණු විදිය?

ඒ අවස්ථාව මට ලැබෙන්නේ මමයි ගෙදර කට්ටියයි දවසක හවස් වෙලාවේ විනෝද වෙලා ඇවිදලා එන්න කියලා ගෙදරින් එළියට ගියා. එදා මාව දැකලා කොඩිනේටර් කෙනෙක් ඇහුවා දුවව ටීවී වෙළෙඳ දැන්වීමකට ගන්න පුළුවන් ද කියලා. එදා තාත්ති කැමති වුණා. පළවෙනි දැන්වීම කළාට පස්සේ දිගටම මට වෙළෙඳ දැන්වීම් ලැබුණා. වසර හතරක් විතර කළේ වෙළෙඳ දැන්වීම්. ඊට පස්සේ ලයාල් අයියාගේ මාර්ගයෙන් සිරසේ සුජාතා නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. එතැනින් පස්සේ තමයි මම නට්‍යවලට එන්නේ.

 

දැන් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

සින්දු දෙකක් කරලා තියෙනවා. එකක් යුග ගායනයක්. ඒක නම් ළඟදීම අහන්න ලැබෙයි. තව එකක් තියෙනවා. ඒක මගේ තනි ගීතයක්. ඒක තාම වොයිස් කළේ නැහැ. ඒකත් ඉදිරියේදී අහන්න ලැබෙයි.

 

හර්ෂි කියන්නේ ගොඩක් ෆැෂන්වලට කැමති කෙනෙක් ද?

ඔව්. මම ෆැෂන්වලට කැමතියි. හැබැයි මම ෆැෂන් කරන්නේ මට පහසු නම් විතරයි. ෆැෂන් එක කියලා අමාරුවෙන් ඇඳන් ඉන්න ඇඳුම් නම් මම තෝරා ගන්නේ නැහැ.

 

දැන් ටැටූ කිීයක් තියෙනවද?

ටැටූ 11ක් තියෙනවා.

 

මුලින්ම ටැටූ එකක් කළේ කොයි කාලෙද?

මම සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා මාස හතරකින් පළවෙනි ටැටූ ටික ගැහුවේ.

 

ඔය ටැටූ 11 ජිවිතේ ට සම්බන්ධ ද?

ඔව්. මේ 11ම මගේ ජීවිතේට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ දේවල් තියෙන්නේ.

 

අද වෙද්දී මැකුවා නම් හොඳයි කියලා හිතෙන ටැටූ තියෙනවද?

එහෙම ටැටූ එකක් තියෙනවා. ඒක ටැටූ එකට ආස නැතුව නෙවෙයි. මගේ පළවෙනි ටැටූ ටික කළේ මගේ වයසේම වගේ ගර්ල් කෙනෙක්ගෙන්. එයාට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබ්බේ නැහැ ටැටූ ගැන. දැන් මගේ ටැටූ කරන්නේ පානදුරේ ඩෙවිල්ස් ටැටූ එකෙන්. පරණ ටිකත් එයා පුළුවන් විදියට නැවත හැදුවා. ඒත් එක ටැටූ එකක් තියෙනවා මගේ ශෝල්ඩර් එකේ මගේ ලග්නේ ගහපු ටැටූ එක. ඒක කොච්චර හැදුවත් එකේ තියෙන අඩුපාඩු ටික හදන්න අමාරුයි. ඒ නිසා මම හිතන් ඉන්නවා එතන වෙන ටැටූ එකක් ගහලා. ඒ ටැටූ එක වෙන තැනක ගහන්න.

 

ඔබ ඔබේ මුහුණු පොතට ලස්සන ආදර කතාවක් ලියලා තිබ්බා. ඒ ඔබේම ආදර කතාවද?

ඔව්.

 

ඒ ආදර කතාව නිසා ද කලාවට සමුදෙන්න හිතුවේ

නැහැ. ඒ ආදර කතාව නිසා නෙවෙයි මම කලාවට සමුදෙන්නේ. මම ඇත්තටම කලාවෙන් ටික කාලයකට ඈත් වෙලා මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙන්න හිටියේ ගිය වසරේ මුල. ඒත් මම ලංකාවෙන් යන්න ඉන්න කාලේ තිමිර අයියා කතා කරලා ලංවී නාට්‍යයේ පිටපත දුන්නේ. මම එදා පිටපත බලන්න කලින් කිව්වා මම ලංකාවෙන් යන්න ඉන්නේ කියලා. ඒත් තිමිර අයියා දන්නවා මම සින්දු කියන්න ආසයි කියලා. ඒ නිසා මට කිව්වා පිටපත කියවලා බලලා කියන්න කියලා. ඉතින් ඇත්තටම පිටපත කියෙව්වම මට අපූර්වා චරිතය නොකර යන්න හිතුණේ නැහැ. නාට්‍යය කරන කාලේ තමයි මට මගේ පෙම්වතා හමුවෙන්නේ. බෝයි ෆ්‍රෙන්ඩ් නිසා නෙවෙයි මම කලාවට සමුදෙන්නේ.

 

අපි පෙම්වතා ගැනත් කියමුද?

එයා ගැන පස්සේ කියන්නම්.

 

සිනමාවට කොහොමද දායක වෙන්න ලැබුණු අවස්ථා

උදුම්බරා, සුජාත පුත්‍ර සහ අභිෂේක වගේ චිත්‍රපටවල මම රංගනයෙන් දායක වුණා. තව චිත්‍රපට කිහිපයක් තියෙනවා තිරගත වෙන්නත්. මට සිනමාවට ආරාධනා ලැබුණත් සමහර පිටපත් මගේ හිතට හරි ගියේ නැති නිසා භාර ගත්තේ නැහැ.

 

දුකක් නැද්ද ජනප්‍රියම වෙලා ඉන්න මොහොතක කලාවෙන් ඈත් වීම

ඇත්තම කිව්වොත් මම මෙච්චර කල් කලාවේ හිටියේ මගේ අම්මගේ ආසාවට. මට අවුරුදු 18 වුණාම අම්මා කිව්වා මට කැමති දෙයක් කරන්න කියලා. ඒ නිසා තමයි මම විදෙස්ගතව අධ්‍යාපනය ලබන්න හිතුවේ. ලබන වසරට මට අවුරුදු 20යි. ඒ නිසා මම හිතුවා විදෙස්ගතව ඉගෙන ගෙන එන්න.

Comments