
නාට්‍යයකරුවෙක් මෙන්ම කථිකාචාර්යවරයෙක් වූ චාමික හත්ලහවත්ත පසුගියදා අපූරු ළමා නාට්‍යය උලෙළක් පැවැත්වුවා. එය නම් කෙරුණේ “හත්පෙතිමල ළමා නාට්‍යය උලෙළ” නමින්. චාමික කියන්නේ කවදත් නාට්‍යය කලාව තුළ යාවත්කාලින වෙමින් වෙනස්ම ගමනක් යන කෙනෙක්.
හත්පෙති මල ළමා නාට්‍යය උලෙළ සාර්ථකව නිමා වුණා, අපි එතැනින්ම කතාවට මුල පුරමු...
ඔව්. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් නිෂ්පාදනය කළ “හත්පෙති මල“ ළමා නාට්‍යය උලෙළ සාර්ථකව අවසන් කර ගන්නට හැකි වුණා. මෙහි විශේෂතා බොහොමයක් තියෙනවා. අපි මේ නාට්‍යය උලෙළ කළේ හත්පෙති මල කියන රුසියානු කතන්දරයෙන්. එකම ප්ලොට් එක වයස් කාණ්ඩ හතරකින් නාට්‍යය හතරක් විදියට. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ප්‍රථම ස්ථානය ගත් ළමා නාට්‍යකරුවන් එක්ක. අවුරුදු 2 සිට 7 වයස් කාණ්ඩයට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය. ඒ නාට්‍යය මෙහෙයවීම් කළේ හර්ෂණි රත්නායක හා තුෂාර ජාගොඩ. 8 සිට 11 වයස් කාණ්ඩය කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය. එය මෙහෙයවීම් කළේ ප්‍රියංවදා ගොඩගේ සහ විමුක්ති බඳුගොඩ. 12 සිට 16 වයස් කාණ්ඩයට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය. ඒ නාට්‍යය මෙහෙයවීම් කළේ ධනුෂිකා නයන කුමාරි සහ නිලංක නාමල් උඩුමුල්ල. 17 සහ 18 වයස් කාණ්ඩයට නුගේගොඩ අනුලා විද්‍යාලය - එය මෙහෙයවීම් සිදු කළේ සචිත්‍ර රාහුබද්ධ සහ සුදර්ශන බණ්ඩාර යන නාට්‍යකරුවෝ දෙදෙනා.
මම විශ්වාස කරනවා මේ ළමා නාට්‍යය උලෙළ, කලාවට වගේම අධ්‍යාපනයට ලොකු සංදිස්ථානයක් වෙයි කියලා. මොකද මම අවුරුදු 2ක් තිස්සේ ලංකාවේ සහ ලෝකයේ ළමා නාට්‍යය කලාව ගැන අධ්‍යයනය කළා. මට දැනුණු දේ තමයි ලෝකයේ නාට්‍යය සහ අපේ නාට්‍යය අතර පරතරයක් තියෙන බව. ඒ පරතරය පුරවන්න තමයි මේ නාට්‍යය උලෙළ කළේ.
මේ වෙනකම් ළමා නාට්‍යය කළේ පොදු ප්‍රේක්ෂකාගාරයට. එතන දි වයස් ගැන හිතුවේ නැහැ. නමුත් මෙතන දි අපි වයස් ගැන හිතලා නාට්‍යය හතර නිෂ්පාදනය කළේ. තව වැදගත් දෙයක් තමයි මේ දක්වා රාජ්‍ය ළමා නාට්‍යය උලෙළ තියෙන්නේ විවෘත සහ සීමිත විදියට. මෙතැනදී සිදුවුණේ මේ කාණ්ඩ දෙකම එකට වැඩ කිරීම. චාන්දනී සෙනවිරත්න නුගේගොඩ අනුලා විද්‍යාලයේ ළමයි සමඟ, ජෙනට් ඇන්තනී සහ තිළිණි ජයමාලි සිරිමාවෝ විද්‍යාලයෙ ළමයි සමඟ, එතකොට හර්ෂණී රත්නායක ඇතුළු පිරිස කුරුණෑගල මලියදේව විදාලයේ ළමයි සමඟ සහ බුද්ධි සංසලා අබේරත්න කහවත්ත විද්‍යාලයෙ ළමයි සමඟ වේදිකාවේ රඟපෑවා. ඒ තුළින් විවෘත අංශයේ දැනුම පාසලට ගියා. ඒ හරහා අධ්‍යාපනික හුවමාරුව බොහොම අපූරුවට සිදුවුණා.
