සමහර හීන හැබෑ වෙන්න සෑහෙන්න කල් යනවා | සිළුමිණ

සමහර හීන හැබෑ වෙන්න සෑහෙන්න කල් යනවා

නවසීලන්තයේ සඟරාවලට පෙනී සිටි මුල්ම ශ්‍රී ලාංකිකයා මම

ලංකාවේ තමයි හොඳම රූ රැජනන් ඉන්නේ

සමහර හීන හැබෑ වෙන්න කාලයක් යනවා. තවත් සමහර හීන හැබෑ කරගන්න ගොඩාක් දුර යන්න සිද්ධ වෙනවා. ඇත්තටම ජීවිත ජීවත් කරවන්නේ ඔය කියන හීන පොදිය තමයි. දිරිය සම්පන්න හිතක්, නොසැලෙන අරමුණක් වගේම ශක්ති සම්පන්න අත්වැලක් තියෙනවා නම් කාලයක් ගියත්, හිතේ ගුලිවුණු හීන හැබෑ කරගන්න අසීරු වෙන්නේ නෑ. නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග කියන්නේ ඔය විදිහට තමන්ගේ හිතේ ගුලි කරගත්තු හීන සමුදායම හැබෑ කරගත් අපේ කාලයේ දිරිය කාන්තාවක්.

 

පුංචි කාලේ ඉඳලා හීන හැබෑ කර ගැනීමේ නොතිත් ආශාවත්, අරමුණත් එක්ක ජීවත් වුණු මේ දිරිය කත පසුගියදා නවසීලන්තයේ ලෝක විවාහක රූ රැජන විදිහට අභිෂේක ලැබුවේ ඔය විදිහට එකම අරමුණක් ඔස්සේ නොසැලෙන ආත්මවිශ්වාසයත් එක්ක තමන්ගේ අරමුණ කරා ගිය නිසයි.

එක හීනයක් නෙවෙයි, නිෂීගේ හිතේ එක දිගට හීන පෙළක්ම තිබුණා. කාලයක් ගත වුණත්, කොළඹ ඉඳලා කිලෝමීටර් දසදහසක් දුරක් ගෙවා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචියට ගියාට පස්සේ ඒ හැම හීනයක්ම හැබෑ කරගන්න ඇය සමත් වුණා.

ශ්‍රී ලාංකික කාන්තාවක් නවසීලන්තය නියෝජනය කරමින් විශ්ව විවාහක රූ රැජන තරගයට සුදුසුකම් ලැබුවේ එරට ඉතිහාසයේ පළමු වතාවටයි. මේ ජයග්‍රහණයත් සමඟ ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කිරීමේ විරල භාග්‍ය ඇයට උදා වුණා. කොවිඩ් වසංගතය නිසා පසුගිය අවුරුදු දෙකේදිම මේ තරගය පැවැත්වුණේ නෑ. එනිසාම මෙවර ජයග්‍රාහිකාවන් දෙදෙනකු තෝරා ගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ අනුව එක් ජයග්‍රාහිකාවක් ලබන මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 ලෝක විවාහක රූ රැජන තරගයට සුදුසුකම් ලබද්දී නීෂී ලබන වසරේ නවසීලන්තය නියෝජනය කරන්න සුදුසුකම් ලබාගත්තා. නිෂී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට අප සමඟ සාකච්ඡාවකට එක් වුණේ මේ ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලාංකිකයන් සමඟ බෙදා ගන්නයි.

‘මම උපන්නේ කඩුවෙල රනාල පළාතේ. විවාහ වෙලා නවසීලන්තයේ පදිංචියට යන තුරුම මම ජීවත් වුණේ රනාල ගෙදර. මුලින්ම පාසල් ගියේ බෝමිරිය ජාතික පාසලට. ඊළඟට කලා අංශයෙන් උසස් පෙළ කරන්න කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. ‘ ඇය ‘රසඳුන‘ සමඟ පිළිසඳරට එක්වුණේ එලෙසයි.

