
පසුගිය දිනෙක අපේ රටට කීර්තිය ගෙනදුන් කාලාකරුවන් දෙපලක් වන සරත් කොතාලවල සහ කුමාර තිරිමාදුර වෙනුවෙන් කැස්බියන් කලා සංවිධානය මඟින් උපහාර පිදීමක් සංවිධානය කර තිබුණා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ධුරය හොබවන්නේද නාට්‍යවේදී, නීතිඥ ඩග්ලස් සිරිවර්ධනය. ඒ ගැන වගේම කලාවේ හෙට දවස වෙනුවෙන් සිදු කරන්නාවූ වැඩ සටහන් ගැන රසඳුන සමඟ කළ කෙටි පිළිසදරයි මේ..
.
*කතාවට ආරම්භයක් ලබා ගත්තෙම කැස්බියන් කලා සංවිධානයේ ආරම්භය ගැන මතක් කරමින්
කැස්බියන් කලා සංවිධානය බිහිවෙන්නේ 2004 දී. මෙය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි අයගේ සංවිධානයක්. කලාකරුවන්ගේ සුබසිද්ධිය සහ නිර්මාණ ඇගයීමේ ප්‍රධාන අරමුණ ඇතිව පටන්ගත් දා සිට දිගටම කලා කටයුතුවලට මුල් තැන දීලා අපි කටයුතු කරගෙන ආවා. කෙටියෙන්ම කියනවා නම් හැමදේටම කොළඹට එන්න අපහසු නිසා කොළඹ යහපත් දේ හොඳ දේ සංස්කෘතික වටිනාකමක් තියෙන දේ අපි කැස්බෑවට ගේන සංවිධානයක්. මේ තුළින් කැස්බෑව ජනතාවගේ රසාස්වාදය, රුචිකත්වය ඔසවා තබන්න සේම කලාවේ නියුතු වෙලා ඉඳලා විශ්‍රාම ගිය අයට පාළුව තනිකම නැති කරන්නට හැකි වැඩපිළිවෙළක් මේ තුළ තිබුණා.
කැස්බෑව කියන්නේ විදිය බණ්ඩාර රජ සමයේ ඓතිහාසික සිද්ධීන් තිබෙන පුරවරයක්. ඉතින් මේ ඓතිහාසික පුරවරය සංස්කෘතික පුරවරයක් විදියට පත් කරගන්න අපිට පුළුවන් විදියට දායක විය යුතුයි. අද වන විට රටේ පිළිගත් කලාකරුවන් රැසක් අපේ ප්‍රදේශයේ ඉන්නවා. කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පිරිස්, දීපිකා ප්‍රියදර්ශනී ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. මේ අය තුළින් විසිරිලා තියෙන ශක්තින් එක තැනකට අරගෙන සමාජ සුබසාධනයට සහ යහපතට යෙදවීම තමයි මෙහි මුලික අරමුණ.
*මෙරට නම ජාත්‍යන්තරයේ රඳවමින් හොඳම නළුවන් ලෙසින් සම්මානිත වූ සරත් කොතාලවල සහ කුමාර තිරිමාදුර වෙනුවෙන් උපහාර උළෙලක් පසුගියදා පැවැත්වුණානේ, ඒ ගැන මතකය අවදි කළොත්
පසුගිය සමයේ ඇති වූ කොරෝනා උවදුර නිසා අපේ කැස්බියන් කලා සංවිධානය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය වුණා නැවත යම් කිසි ප්‍රබෝධමත් ඇහැකින් අවදි වෙන්න. ඔය අතර කාලයේ තමයි සරත් කොතාලවල සහ කුමාර තිරිමාදුර ‘ද නිව්ස් පේපර්‘ චිත්‍රපටය වෙනුවෙන් නැවත ජාත්‍යන්තරයේ හොඳම නළුවන් විදියට සම්මාන ලබන්නේ. සරත් කොතලාවල හෝමාගම ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. කුමාර තිරිමාදුර කියන්නේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙනෙක්. ඒ නැතත් ශ්‍රී ලාංකිකයන් දෙන්නෙක් එකතුවෙලා තිර රචනාව ලියලා, ඒ දෙන්නම අධ්‍යක්ෂණය කරලා ප්‍රධාන චරිතත් රඟපාලා ජාත්‍යන්තරයේ හොඳම නළුවන් විදියට සම්මාන ලබනවා කියන්නේ රටට මහත් අභිමානයක්. ඒක ජාතික වශයෙන් හරි වැදගත්. නමුත් එයට ඒ අයට නිසි ඇගයීමක් වටිනාකමක් ලැබුණාද කියන එක අපිට දැනුණු දෙයක්. තමන් තුළ තියෙන සතර අභිනය භාවිතා කරමින් සංස්කෘතික මෙහෙවර කරපු ලෝකයේ හොඳම නළුවන් බවට පත්වුණු කලාකරුවන්ට ජාතික මට්ටමින් එවැනි වූ ඇගයීමක් කරන්නයි අපට ඕන වුණේ. අපේ කැස්බියන් කලා සංවිධානය මඟින් කළ හැකි දේ සිදු කළ යුතුයි කියන හැඟීම අපිට ආවා. ඒ අනුව තමයි අපි මේ උපහාර උළෙල සංවිධාන කළේ.
