මම අමුතු නහරකාරයෙක් | සිළුමිණ

මම අමුතු නහරකාරයෙක්

දැන් මට මාරයා එක්ක වුණත් සටන් කරන්න පුළුවන්

තිබ්බ කලකිරීම් එක්ක මම අලුත් නිර්මාණ කළෙත් නැහැ

 

සිතට හොරා මං“ ගීතයෙන් රසිකයන් දිනාගත්ත රහල් අල්විස් කාලයක් ක්ෂේත්‍රයේ නිහඩතාවය රැක්කා. වැටිච්ච තැන්වලින් නැඟිටලා දුර ගමනක් යන්න ශක්තිමත් වෙලා ඉන්න රහල්ගේ ජීවිතයේ විශේෂ සැමරුමක් පසුගියදා සිද්ධ වුණා. විවාහ ජීවිතයේ ලස්සන පිටුවක් පෙරළන්න රහල් එක්ක දෑඟිලි බැඳුණේ සෙව්වන්දි ජයවීර. ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියක්.

 

රහල් ජීවිතයේ අලුත් ආරම්භයක් තියලා.

ඔව්. මගේ ජීවිතේ තවත් එක් කඩඉමක් මගේ විවාහය. අලුත් හොඳ ආරම්භයක් එය.

වැඩි සද්ද බද්ද නැතුවම විවාහ වෙන්න හිතුවේ?

මම සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ මඟුලකට මළ ගෙයකට යන කෙනෙක්. ගොඩක් යාලුවෝ අහනවා ඇයි වෙඩින් එක කිව්වේ නැත්තේ කියලා. ඉක්මනින් විවාහය සැලසුම් කළ නිසා ළඟම නෑදෑයෝ ටික එක්ක තමයි විවාහය සැමරුවේ. ළඟදි යාලුවන්ට සහ හිතවතුන් එක්ක විවාහය සමරන්නත් හිතාගෙන ඉන්නවා.

සෙව්වන්දිව ඔබට මුණ ගැහුණේ කොහොමද කියලා කියමු?

විවාහ යෝජනාවක් අනුව තමයි මට ඇයව මුණගැහෙන්නේ. මගේ අම්මා තමයි ඇයව මට හොයලා දුන්නේ. විවාහ යෝජනා කිහිපයක්ම බැලුවා. ඒ අතරින් සෙව්වන්දිට තමයි හිත ගියේ.

කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නොවුණ සෙව්වන්දිව විවාහයට තෝරාගන්න විශේෂ හේතු තිබෙන්න ඇති?

මම ඇයව මුලින්ම දැක්කේ ඡායාරූපයකින්. ඇය දකිද්දි මාල කරාබු තියා මේකප් එකක්වත් නැතුව හරි චාම් විදිහට තමයි හිටියේ. සජීවීව දකිද්දිත් ඒ සරලකම ඒ විදිහටම ඇයගෙන් දැක්කා. මම උපරිම ෆැෂන් කරන කෙනෙක්. හැබැයි එයා ලොකුවට ෆැෂන් කරන්නේ නෑ. සෙව්වන්දිගේ චාම්කමට තමයි මුලින්ම කැමැති වුණේ.

ඔච්චර ෆැෂන් කරන රහල් ඇයි චාම් බිරියක් හෙව්වේ?

ඒකෙත් පොඩි ආට් එකක් තියෙනවා. ඒක අමුතු ආට් එකක්. එයත් ඒ සරල විදිහට කැමැති කෙනෙක්. මම බලෙන් ඇයව හැදුවේ නැහැ. හැබැයි මං ඒ විදිහට කැමැති වුණා.

සරලකම විතරක්ම ද ඔබ සහකාරියගෙන් බලාපොරොත්තු වුණේ?

යෝජනාවකින් විවාහ වෙද්දි නම් මුලින් මම ලොකු ලොකු දේවල් හිතන් හිටියා. ලොකු දේපළක් තියෙන්න ඕනේ. වාහනයක් තියෙන්න ඕනේ. ලස්සන රූපයක් තියෙන්න ඕනේ වගේ එක එක දේවල් ගැන හිතාගෙන හිටියා. පස්සේ මම හිතුවා මම සල්ලි හම්බ කරනවනේ. මට ඕනේ මම හම්බ කරන දේ අරපරිස්සම් කරන මාව හරි පාරේ එක්ක යන, මට ශක්තියක් වෙන කෙනෙක් කියලා. අන්න ඒ කෙනා තමයි මට මුණගැහුණේ. මම සෙව්වන්දිව හොඳට අධ්‍යයනය කළා. මට ටිකක් තරහා යනවා. අමුතු නහරකාරයෙක් මම. ඒ නිසා මාත් එක්ක ජීවත් වෙද්දි හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. මාත් එක්ක ජීවත් වෙද්දි ඉවසීම තමයි අංක එකට තියෙන්න ඕනේ දේ. ඊට අමතරව කරුණාවන්තකම, බුද්ධිමත්කම එයාට පිහිටලා තියෙනවා. මට ලැබෙන ආකර්ශනය, රසික ආදරය නිරවුල්ව තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ඇයට තිබෙන එක ලොකු දෙයක්.