“පොඩි කාලේ ඉඳලම මම නර්තනය තමයි වැඩිපුර කළේ. ඒත් මගේ ලොකුම හීනය වුණේ කවදාහරි දවසක ගුරුවරියක් වෙන්න. නැටුම් ගුරුවරියක් වෙන්න තමයි හීන මැව්වේ. ඒත් අන්තිමට ක්ලාස් ටීචර් කෙනෙක් වුණා. ඒත් ඒකට මම කැමතියි. උසස් පෙළ කළාට පස්සේ අධ්‍යාපනවේදී උපාධියක් හැදෑරුවා. ප්‍රසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමවකුත් කළා. ඊට කලින් ගුරු වෘත්තියට අදාළව ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරලයි තිබුණේ.“

පාසල් වියේ සිටම උඩරට නර්තනය හැදෑරු නිෂී ප්‍රවීණ නර්තනවේදි චන්න විජේවර්ධන යටතේ වසර ගණනාවක් නර්තනය ප්‍රගුණ කර තිබූ ඇය විවිධ නර්තන තරග සඳහා රටවල් ගණනාවක සංචාරය කරමින් සිය හැකියාවන් මුවහත් කර ගත්තාය.

“පාසලේදී මම නර්තනයට අමතරව පාසල් වේදිකා නාට්‍ය වගේම ක්‍රීඩාවටත් යොමුවුණා. පාසලේදී මගේ නර්තන ගුරුවරිය වුණේ ස්වර්ණා බස්නායක ගුරුතුමිය. ක්‍රීඩාවේදී මම සමස්ත ලංකා මට්ටමෙන් බැඩ්මින්ටන් හා බාස්කට්බෝල් ක්‍රීඩාවට එක්වුණා. ඒත් ගුරුවරියක වීමේ හීනය නම් හැමදාම හිතේ තිබුණා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මියුසික් වීඩියෝ කිහිපයකට සම්බන්ධ වුණත්, ගුරු වෘත්තියට යොමු වීම නිසා එවැනි කටයුතුවලින් තරමක් ඈත්වෙලයි හිටියේ.“

පාසලෙන් ඉවත්වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය හදාරා පළමුව විදුර විද්‍යාලයෙත්, අනතුරුව ගොතටුව නව නගරයේ ඒෂියන් ග්‍රැමර් පාසලෙත් පන්ති භාර ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය නවසීලන්තයේ පදිංචියට යෑමට පෙර කොළඹ මියුසියස් විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු කළාය.

“මම නවසීලන්තයේ පදිංචියට ආවේ 2015 වසරේදියි. දැනට ඕක්ලන්ඩ් නුවර ෆර්ගර්සන් ඉන්ටර්මීඩියට් පාසලේ 7 වසරේ ගුරුවරිය ලෙස කටයු

තු කරනවා. මම දැන් නවසීලන්තයේ ලියාපදිංචි ‘ඉන්ටර්මීඩියට්‘ ගුරුවරියක්. ඒ අතරතුර NZSL DANCE STUDIO නමින් මගේම නර්තන ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඒ නර්තන ඇකඩමිය ශාඛා තුනක් ඕක්ලන්ඩ් නුවර තියෙනවා. මගේ නර්තන ඇකඩමියේ ශ්‍රී ලාංකික ළමයි වගේම ඉන්දියානු හා නවසීලන්ත දරුවනුත් පුහුණුව ලබනවා. අපි නවසීලන්තයේ විවිධ නර්තන තරගාවලි නියෝජනය කරලා ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. මෑතකදී බොලිවුඩ් ඩාන්සින් ශූරතාව දිනාගන්න අපිට හැකිවුණා.“

ශ්‍රී ලංකාවේදී නිෂීට චිත්‍රපට රංගනයට ඇරියුම් ලැබී තිබුණ ද වෘත්තියෙන් ගුරුවරියක වීම හේතුවෙන් ඇය ඒ සඳහා වැඩි උනන්දුවක් නොදැක්වූ බව සඳහන් කළා. එහෙත් නවසීලන්තයේ දී ඇය කෙටි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ බවත්, ඉන් එක් කෙටි චිත්‍රපටයක් සම්මානයට පාත්‍ර වූ බවත් කියා සිටියා.

“මේ වසරේ ‘IMDb ග්ලෝබල් චිත්‍රපට උලෙළේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි කුසලතා සම්මානය ලැබුණේ මම රඟපෑ Unchained කෙටි චිත්‍රපටයටයි. ඒක ගෘහස්ථ හිංසනය තේමාව කරගත් චිත්‍රපටයක්. මේ සියල්ල මැද මම ගොඩාක් සමාජ සේවා යුතුවල නිරත වෙනවා. ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ වැඩසටහන්වලට වගේම කාන්තා රැකවරණය සම්බන්ධ වැඩසටහනකටත්, නවසීලන්තයේ පියයුරු පිළිකා පදනමටත් සම්බන්ධව කටයුතු කරමින් ඉන්නවා.“

ඇයට රූ රැජන තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කිරීම නිසයි. ඇය නවසීලන්තයේ විවිධ මෝස්තර නිරූපණ ප්‍රදර්ශන රැසකට සහභාගි වී ඇති අතර, එරට විවිධ සඟරාවලට ද පෙනී සිටීමේ අවස්ථාවත් හිමි විය.