මේ සඳහා පිළියන්දල නගර සභාව වෙන් කරගත්තා. නගරාධිපතිතුමා ඊට අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එතැනදී මේ දෙදෙනාට පමණක් නෙවෙයි අපි ඇගයීම සිදු කළේ. ද නිව්ස් පේපර් චිත්‍රපටය මේ වෙද්දී රටවල් ගණනාවක තිරගත වෙලා ආසියාවේ හොඳම චිත්‍රපටය විදියට සම්මාන ගණනාවක් ලැබූ චිත්‍රපටයක්. ඒ නිසා මේ සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දුන්න ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩි. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ කියන නිෂ්පාදන කණ්ඩායමටත් අපි අැගැයිම ලබා දුන්නා. එදින අපේ ප්‍රධාන අමුත්තන් වුණේ සිනමා නිළි රැජින මාලනී ෆොන්සේකා සහ රවින්ද්‍ර රන්දෙණිය. ඊට අමතරව විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වුණා පිළියන්දල කැස්බෑව මැතිවරණ බල ප්‍රදේශය තුළ පදිංචි මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පිරිස් ඇතුළු ආරාධිත කලාකරුවන් රැසක් සහභාගී වුණා. එදින මුඛ්‍ය දේශනය සිදු කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක. චිත්‍රපටයේ කොටස් පෙන්වමින් උත්සවය පවත්වලා අවසානයේ සම්පුර්ණ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදු වුණා. ඒ එක්කම සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර කලාකරුවන්ට මුල්‍යමය ත්‍යාගයන් ලබාදීම සඳහා අපට ලසන්ත ජයවර්ධනයන් අනුග්‍රාහකත්වය ලබා දුන්නා.
*කැස්බියන් කලා සංවිධානයේ ඉදිරි අරමුණු බලාපොරොත්තු මොනවද?
අපට මේ ප්‍රදේශයට රංග ශාලාවක්, සිනමාශාලාවක් නැති අඩුව තදින්ම තියෙනවා. ඒ නිසා කැස්බියන් කලා සංවිධානයේ එක සිහිනයක් තමයි මේ ප්‍රදේශයට සිනමාශාලාවක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සකසා ගැනීම. දැන් ඉස්සර වගේ ලොකු සිනමාශාලා අවශ්‍ය නැහැ. දැන් ඕනේ ගෙදරට වඩා සුවපහසුව තාක්ෂණය අතින් ඉහළ සිනමා ශාලාවක චිත්‍රපටයක් බැලීමට අවශ්‍ය පහසුකම සකසා දීමයි. ඒ සඳහා අපි උත්සහ ගනිමින් ඉන්නවා.
ඒ එක්කම අපි සිසු පුබුදුව නමින් කැස්බෑව අවට ඉන්න දරුවන්ගේ කලා හැකියාවන් සහ රසවින්දනය වැඩිදියුණු කරලීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවලා තිබුණා. ඉදිරියේදී නාට්‍යය වැඩමුළුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත්ව සිට අභාවප්‍රාප්ත වූ අැරැව්වල නන්දිමිත්‍ර, සෝමවීර සේනානායක, ජයලත් මනෝරත්න වැනි කලාකරුවන් භාවිතා කළ පොත පත ඇතුළත් පුස්තකාලයක් හදා ගැනීම අපේ ඊළඟ අරමුණයි. ඉදිරියේදී අපි අරමුදලක් සොයා ගැනීම සඳහා වැලිකතර චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අරමුණු කරගෙන ඉන්නවා. එය බොහෝ දුරට මේ මස අග හෝ ලබන මස මුල දී අපි පවත්වන්න සුදානම්.
අනුෂා රණසිංහ