අනිත් කරුණ අපි මෙතෙක් බැලුවේ වැඩිහිටි මනසින් සිදු කළ ළමා නාට්‍යය. මේ නාට්‍යය උලෙළේ නාට්‍යය සියල්ල සිදු කළේ ළමයි. ඒ සඳහා වැඩමුළු තිබුණා
රංගනය ගැන සරත් කරුණාරත්න, ජෙනට් ඇන්තනී සහ ප්‍රදීප් රාමවික්‍රම. රංග ආලෝකකරණය ගැන රංග සමරකෝන්. පසුතල නිර්මාණය ගැන ප්‍රදීප් චන්ද්‍රසිරි. රංග වස්ත්‍රාභරණ සම්බන්ධව සුවිනීතා පෙරේරා සහ අමා ශාක්‍යා විජේසේකර. අංග රචනය සම්බන්ධව නවෝදනී සෙනෙවිරත්න වැඩමුළු පැවැත්වුවා. වැඩිහිටියන් මඟ පෙන්වන්නන් සහ පහසුකම් සපයන්නන් පමණයි. ළමයින් තර්ක කරමින්, ප්‍රශ්න කරමින්, පරිකල්පනය ඇතිකර ගනිමින් නාට්‍යය සියල්ල නිර්මාණය කළේ. අපිට දැන් අවශ්‍යත් එවන් ඉගැන්වීමක්. ඇයි අපිට බැරි ගණිත, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් පවා මේ විදියට උගන්වන්න. මම යෝජනා කරනවා මේ ළමා නාට්‍යය කරන විදිය අධ්‍යාපනික උපකරණයක් විදියට පාසලට යොදා ගන්න කියා.
මේක මගේ තනි ව්‍යාපෘතියක් නෙවෙයි. මම මෙහි පර්යේෂකයෙක්, අනිත් අය මෙහි සම පර්යේෂකයන්. මෙහි අනුශාසකත්වය ලබා දුන්නෙ අමිතා රබ්බිදිගල මහත්මිය. ඒ එක්කම මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය මුලීක කරගෙන සිදු කළ නිෂ්පාදනයක්. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මගේ ආචාර්ය උපාධියේ උපදේශකවරයා විදියට සිටි ආචාර්ය මාරි පෙරේරා සහ එතුමිය විශ්‍රාම යෑමෙන් පසුව උපදේශකත්වය ලබා දෙන ආචාර්ය කපිල බණ්ඩාරව.
හෙට දවසේ නාට්‍යය කලාව ගැන තියෙන්නේ මොනවගේ අදහසක් ද?
හෙට දවස ගැන නම් බලාපොරොත්තු සුන්වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ වෙද්දි අපේ “රජා මං වහලා“ නාට්‍යය ලෝකයේ රටවල් 84 කින් හොඳම නාට්‍යය 18 ට තේරිලා තියෙනවා නේපාල අන්තර්ජාතික නාට්‍යය උලෙළේ. නමුත් ඒ සඳහා අපේ රට නියෝජනය කරන්න යන්න ඇහුවම රජයට කිසිම මූල්‍ය ප්‍රතිපාදනයක් දෙන්න නැහැලු. ඉතින් තව කවර කතාද? හැබැයි අපි නාට්‍යය කරන එක නතර කරන්නෙ නැහැ. ඒ එක්කම නේපාල නාට්‍යය උලෙළට යන්න අපි තවම වැඩ කරනවා. නොවැම්බර් 6 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ “රජා මං වහලා“ නාට්‍යය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දර්ශන වාරයක් ලෙසින් 3.30 ට සහ 6.30 ට වේදිකාගත වෙනවා. ආරාධනා කරනවා ටිකට් පතක් ලබාගෙන ඒ සඳහා දායකත්වය ලබා දෙන්න කියා.
මොන අභියෝග ආවත්, නාට්‍යය කරන එක නතර කරන්නෙ නැහැ කියන ඔබේ ඉදිරි නිර්මාණ කොහොමද පෙළ ගැහෙන්නේ...
මගෙ අලුත්ම වේදිකා නාට්‍යය 2023 දෙසැම්බර් මාසයේ දි තමයි වේදිකාගත වෙන්නෙ. මේ වෙද්දි නළු නිළියන් තෝරා ගනිමින් යනවා. ලබන වසරේ මැයි මාසයේදී රිහසල් පටන් ගන්නවා. ඒ එක්කම 2023 අග හෝ 2024 මුල මගේම නාට්‍යය නිර්මාණ ඇතුළත් නාට්‍යය උලෙළක් පවත්වන්න මම සූදානම් වෙනවා. තව දෙයක් ළමා චිත්‍රපටයක් කරන්න පිටපතක් අතේ තියාගෙන ඉන්නවා සුදුසු නිෂ්පාදකවරයෙක් මුණගැහෙනකම්.