තරු පහේ හෝටලයකට පළමු වරට යන විට මතක තබා ගත යුතු කරුණු | සිළුමිණ

තරු පහේ හෝටලයකට පළමු වරට යන විට මතක තබා ගත යුතු කරුණු

තරු හෝටලයක රැයක් ගත කරනවා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්නයක්. කොතරම් ආසාවක් තිබුණත් එසේ නැවතී සිටීම තම පොකට් එකට දරා ගත නොහැකි ගැටලුවක් වනවාට සැකයක් නැත. නමුදු සාමාන්‍ය ජනයාට නුහුරු නුපුරුදු අත්දැකීමක් විඳ ගැනීමේ දී අපහසුතාවන්ට පත්වීමත් ස්වාභාවිකය. එම අපහසුතාවන්ගේ මිදී සිතැඟි පරිදි එම අත්දැකීම විඳ ගැනීම උපකාරී වන කරුණු ගැනයි අද අප ඔබට හඳුන්වා දෙන්නේ.

 

1. පැමිණීම සහ ලියාපදිංචි කිරීම

ඔබ තමන්ගේම වාහනයකින් හෝටලයට පැමිණෙන්නේ නම් එය නිසි ස්ථානයක නැවතීම හෝ අදාළ ස්ථානයේ ගාල් කිරීම ඉතා වැදගත්. බොහෝ තරු පන්තියේ හෝටල්වල ඔබේ වාහනය සුදුසු ස්ථානයක නතර කරන්න පුහුණු රියදුරෙක් සිටිනවා. මෙම පුද්ගලයා හඳුන්වන්නේ වැලෙට් කියලා. ඔබේ ගමන් මලු ආදිය වාහනයෙන් ඉවතට ගත් පසු වාහනය ගාල් කර, යතුර ඔබට ගෙනැත් දීම තමයි ඔහුගේ සේවය. සාමාන්‍යයෙන් මේ සඳහා පොඩි ‘ටිප්‘ එකක් ලබාදීම තමයි සාමාන්‍ය සිරිත. ඊට පස්සේ ඔබ මුලින්ම ඇතුළු වෙන්නේ හෝටල් ලොබි එක වෙතයි. ඔබ හෝටලයට භාර ගැනීම සහ ලියාපදිංචි කිරීමේ පියවර තමා මෙතැනදී විශේෂයෙන්ම සිදු වෙන්නේ. තරු පහේ හෝටලයකින් බොහෝ විට ඔබට ‘වෙල්කම් ඩ්‍රින්ක්‘ එක ලැබෙනවා. ඔබට දහදිය දා තිබෙන බවක් පෙනේ නම් මුහුණ, බෙල්ල, අත් පිස ගන්න සමහර අවස්ථාවල සීතල කරපු ෆේස් ටවල් එකකුත් ඔබට ලැබේවි. ඊට පස්සේ ලියාපදිංචියට අවශ්‍ය විස්තර පිරවීම සඳහා කාඩ් එකක් ඔබට ලැබේ. එය නිවැරැදිව පුරවා පිළිගැනීමේ කවුන්ටරය වෙත භාර දෙන්න. ඊට පසුව ඔබට පුළුවන්. සාමාන්‍යයෙන් තරු පහේ හෝටලයක පිළිගැනීමේ කවුන්ටරය ෆ්‍රන්ට් ඔෆිස් කියලා හඳුන්වනු ලබනවා. ඉන් පසුව ඔබට කාමරේ යතුර ලෙස ක්‍රියා කරන කාඩ් පත ලැබේවි.

