සමහර විට මම විවාහ වෙන්නේ නැති වෙන්නත් පුළුවන් | සිළුමිණ

සමහර විට මම විවාහ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්

 

රශීප්‍රභා සන්දීපනි ක්ෂේත්‍රයට අලුත් මුහුණක් නෙමෙයි. ඇය මේ දවස්වල වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්නේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ සත්සරණිගේ චරිතයෙන්. ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වුණත් ඇයට තියෙන්නේ තකහනියේ කඩා බිඳගෙන දුවන ගමනක් නෙමෙයි. අද අපේ කතාබහ ඇයත් සමඟයි.

 

රශී පහුගිය දවස්වල ඉන්දියාවට වෙලා මොකද කළේ?

ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් වන දුෂ්‍යන්ත් ප්‍රතාප් සිං මට මීට අවුරුද්දකට විතර කලින් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් කළා, ඒ මම ගිය අවුරුද්දේ දීපවාලි වෙනුවෙන් කරපු ෆොටෝ ෂූට් එකක් දැකලා. ආරාධනාව ලැබුණට මම ලොකුවට ඒ ගැන හිතුවේ නැහැ. ඔහොම ඉද්දි තමයි ප්‍රතාප් සිං අධ්‍යක්ෂවරයා කලින් කරලා තිබ්බ චිත්‍රපටයක ප්‍රචාරණ ගීතයකට සම්බන්ධ වෙන්න මට ආරාධනා කළේ. ඒ වෙනුවෙන් ඔවුන් හදිසියේ ලංකාවට ඇවිත් ගිවිසුම් අත්සන් කරලා ගියා. ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න තමයි මම පහුගිය දවස්වල ඉන්දියාවට ගිහින් හිටියේ. අපි මුලින්ම කරන්න හිටියේ ඔය නිර්මාණය නෙමෙයි. මේ නිර්මාණය හදිසියේ සැලසුම් වුණේ. ඒක මාව හොයාගෙන ආපු අවස්ථාවක්. ගොඩක් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් මට ඒ නිර්මාණයෙන් ලැබුණා. ඒ ගීතයට මම සම්බන්ධ වුණේ අහම් ෂර්මා රංගන ශිල්පියා එක්ක.

ඉන්දියාවෙදි ඔබට ලොකු පිළිගැනීමක් ලැබුණා කියලා ආරංචියි?

ඇත්තටම ගුවන් තොටුපළේ ඉඳන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. ඉන්දියානු මාධ්‍යවලින් සම්මුඛ සාකච්ඡා බොහොමයක් කළා. ඇත්තටම ඒ නිර්මාණයේ වැඩ කරද්දි වුණත් වැඩ කරපු හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.

රශී හා හා පුරා කියලා සිනමාවෙනුත් කලඑළි බැස්සා. ඒ නිමි චිත්‍රපටයෙන්?

ඔව්. නිමි කියන්නේ මම සම්බන්ධ වෙන පළවෙනි චිත්‍රපටය. ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂවරයා තමයි මට මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ. ‘නිමි’ චිත්‍රපටයේ සාවිත්‍රී කියන ප්‍රධාන නිළිය වටා තමයි චිත්‍රපටය ගොඩනැඟෙන්නේ. ඒ චරිතය ප්‍රබල චරිතයක්. අධ්‍යක්ෂවරයා මට කිව්වේ ඒ චරිතයට බොහෝ අය හෙව්වා කියලා. ඒත් ඔහුගේ හිතේ තියෙන තරමටම ඒ චරිතය මටත් කරන්න පුළුවන් වෙයිද කියලා ඔහුට විශ්වාසයක් නෑ කියලා කිව්වා. ඒත් මම ඒ අභියෝගය භාර ගත්තා. චිත්‍රපටය අවසන් වුණාට පස්සේ ඉසුරු අයියා මට කිව්වා ඔහුගේ හිතේ තිබ්බ විදිහට සහ ඊටත් වඩා හොඳ සාධාරණයක් මම ඒ චරිතයට කළා කියලා. මේ අවස්ථාව දුන්නාට ඉසුරු අයියා සහ චතූට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මෙය සම අධ්‍යක්ෂණය කළේ. සෑහෙන මහන්සි වෙලා ඒ නිර්මාණය කළේ. මීට අමතරව මම ගාමිණී හේවාවිතාරණගේ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා.

පළවෙනි වැඩේ සාර්ථක කරගන්න අභියෝගයට ඔබ ඔබව මෙහෙයුවේ කොහොමද?