“නවසීලන්තයේ සඟරාවලට පෙනී සිටි මුල්ම ශ්‍රී ලාංකිකයා මමයි. ඒ අවස්ථාව ලැබුණේ මෝස්තර නිරූපණයට සම්බන්ධවීමෙනුයි. ඊළඟට මම නවසීලන්තයේ විවාහක ශ්‍රී ලාංකික රූ රැජන තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවා. මෙහේ පදිංචියට එන හැම රටකම කාන්තාවන්ට එවැනි රූ රැජන තරග පැවැත්වුණා. ඒ තරගවලින් ජයග්‍රහණ ලැබූ අය තමයි ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. මේ තරගයට තරගකාරියෝ 70ක් ඉදිරිපත් වුණා. ඊළඟට 25 දෙනාගේ වටයටත්, අවසන් 11 දෙනා අතරටත් මම සුදුසුකම් ලැබුවා“

නිෂීගේ මව චිත්‍රා කාන්තා රණතුංග. ඇය විවිධ රූ රැජන තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ අත්කර ගත් කාන්තාවක්. නෂීගේ පියා පිළිකා රෝගයට ගොදුරු වී ජීවිතයෙන් සමුගත්තේ ඇය උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදියි.

“අපේ පවුලේ බඩ පිස්සි මමයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අක්කා නිම්නි තුෂාරි. පොඩි අක්කා නිදුෂිකා තුෂංගි. ඒ දෙන්නම ඉන්නේ ලංකාවේ.“

නිෂී ඕක්ලන්ඩ් නුවර වගේම නවසීලන්තය පුරා අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය නවසීලන්තයේ හොඳම මෝස්තර නිරූපිකාව ලෙසත්, සමාජ මාධ්‍යජාලා අතර ජනප්‍රියතම පුද්ගලයා ලෙසත් සම්මානය දිනාගත් අතර, මෑතකදී නවසීලන්ත ප්‍රජාව අතර නර්තනය ප්‍රචලිත කිරීම උදෙසා සංස්කෘතික විශිෂ්ටත්වයේ සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා. එම සම්මානය පසුගියදා ඇයට පිරිනමනු ලැබුවේ ඕක්ලන්ඩ් නගරාධිපති පිල් ගොෆ් විසිනුයි.

“පොඩි කාලේ ඉඳලා මට හීන ගොඩාක් තිබුණා. ලංකාවේදී ඉටු කරගන්න බැරිවුණු ඒ වගේ ගොඩාක් හීන මම මෙහිදී හැබෑ කරගත්තා.“ ඇය සිනාසෙමින් එසේ කීවා.

නවසීලන්ත ලෝක විවාහක රූ රැජන ලෙස අභිෂේක ලැබීමට ඇය සූදානම් වූයේ වසරක පමණ කාලයක සිටයි. ඇගේ ඊළඟ ඉලක්කය නවසීලන්තය නියෝජනය කරමින් විශ්ව විවාහක රූ රැජන තරගයට සහභාගි වීමයි. මේ දිනවල ඇය ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවත් කියා සිටියා.

“ඊට කලින් ලංකාවට ඇවිත් යන්න එනවා. මට අපේ අයගෙන් උපදෙස් ටිකක් ගන්න ඕනකම තියෙනවා. ලංකාවේ තමයි හොඳම රූ රැජනන් ඉන්නේ. තරගකාරීත්වයක් අපේ රටේ තමයි වැඩිපුර තියෙන්නේ. අපේ රටේ ගොඩාක් කාන්තාවන්ට විවිධ හැකියාවන් පිහිටලා තියෙනවා. නවසීලන්තයේ කාන්තාවන් එහෙම නෑ. එයාලාට එක ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්නකොට තවත් ක්ෂේත්‍රයක වැඩ කරන්න අපහසුයි. ඔවුන්ට ඒක පිහිටලා නෑ. ලංකාවේ කාන්තාවන් නම් හැම අතින්ම දක්ෂයි. ලංකාවේ මෝස්තර නිරූපන කලාව කිව්වම අම්ම තාත්තලා ටිකක් බයයි. සමහරවිට ඒ ක්ෂේත්‍රයේ අනාරක්ෂිතකම නිසා වෙන්න ඇති. ඒත් නවසීලන්තයේ නම් කාන්තාවට අසීමිත නිදහසක් තියෙනවා. ආරක්ෂාවත් අන්තිම ඉහළයි.