2. යතුරු කාඩ් පත භාවිතය

මේ වනවිට තරු පන්ති හෝටල් සියල්ලේම වගේ දොර අගුල් ක්‍රියාත්මක වීම සඳහා RFID තාක්ෂණය සහිත කාඩ්පතක් භාවිත කිරීම සිදුවේ. මේ නිසා සාමාන්‍ය යතුරක් වෙනුවට ඔබට ලබා දෙන්නේ කාඩ් පතක්. හෝටලයට පැමිණෙන සෑම අලුත් සංචාරකයෙක්ම ලියාපදිංචි කරන මොහොතේ අලුත්ම RFID කේතයක් එයට ඇතුළත් කෙරේ. මේ නිසා එය කොපි කළත් කිසිවකුටත් ඉන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. යතුර ලෙස භාවිත කරන කාඩ්පත්වලට අමතරව ඔබේ ගමන් මලුවලට ද කාමර අංකය සහිත කුඩා ටැග් එකක් භාවිත කෙරේ. ඔබේ ගමන් මලු කාමරය වෙත ගෙන ඒම සාමාන්‍යයෙන් bell boy කෙනෙක්ට තමයි පැවරෙන්නේ. ඔහුටත් කුඩා ටිප් එකක් දෙන්න අමතක කරන්න එපා. කාඩ්පත භාවිත කළ යුතු ආකාරය පිළිබඳව බොහෝ විට ඔබේ දොරේ පැහැදිලි උපදෙස් දැකගන්න පුළුවන්. දොර අගුල අසල තිබෙන අදාළ ස්ථානයට කාඩ්පත ළං කළ විට දොර විවෘත වීම සිදු වේ. ඉන්පසු කාමරය ඇතුළත කාඩ්පත දැමීමට කුඩා පොකට් එකක් දැකගන්න පුළුවන්. බොහෝ තරු හෝටල් කාමරවල ඒ. සී එක, entertainment සිස්ටම් එක, ශීතකරණය ආදී විදුලි උපාංග ආදිය ක්‍රියාත්මක වන්නේත් ඔබේ යතුරු කාඩ්පත එම පොකට් එකට දැමීමෙන් පසුවය.

3. කාමරයේ ඇතුළත පහසුකම්

මේ අතරින් වෝඩ්රොබ් එක ගැන සඳහන් කළොත් සාමාන්‍යයෙන් කාමරය තුළදී භාවිත කිරීමට අවශ්‍ය ඇඳුම්, පාවහන් ආදිය තිබෙන කබඩ් එකක්. විශේෂ කරුණක් ලෙස මේ තුළ පින් එකක් සෙට් කර ලොක් කළ හැකි ආරක්ෂිත සේප්පුවක් අන්තර්ගතයි. ඔබේ මුදල්, ආභරණ ඇතුළු වටිනා දේවල් තබා ගැනීමට මෙය උපයෝගී කරගන්න පුළුවන්. මේ වෝඩ්රොබ් එක තුළ ඔබේ භාවිතයට ගත හැකි බාත්රොබ් එක තිබේ. නෑමෙන් පසු වගේම කාමරය තුළ විවේකීව ගත කරන අවස්ථාවලත් මෙය භාවිතයට ගන්න පුළුවන්. අවශ්‍ය තරම් ටවල්ස් සහ නාන කාමරයට යන අවස්ථාවල භාවිතය සඳහා සැහැල්ලු රෙදි, පාවහන් ආදිය ද මේ වෝඩ්රොබ් එකේ තිබේ. මීට අමතරව හකුළන ලද ටවල් එකකට සමාන පාපිස්නාවකුත් නාන කාමරයේ දොරේ එල්ලා තිබේ. එය දිග හැර නාන කාමරය අසල දමා ගන්න.

4. Do not disturb සහ housekeeping

කාමරය තුළ නිදහසේ ඉන්න අවස්ථාවක හෝටල් සේවකයන්ගෙන් බාධා පැමිණීම වළක්වා ගන්න මේ පහසුකම භාවිත කළ හැක. do not disturb සහ housekeeping ලෙස කාමරය ඇතුළතින් ක්‍රියාත්මක කර හැකි ස්විච් දෙකක් තිබේ. ඔබට බාධාවක් නොවී නිදහසේ ඉන්න ඕන අවස්ථාවක මේ do not disturb ස්විච් එක ක්‍රියාත්මකව තියන්නට පුළුවන්. එවිට පිටතින් ඒ බව දැක්වෙන නිසා කිසිවකු ඔබට බාධා කරන එකක් නැහැ. හෝටල් කාමරේ දින කිහිපයක් ඉන්න අවස්ථාවල දිනපතා එය පිරිසිදු කිරීම, ඇඳ ඇතිරිලි සහ ටවල් ආදිය මාරු කිරීම සඳහා හෝටල් සේවකයන්ට කාමරේට ඇතුළු වීමට අවශ්‍යයි. මේ නිසා සුදුසු අවස්ථාවක එයට සූදානම් වී housekeeping ස්විච් එක ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. පිටතින් ඒ බව දැන ගත් විට හෝටලේ සේවකයන් ඔබගේ කාමරයේ බෙල් එක ක්‍රියාත්මක කිරීමෙන් housekeeping කටයුතු සඳහා පැමි‍ණේවි. ඒ වගේම ඔබට කාමර සේවාවක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් එයටත් මේ පහසුකම භාවිත කළ හැකියි.