චිත්‍රපටයේ මට කරන්න තිබුණ චරිතයේ බැරෑරුම්කම නිසා චිත්‍රපටය කරන්න කලින්

ඉඳන්ම අධ්‍යක්ෂවරයා මාව මුල ඉඳන්ම බය කරලා තිබ්බේ. රොෂාන් අයියා, කාවිංග අයියා වුණත් මට කිව්වේ මේ චරිතය එක්ක තමයි චිත්‍රපටය දුවන්නේ, මම ෆේල් වුණොත් චිත්‍රපටය ෆේල් වෙනවා කියලා. මට ලොකු වගකීමක් තිබ්බා වගේම මට මේක සාර්ථකව කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බා. මේ චිත්‍රපටයෙදි සාවිත්‍රී සහ දුව කියන ද්විත්ව චරිත මට නිරූපණය කරන්න තිබ්බේ.

රශී ලංකාවෙන් පිට නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථා ලබා ගත්ත කෙනෙක්. එහෙම පසුබිමක ඔබට ලංකාවෙදි ලැබුණ අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවද?

ඇත්තටම නැහැ. ඉන්දියාවෙදිත් මට ආරාධනා ලැබුණේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න. මම ලංකාවෙදිත් දමිළ චිත්‍රපටවලට ගොඩක් සම්බන්ධ වුණා. ගොඩක් අය මට කියන්නේ මට තියෙන්නේ ඉන්දියානු පෙනුමක් කියලා. මම සම්බන්ධ වුණ පළවෙනි චිත්‍රපටය වුණ ‘නිමි’ චිත්‍රපටය තිරගත වෙනවා දැන්. නමුත් මට චිත්‍රපටවලට ලැබෙන ආරාධනා හරිම අඩුයි. මම කාටවත් කතා කරලා අවස්ථා ඉල්ලගෙන යන්නේ නෑ. කතා කළොත්, හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙනවා. සිනමාව පැත්තෙන් මගේ රංගන, නර්තන හැකියාව තව තවත් පෙන්වන්න පුළුවන් අවස්ථා ලැබෙනවා නම් හොඳයි.

ක්ෂේත්‍රයේ එක එක අය එක එක විදිහට ජනප්‍රියත්වය ලබා ගන්න මහන්සි වෙනවා. ඔබ ජනප්‍රියත්වය හොයන්නේ කොයි විදිහටද?

අපේ ගොඩක් අය ගොසිප් හරහා ජනප්‍රිය වෙන්න කැමැතියි. හැබැයි ඒ හරහා ලැබෙන්නේ ජනප්‍රියත්වයට වඩා ප්‍රසිද්ධිය. මම පෞද්ගලිකව ගොසිප්වලින් ජනප්‍රිය වෙන්න කැමැති නෑ. මගේ ගොසිප් එකකින් මුළු රටක් මාව දැන ගන්නවට වඩා මම කරන වැඩකින් මාව සිය දෙනෙක් දැන ගත්තත් ඇති.

පුංචි තිරයේ වැඩ කරද්දිත් තෝරා බේරා ගැනීම් තියෙනවද?

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයට මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නාට්‍යයට මඟදි සම්බන්ධ වෙලත් ඒ හරහා මට ලොකු පොඩි භේදයක් නැතුව විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. එවන් ආදරයක් මම කලින් විඳලා තිබ්බේ නැති තරම්. දැන් මම කැමැතියි ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට.

රශී දැන් පෙම්වතියක්ද?

අම්මෝ නැහැ. දැන් ඒ ගැන හිතන්නෙවත් නෑ. සමහර විට මම විවාහ වෙන්නේ නැති වෙයි.

එහෙම කියන්නේ වැරදුණ තැන් තියෙන නිසාද?

වැරැදිච්ච එක තැනයි තියෙන්නේ. මම දැන් සම්පූර්ණයෙන් මාව ඉලක්ක කරන් වැඩ කරන්නේ. වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වන ආදරේ මම මටම දෙනවා. එතකොට හිත් රිදීමක් නෑ ප්‍රශ්න නෑ. දැන් අවංක හොඳ මිනිස්සු හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා මට තනියෙන් ජීවත් වෙන්න වුණොත් කියලා හිතාගෙන ඒකට හරි යන්න වැඩ කරගෙන යනවා. මට හරියන කෙනෙක් හම්බුණොත් තීරණය වෙනස් වෙයිද දන්නේ නෑ. බලමු.

 

Comments