
එයා මගේ හැකියාව නැති වෙන්න දෙන්නෙවත් මට සීමා දාන්නෙවත් නැහැ
මම කැමැතියි හැමදාම එකම චරිතයකට කොටු නොවී වෙනස් වෙනස් චරිත කරන්න
මට ලොකු ජනප්‍රියත්වයක් නැහැ. හැබැයි මට ආදරය කරන පිරිසක් ඉන්නවා
රංගන ශිල්පිනියන්ට ක්ෂේත්‍රය තුළ තමන්ගේ පැවැත්ම නිසි ලෙස ආරක්ෂා කරගන්න පහසු නෑ. අශිකා මතසිංහ කියන්නේ ක්ෂේත්‍රය තුළ තමන්ගේ පැවැත්ම සීරුවට ගොඩනඟා ගත්ත කෙනෙක්. අද කතාබහ අය සමඟයි.
මේ දවස්වල ඔබව වෙනස් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙනවා. ඒ හමුවීම ගැන මුලින්ම කියමු?
හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයෙන් මාව මේ දවස්වල වෙනස් විදිහට මුණගැහෙනවා. කවුරුවත් හිතුවේ නෑ මට මිනෝලි වගේ නපුරු චරිතයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම සාමාන්‍ය ජීවිතයේ එහෙම නපුරු චරිතයක් නෙමෙයි. ධනුෂ්ක රත්නායක තමයි මට මුලින්ම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ. මම රංගන කටයුතුවලින් ටිකක් විවේකයක් ගන්න හිතනකොටම මට හොඳ වැඩකට ආරාධනා ලැබෙනවා. හිත ළඟ හිනැහුණා කියන්නෙත් ඒ වගේ මාව වෙනස් කරන්න ලැබුණ හොඳ චරිතයක්.
ඔබ සැබෑ ජීවිතේ මවක්. නමුත් මේ නිර්මාණයේදී ඔබට ලොකු පුතෙකුගේ මවු භූමිකාව රඟපාන්න සිදු වෙද්දි අභියෝග තියෙන්න ඇති?
මට මේ චරිතය අභියෝගයක්. මොකද මේ වගේ චරිතයක් කරන්න පුළුවන් වෙයිද කියලා මටවත් අදහසක් තිබ්බේ නෑ. හැබැයි මහේෂ් අයියගේ පිටපත තුළ ඒ චරිතයට අවශ්‍ය දේවල් සියල්ල ගැබ් වෙලා තිබ්බා. ඒ වගේම මේ නාට්‍ය කලින් අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායක වගේම දැන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන ප්‍රදීප් රසංගගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මාත් එක්ක රඟපාන සියලු දෙනාගෙන් ලැබුණ සහයෝගය නිසා මට ඒ චරිතය සාර්ථකව ගොඩනඟන්න හැකියාව ලැබුණා. අභියෝගයක් තිබ්බත් මම හිතනවා මට ඒ චරිතයට අවශ්‍ය සාධාරණය කරන්න පුළුවන් වුණා කියලා.
සමහර තරුණ රංගන ශිල්පිනියන් පුංචි තිරයෙදි මවගේ භූමිකාව නිරූපණය කරන්න මැළි වෙනවා. ඔබ මවකගේ චරිත නිරූපණයට මැළි වුණේ නැද්ද?
මගේ යාලුවොත් මට බණිනවා ඇයි අම්මා කෙනෙක්ගේ චරිත කරන්නේ කියලා. ඒත් මම කැමැතියි හැමදාම එකම චරිතයකට කොටු නොවී වෙනස් වෙනස් චරිත කරන්න.
එක චරිතයක් කළාම එවැනිම චරිතවලට රංගන ශිල්පීන්ව ශිල්පිනියන්ව කොටු වෙන පසුබිමක් අපි දකිනවා. ඔබව ඉදිරියේදී මවු භූමිකාවලටම කොටු වෙයිද?