5. කෑම මේසයේදී cutlery භාවිතය

අලුතෙන් තරු හෝටලයක විවිධ වර්ගයේ ගෑරුප්පු, පිහි, හැඳි ඇතුළු cutlery කිහිපයක්ම භාවිත බොහෝ දෙනෙක් හිතෙන් වද වෙන කරුණක්. නමුත් එය බොහොම තර්කානුකූල ක්‍රමයකට අනුවයි තබා තිබෙන්නේ. කෝස් ක්‍රමයට ආහාර ගන්නා පිළිවෙළට අවශ්‍ය වන උපකරණ පිටත සිට ඇතුළතට එන ලෙස ඔබේ පිඟාන වටා තබා තිබේ. ඒ අනුව මුලින්ම ලබාගන්නා සුප් එකට අවශ්‍ය සුප් හැන්ද දකුණුපස ඈතින්ම තිබේ. සුප් එකත් සමඟ බෙඩ්රෝල් වැනි දෙයක් ආහාරයට ගන්නවා නම් ඔබට එය කපා ගැනීමට හා බටර් තවරා ගැනීමට වම් පැත්තේ ඉහළ කෙළවරේ තිබෙන බටර් නයිෆ් එක භාවිත කරන්න පුළුවන්. ඉන්පසුව එළැඹෙන්නේ සලාද කෝස් එකයි. එය ආහාරයට ගැනීමට වම් පැත්තේ ඈතින් ඇති කුඩා ගෑරුප්පුව භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අප ගන්නා ප්‍රධාන ආහාරය හෙවත් මේන් කෝස් එක සඳහා ඉන්පසුව පිඟානට ළඟින්ම තබා ඇති විශාල ගෑරුප්පුව, පිහිය සහ අවශ්‍ය නම් හැන්ද භාවිත කළ හැකිය. මේන් කෝස් එක ගන්නා අතරතුර දකුණු පැත්තේ ඉදිරිපසින් තබා ඇති වතුර වීදුරුව රතු සහ සුදු වයින් වීදුරු වගේම ෂැම්පේන් වීදුරුවත් භාවිත කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබට අතුරුපස ලබා ගැනීම සඳහා ඉදිරි පසින් තිබෙන හැන්ද සහ ගෑරුප්පුව භාවිත කරන්න පුළුවන්. කොහොම වුණත් මේ කිසිවක් අත්‍යවශ්‍ය නැති බව හොඳට මතක තිබාගන්න.

6. භෝජනාගාරයේ දී සැලකිලිමත් විය යුතු කරුණු

බොහෝ වෙලාවට තරු හෝටල්වල භාවිත වන්නේ බුෆේ හෙවත් තමන්ට අවශ්‍ය ආහාර තමන්ම බෙදාගන්නා ක්‍රමයයි. ඒ සඳහා මිල නියම කෙරෙන්නේ සමස්ත ආහාර වේලටම යම් නිශ්චිත ගාණක් විදියටයි. නමුත් සමහර හෝටල්වල විවිධ ඩිෂ් වෙනුවෙන් වෙනමම මිල නියම කෙරෙන ඇලාකාඩ් ක්‍රමයක් භාවිත වේ. බුෆේ ක්‍රමයේදී ආහාර බෙදා ගනිද්දී වරකට කුඩා ප්‍රමාණයක් බෙදාගන්න මතක තබා ගන්න. ප්‍රමාණයට වඩා ආහාර බෙදා ගැනීම අප්‍රසන්නයි වගේම cutlery භාවිතයේදී කෑම හැලෙන්න තිබෙන ඉඩකඩත් එයින් වැඩි වේ. ඔබට කැමති තරම් වාර ගණනක් නැගිටලා ගිහින් අලුතින් ආහාර බෙදාගැනීමට හැකියාව තිබෙන නිසා තරු හෝටල්වල ලේසියෙන් ආහාර අවසන් නොවන නිසාත් බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම බුෆේ එකේ දිග පෝලිම් ඉන්නවා වෙනුවට පිරිස ටිකක් අඩු වෙනකම් ඉඳලා ගිහින් බෙදාගන්න එකත් වැදගත්. භෝජනාගාරයේදී ඔබට ගෑරුප්පුව, පිහිය තබන ආකාරය අනුව වේටර්ලාට යම් යම් ඉඟි ලබා දෙන්නත් පුළුවන්. මෙහි වඩාත්ම වැදගත් වන්නේ තවමත් ආහාර ගන්නා අවස්ථාවල ඒවා එකිනෙකින් ඈත් කර ආනතව තැබීම හා කෑම අවසන් වූ පසු සිරස්ව ඒවා එක ළඟින් තැබීමයි.

අවසාන වශයෙන් ඔබ කාමරයෙන් පිටත් වන දවසේදී දවල් 12 වන විට කාමරවල යතුරු භාර දෙන්න අමතක කරන්න එපා.

 

 

 

 

Comments