මෙච්චරකල් රඟපාපු චරිත ගැන මම තෘප්තිමත් | Page 2 | සිළුමිණ

මෙච්චරකල් රඟපාපු චරිත ගැන මම තෘප්තිමත්

රංගන ශිල්පිනියක ලෙස කලින් කලට ඈ විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට පැමිණ රංගනයේ වෙනස්කම් පෑවද සැබවින්ම ඇය තවමත් හැඩකාරයි. දක්ෂයි. මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකින් ඇයව දැකගත හැකිය. මේ කතාබහ බොනිකර තරු ටෙලි නාට්‍යයේ ඉන්දිරා චරිතයට පණ පොවන නදීශා අලහප්පෙරුම සමඟයි.

කාලයක් රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා ඇත්තටම. මොකද මට පුතයි දුවයි ලැබුණ නිසා. එයාලා එකළඟ වගේ තමයි ලැබුණේ. ඒ නිසා මං හිතුවා එයාලා පොඩි කාලේ එයාලත් එක්ක ඉන්න ඕන කියලා. ඒ නිසා ඒ කාලයේ රංගනයෙන් ඈත්වෙලා හිටියා දුව ටිකක් ලොකු වෙනකම් වගේ. දුවට දැන් අවුරුදු අටයි. පුතාට අවුරුදු දහයයි. දැන් ටිකක් ලොකුයි. එයාලට දැන් දේවල් තේරෙනවා. බබාලා පුංචි කාලෙත් ටෙලිනාට්‍ය බොහොමයකට ආරාධනා ලැබුණා. ඒත් මම ටිකක් හිටියා. දැන් ආයෙත් රංගනයට දායක වෙලා ඉන්නවා. දුවයි පුතයි දෙන්නමත් ටෙලිනාට්‍ය බලනවා. පුතා නම් මුකුත් කියන්නෙ නැහැ. දුව තමයි කියන්නෙ. මේක ලස්සනයි. සමහර වෙලාවට කියනවා මේ කෑල්ල හරි නෑ එහෙම කියලා. වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ දුවගෙන්.

මේ දිනවල විකාශය වෙනවා බොනිකර තරු, නීල පබළු, වීදුරු මල් ටෙලිනාට්‍ය. වෙනස්ම චරිත ටිකක් කරන්නෙ. ඉස්සර මට ගොඩක් නපුරු සැර චරිත ලැබුණේ. දැන් පොඩ්ඩක් වෙනස්. බොනිකර තරු එකේ මම කරන්නේ තැන්පත් චරිතයක්. වෙනස්ම ප්‍රතිචාර ලැබෙනවා රසිකයන්ගෙන්.

රංගන ශිල්පිනියක් වුණාම වෙනස් වෙනස් චරිත කරන්න ඕනෙ. එදා කරපු චරිත මට අද ලැබෙන්නෙ නෑ. වයසත් එක්ක, අත්දැකීම් එක්ක ඒවා වෙනස් වෙනවා. කොහොමත් එදා කරපු චරිත අද මට කරන්න බැහැ. අවංකවම කතා කළොත්. කාලයට අනුව ලැබෙන චරිත අපි භාර ගන්න ඕනෙ. මං කියන්නෙ මම ඒ කාලෙ ඒ චරිත කළා. අද ලැබෙන චරිතත් බොහොම සතුටින් භාර අරගෙන කරනවා. මම කොහොමත් කරන්නෙ මට කරන්න පුළුවන් චරිත විතරයි. මෙච්චරකල් රඟපාපු චරිත ගැන මම තෘප්තිමත්.

මගේ අම්මා මට ගොඩක් උදව් කරනවා. මගේ සැමියා අමිල නුවන්. ඔහුත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් එයාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මොකද එයා මට කිව්වා නම් ‘නදීශා ඔයා රඟපාන්න එපා‘ කියලා මට රඟපාන්න වෙන්නෙ නැහැ. මාව තේරුම් අරගෙන මට මේ දීලා තියෙන නිදහස තමයි ලොකුම දේ. ඔහුව මට මුණගැහෙන්නෙත් මාධ්‍ය ක්ෂේත්‍රයෙන්. කාලයක් මම නිවේදිකාවක් විදියට වැඩ කරනකොට. ඒ කාලෙ සිරස මාධ්‍ය ආයතනයෙ අපි දෙන්නාම වැඩ කළේ. ඒ කාලෙ තමයි අපි විවාහ වුණේ. එදා ඉදන් අද වෙනකම් අමිලගෙන් ලැබෙන සහයෝගය නැත්නම් මට අද රංගන ශිල්පීනියක් විදියට වැඩ කරන්න බැරි වෙනවා. එයා ඒක තේරුම් අරන් මට ගොඩක් ලොකු සහයක් දෙනවා. ඒ වගේම ඔහු මේ ක්ෂේත්‍රයේ ඉන්න එක මට ලොකු ආරක්ෂාවක්. අපි කරන්නෙ උදේ ගිහින් හවස එන රස්සාවක් නෙමෙයි. උදේ පාන්දර යන්න එන්න වෙනවා. රෑ වෙනවා. ඊළඟ දවසෙත් උදේ පාන්දර යන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක ගෙදර සහයෝගය නැතුව කිසිකෙනෙකුට මේ ගමන සාර්ථකව කර ගන්න බැහැ. එයාලා නිසා තමයි මම මේ තරම් දුර ඇවිත් ඉන්නෙ.

ටික්ටොක්වල ඉන්නෙ මගේ සැලෝන් එකේ මල්ලි. එයා ඉතින් නිතර මාත් එක්ක ටික්ටොක් කරනවා විනෝදෙට.

දරුවො දෙන්නාගෙ වැඩ තමයි මට ප්‍රධානම. එයාලා එක්ක පවුල එක්ක කාලය ගතකරනවා වැඩිපුර.”

Comments