අපේ රටේ කාන්තාවන් ස්වාධීන වෙන්න ඕනෑ. හැබැයි නිවැරැදි පැත්තට. ඒත් එයාලට තියෙන අනාරක්ෂිතභාවය නිසා ගොඩාක් අවස්ථා ඇහිරිලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒ නිසා මෝස්තර නිරූපණය, රංගනය, රූ රැජන තරගවලට සහභාගීත්වය අඩු මට්ටමකයි තියෙන්නේ. හැබැයි මේවා තමයි ගැහැනු ළමයින්ගේ හීන. ඒ හීන හැබෑ කරගන්න පුළුවනි. අපේ රටේ කාන්තාවන් විවාහයෙන් පස්සේ තමන්ගේ රූ සපුව ගැන හිතන්නෙම නැති තරම්. ඒ ගැන උනන්දුවක් දක්වන්නෙම නැති තරම්. නවසීලන්තයේ නම් ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරනවා. විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සෙත් තමන්ගේ රූ සපුව ගැන අවධානය, උනන්දුව යොමු කරන්න ඊට කලින් වෙනම උපදෙස් සපයන්නත් කටයුතු කෙරෙනවා. මම නම් කියන්නේ ඉස්සරවෙලා තමන් තමන්ට ආදරය කරන්න ඕනා අනිත් අයට ආදරය කරන්න කලින්.

ලස්සන කියන්නේ රූ සපුවම විතරක් නෙවෙයි. ඒ පසුබිමේ තවත් අංශ ගණනාවක් තියෙනවා. සමහර කාන්තාවන් මිටියි. තවත් සමහර අය මහතයි. එහෙම වුණා කියලා රූ රැජන තරගයකට ඉදිරිපත් වෙන්න කිසිම බාධාවක් නැති බවත්, ඒ ගැන හිතලා පසුතැවිලි වෙන්න අවශ්‍යතාවක් නැති බවත් කියන්නම ඕනා. මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණය අත්කරගත්තු නවසීලන්ත විවාහක රූ රැජන තරගයට මිටි අය වගේම මහත අයත් ඉදිරිපත් වෙලා හිටියා. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. අපි තරගවලට සහභාගි වෙන්න ඕන දිනන්නම බලාගෙන නෙවෙයි. සහභාගීත්වය තමයි වැදගත්. අපිට අපේම කියලා යම් ගරුත්වයක් සමාජය ඉදිරියේ ඇතිකර ගැනීමයි වැදගත් වෙන්නේ.“ නිෂී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එසේ පණිවිඩයක් දීමටත් අමතක කළේ නෑ.

නිෂීගේ ආදරණීය සැමියා ගයාන් කසුන්. ඔහු පරිඝනක තාක්ෂණ ඉංජිනේරුවකු ලෙසයි රැකියාව කරන්නේ. නිෂී කියන්නේ සිය ජීවිතයේ සියලු ජයග්‍රහණ පසුපස සිටින්නේ ඔහු බවයි. සිය ජයග්‍රහණයේ පසුපස සිටිමින් ඇය දිරිගැන්වූ නවසීලන්ත විවාහක රූ රැජන තරගයේ අධ්‍යක්ෂිකා Anna Marie Parrant ටත් සිය ස්තූතිය පුද කරන්න ඇය අමතක කළේ නෑ.

ඇය සිඟිති දියණියකගේ මවක්. ඇගේ පස් හැවිරිදි දියණිය ඩියැංකා මිහේලි දැන් සිටම නර්තනයට වැඩි කැමැත්තක් දක්වන බව ඇය කියනවා.

“සමහර හීන හැබෑ වෙන්න සෑහෙන්න කල් යනවා. ඒත් ඒ හීනයේ එල්ලිලා ඉන්නවා නම් කවදහරි දවසක හැබෑ කරගන්න අවස්ථාව ලැබෙනවා. මට ලැබුණේ ඒ වගේ අවස්ථාවක්. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි ඒ පාර හදාගන්න ඕනා. තමන්ගේ අරමුණ කවදාවත් අමතක කරන්න එපා. මගේ ජීවිතයේ සාර්ථකත්වය ඒකයි.“

 

Comments