සෙව්වන්දි ඔබේ රසිකාවියක් නෙමෙයිද?

අධ්‍යාපන කටයුතු සහ වෘත්තීමය ජීවිතයේ කටයුතු එක්ක කාර්‍යබහුල වෙලා හිටපු නිසා එයා කලාව පැත්ත ගැන ලොකු අවධානයක් දීලා තිබ්බේ නෑ. එයා සින්දු අහන කෙනෙක් නෙමෙයි. මම ගායකයෙක් කියලා එයා මුලින් දන්නෙත් නෑ. සෙව්වන්දි මගේ රසිකාවියක් වුණා නම් මං එයාව ජීවිතයට තෝරාගන්නේ නැතිවෙයි. මොකද එහෙම වුණා නම් ප්‍රසිද්ධිය ගැන හිතලානේ මාත් එක්ක විවාහ වෙන්නේ.

රහල් බිරියට සීමා දාන කෙනෙක් ද?

කොහේ හරි තැනකට යද්දි එයාගේ ඇඳුම් පැලඳුම් කොයි වගේ වෙන්න ඕනෙ ද කියලා මමත් හිතනවා. හැබැයි මම නීති දාන්නේ නෑ. එයාගේ විදිහට ලස්සනට එයාව තියනවා. එහෙම නැතුව සීමාදාලා නම් නෑ.

ඔබ ලොකු කාලයක් කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියා. ඇයි ඒ?

මම අවුරුදු තුනක් විතර ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියා.

පෞද්ගලික ප්‍රශ්න සහ එක එක ප්‍රශ්න එක්ක තමයි මම ඒ තීරණය ගත්තේ. මගේ වාහන නැති වුණා. සල්ලි නැති වුණා. මාව බිංදුවටම වැටුණා. ලයිට් නැති, හරියට හෝන් එකක්වත් නැති ත්‍රීවීල් එකක යන තත්ත්වයට මාව වැටුණා. හැබැයි මම එතනින්ම ගොඩ ආවා. දැන් මම සැලෝන් එකක් පටන් අරගෙන මගේ මට්ටම හදාගෙන යනවා. සැලෝන් එක පටන් ගනිද්දි මම කතුරක්වත් හරියට අල්ලගන්න දන්නේ නෑ. හැබැයි මම හියුමන් හෙයාර් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා ඒ ක්ෂේත්‍රය මම තෝරාගත්තා. මම ආයෙත් යම්කිසි මට්ටමක් හදාගෙන තියෙනවා. දැන් මට මාරයා එක්ක වුණත් සටන් කරන්න පුළුවන් හයියක් තියෙනවා.

වැටිච්ච කාලේ කලාවෙන් ගොඩ එන්න හිතුණේ නැද්ද?

කලාව ගැනත් මට ඇත්තටම කලකිරිලා තිබ්බේ. දැන් හැමෝම ගායකයෝ. එයාලට කිසිම ප්‍රතිපත්තියක් නෑ. මම මාව හදාගත්තේ තනිවම. කලාකරුවා කියන්නේ වෙනස්ම චරිතයක්. ඒ වෙනස්කම දැන් අයගේ බොහෝ වෙලාවට දකින්න නැහැ. තිබ්බ කලකිරීම් එක්ක මම අලුත් නිර්මාණ කළෙත් නැහැ.

ඉදිරියෙදි ඔබව අලුත් නිර්මාණවලින් හමුවෙයි නේද?

2023දී මම මාව ආයෙත් එළියට ගේන්න ඕනේ. මම තනිවම ගොඩනැඟුණ කෙනෙක්. ආයෙත් මාව ගොඩනඟන්න වෙන්නෙත් තනිවම. 2019 ඉදන් සැලසුම් කරගත්ත වැඩ ටිකක් තියෙනවා. මගේ ගීතවල ඔක්කොම දේවල් මම සැලසුම් කරන්නේ. ඒ නිසා නිර්මාණ හරියට කරලා ලබන අවුරුද්දේදි ගීත තුනක් විතර රිලීස් කරන්න ඉන්නේ.

 

 

Comments