කලාවට පෙම් බැඳි තාත්තයි පුතයි | Page 2 | සිළුමිණ

කලාවට පෙම් බැඳි තාත්තයි පුතයි

පුතා ගැන ගොඩක් අය දැනගත්තේ මේ ගීත දෙක නැරඹීමත් සමඟයි

විදේශයක සිටියත් මම මගේ මවු රටට හරි ආදරෙයි

“සිහිනයක මම සඳේ පියමැන්නා

මගේ තනියට ඔබ ළඟින් උන්නා

දේදුන්නේ ඇති පාට මම ගැන්නා

පාට මත ඔබ හිනැහෙමින් එහි උන්නා...

 

තරු ලතාවක පෙම් රටාවට වශි වී අප උන් සැඳෑවේ

සිතින් පමණක් නොවේ ගතින් අප

එකෙකු වෙන්නට හැදු වෙලාවේ

එකම නටුවක මල් දෙකක් වී

හදවතේ එක පැති දෙකක් වී

එකෙකු වූ වේලේ..

අමා සුවයද මේ අප විඳින්නේ...

 

සුවැති දෙතොලක පහස අහසේ

පාවෙමින් විඳිනා වේලේ

කොඳුරනා හඬ ඔබ මගේ යැයි

ගීතයක් විය විශ්වයේ

කඩා හැලෙනා තරු නතර වී

වලාකුළු එක තැනට ගුළි වී ..බලා සිටියාවේ.

 

ගායනය - සාරංග දිසාසේකර

සංගීතය - අසිත ප්‍රනාන්දු

පද රචනය - මනෝජ් නීලංග

මේ දිනවල මුහුණුපොත, යූටියුබය හරහා බෙහෙවින් ජනප්‍රිය ගීතයක් බවට පත්ව ඇති “සිහිනයක මම සඳේ පියමැන්නා” ගීතය ගයන්නේ සාරංග දිසාසේකර යි. මේ ගීතය පද රචනය කරන්නේ මනෝජ් නීලංග.

 

විශේෂයෙන්ම සාරංග දිසාසේකර ගයන මේ ගීතයේත් මීට දෙවසරකට පෙර එළි දැක්වූ “දුටු නාඳුනනා ලෙස ඉන්න

කිසිවෙකු නැහැ මෙහි දන්න” ගීතයේත් රූප රචනාවේ හරි අපූරු තරුණයෙක් ඉන්නවා. පසුගිය දිනවල කවුරුත් මේ තරුණයා කවුදැයි සොයන්නට වුණා. ඔහු දේශ් කෝන්ගලය. ඔහුත් සමඟ රඟන ‘සිහිනයක මම සඳේ පියමැන්නා‘ ගීතයේ සිටින තරුණිය නිතා පෙරේරා ය. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දේශ් සමඟ අපි කතාබහ කළෙමු.

“මම දැනට ජාත්‍යන්තර සම්බන්ධතා හා ව්‍යාපාර කළමනාකරණය පිළිබද උපාධියක් හදාරනවා. මේ අවසන් අවුරුද්දේ ඉන්නේ. මම පාසල් වියේ සිටම ක්‍රිකට් සෙල්ලම් කරනවා. මම රඟපාන්නත් කැමතියි. මගේ තාත්තා ලියපු ගීත දෙකටම මම රංගනයෙන් දායක වුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. බොහොම කෙටි කලයි මම ඒ පාසලේ හිටියේ. මගේ තාත්තාත් අම්මාත් සමඟ මම ඔස්ට්‍රේලියාවේ පදංචියට ආවා. මම හරිම ආදරෙයි ලංකාවට. ඒ වගේම මම රඟපාන්න කැමතියි. ඒ කැමැත්ත නිසාම තමයි මගේ තාත්තා ලියූ සාරංග දිසාසේකර ගැයූ ගීත දෙකේම රූප රචනයට මම පෙනී හිටියේ. රුමේෂ් බණ්ඩාර තමයි මේ විඩියෝව අධ්‍යක්ෂණය කළේ.මේ ගීතයේ කියන්නේ තරුණයෙක්ගේ තරුණියකගේ බැඳීමක් ගැන. ඒ වචන හරි සුන්දරයි. ඒ ගීතයේ තේරුමට මම කැමැතියි. ඒ නිසාම වෙන්න ඇති මගේ රඟපෑම තාත්වික වෙන්න ඇත්තේ. මම කලාවට යොමු වෙනවට මගේ තාත්තා වගේම අම්මාත් හරිම කැමැතියි. මම කුඩා කාලයේ ඉඳලා විදේශයක සිටියත් මම මගේ මවු රටට හරි ආදරෙයි. දවසක යම් ආරාධනයක් එහෙමත් නැත්නම් අවස්ථාවක් ලැබුණොත් රඟපෑම සඳහා මම ඊට ඉතාම කැමැත්තෙන් සම්බන්ධ වෙනවා. මගෙ අම්මත් තාත්තාත් මම රඟපෑමට යොමු වෙනවාට කැමැතියි.”

දේශ් පවසන්නේ සතුටිනි.

දේශ්ගේ පියා වන මනෝජ් නීලංග වෘත්තියෙන් නීතිඥවරයෙකි

පාසල් වියේ සිටම කවි ගී ලිවීමට වැඩි කැමැත්තක් දැක්වුවද ඒවා මඟහැරී ගියේ ඉගෙනීමට යොමු විමත් සමඟය. මේ වන විට ඔහු ගීත කිහිපයක්ම ලියා ඇත.

“මම සාරංගට ලියූ දෙවැනි ගීතය තමයි මේක. පුතා රඟපාන්න බොහෝම කැමතියි. එයා නිසාමයි මම මේ ගීත දෙකටම රූප රචනාවන් කළේ. අලුත් ගීතයට බොහෝ අය කැමතියි කියලා මම දැන ගත්තේ මේ වන විට දහස් ගණනක් ඒ ගීතය බලලා තියෙනවා කියලා දැක්කාමයි.

පාසල් කාලේ ඉඳලම මම කලාවට බොහෝම පෙම් බැන්දා. නමුත් මගේ වෘත්තියත් එක්ක ඊට යොමුවෙන්න බැරිව ගියා. එත් අද මගෙ පුතයි මමයි දෙන්නම ඉන්න නිසා මම හිතුවා යමක් කරන්න ඕන කියලා.

මට හරිම සතුටු දෙයක් තමයි මේ ගීතයේ විඩියෝ එක නිකුත් වුණාම කවුරුත් හොයන්න ගත්තා මේ අලුත් නළුවා කවුද කියලා. පුතා ගැන ගොඩක් අය දැන ගත්තේ මේ ගීත දෙක නැරඹිමත් සමඟයි. අපි ලෝකේ කොහේ හිටියත් හැම විටම හිතෙන් ජීවත් වෙන්නෙ අපේ මවු රටත් එක්කයි. මම නම් කැමතියි මගේ පුතා රඟපෑමට යොමු වෙනවට. ඒක මට ලොකු සතුටක්.”

නීලංග සිය පුතුගේ දක්ෂතා පිළිබඳ අගය කරන්නේ එලෙසිනි.

 

 ඉනෝකා සමරවික්‍රම

 

Comments