එහෙම කොටු වෙන අවස්ථා තියෙනවා. දැනටමත් එහෙම වෙලාද මන්දා. ලැබෙන චරිතනේ, අපිට කරන්න වෙන්නේ. ඒත් ලැබෙන හොඳ චරිතයක පුංචි පුංචි හරි වෙනස්කම් කරන්න අපිට පුළුවන්.
රංගන කටයුතුවලින් නිවාඩු ගන්න හිතුණා කියලා ඔබ කිවුවා. ඇයි ඒ?
මම පවුල ගැන ගොඩක් හිතන කෙනෙක්. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම රංගනයට ගොඩක් කාර්යබහුල වෙන්න ගත්තොත් පවුලයි රංගනයයි සමබර කර ගන්න බැරි වෙයිද කියලා මට බයක් දැනෙනවා. මගේ ගෙදර සේවිකාවෝ නැහැ. මට ගෙදර වැඩ වෙනුවෙනුත් ලොකු කාලයක් වෙන් කරන්න වෙනවා. පහුගිය කාලේ රෑ වෙනකල් මට රූගත කිරීම්වලට ඉන්න සිදු වුණ අවස්ථා තියෙනවා. එහෙම ගොඩක් මහන්සි වෙලා මම අසනීපත් වුණා. ඒ නිසා තමයි හිතුවේ කාලෙකට එක නිර්මාණයක් කරලා ඉන්නවා කියලා. ඒත් එහෙම විවේක ගන්න හිතද්දිම හොඳ වැඩවලට ආරාධනා ලැබෙනවා.
සැමියා ඔබේ රංගන ගමනට ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. ඒ ශක්තිය එදා වගේම අදත් ලැබෙනවද?
ඔව්. මම අසනීප වුණ වෙලාවේනම් එයා කිවුවා මහන්සි නොවී ගෙදරට වෙලා ඉන්න කියලා. එහෙම කිවුවෙත් මං ගැන හිතලා මිසක් එයාට මගේ රංගන ගමන නතර කරන්න හිතිලා නම් නෙමෙයි. එයත් කලාවට ආදරෙයි. එයා මගේ හැකියාව නැති වෙන්න දෙන්නෙවත් මට සීමා දාන්නෙවත් නැහැ. මම තමයි අම්මා කෙනෙක් විදිහට හිතලා මට ගැළපෙන සීමාවන් දාගෙන ඉන්නෙත්.
ඔබේ දුවයි පුතාලා දෙන්නයි කලාවට නැඹුරුද?
මගේ දුව දැන් හත වසරේ. ලොකු පුතා හය වසරේ. බාල පුතා දෙක වසරේ. එයාලටත් කලා හැකියාව පිහිටලා තියෙනවා. එයාලා තුන් දෙනාම වෙළඳ දැන්වීම්වලට, ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉගෙනීම් කටයුතු කරලා කැමැති මාවතක් එයාලා තෝරා ගනියි.
ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියලා විශ්වාස කරනවද?
මාව දන්න හඳුනන පිරිසක් ඉන්නවා. එළියට ගියාම මුණ ගැහෙන අය කියන දේවලින් මාව විවිධ චරිතවලින් ඒ අය හඳුනගෙන ඉන්නවා කියලා දැනෙනවා. මාව හඳුනන්නේ නැති අයත් ඇති. මටම සමහර අය කියනවා ඔයා වගේ කෙනෙක් අම්මා කෙනෙක්ගේ චරිතයක දැක්කා කියලා. ඒ මම කියලා සමහරු දන්නේ නැහැ. මට ලොකු ජනප්‍රියත්වයක් නැහැ. හැබැයි මට ආදරය කරන පිරිසක් ඉන්නවා.
ඔබ දරුවන් තිදෙනෙක්ගේ මවක් වෙලත් ඔය තරම් සුන්දරව ඉන්න රහස මොකක්ද?
මං හිතන්නේ ඒක පිනක්. මම රූපය ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒත් ඉදිරියෙදි රූපය ගැන හිතන්නත් කාලය වෙන් කරන්න ඕනේ.