
ජිවිතේ හැමෝටම අරමුණු ඉලක්ක බලාපොරොත්තු තියෙනවා. අද අපේ මේ කතාබහේ චරිතයත් එවැනි වූ සිහින දකින්නෙක්. ඔහු නමින් ඉමාල් රණවක. ඉමාල් කියන්නේ කවදා හරි දවසක සටන් නළුවෙක් වෙන්න ඕනේ කියන හීනය දකින තරුණයෙක්. හෙමින් හෙමින් ඒ සිහිනය සැබෑ කර ගන්න යන ගමනේ අතරමඟයි අප ඔහුට කතා කළේ.
මේ දවස්වල මොකද වෙන්නේ?
ටීවී කමර්ෂල්, මියුසික් වීඩියෝ සහ මොඩ්ලින් වැඩ කටයුතු එක්ක තමයි කාලය ගත වෙන්නේ. ඊට අමතරව රැකියාවේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.
මම කායවර්ධන පුහුණුකරුවකු විදියට වැඩ කරන්නේ. ඒකත් එක්ක තමයි ලැබෙන ආරාධනාවලට සම්බන්ධ වෙන්නේ.
දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද?
2017 දී මම එන්නේ. දැන් අවුරුදු 5ක වගේ කෙටි කාලයක්.
මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
මම මුලින්ම පටන් ගන්නේ අංගම්පොර සටන් කලාවෙන්. ඒකත් එක්ක තමයි මට චිත්‍රපට සහ ටෙලි නාට්‍යය පැත්තට මගේ ගුරුතුමා එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අද වෙද්දී නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. කායවර්ධන අංශයෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ. මම කාලයක් තිස්සේ නාට්‍යය ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් ඒ පැත්තෙන් මට අද වන තුරු තෘප්තිමත් විය හැකි නිර්මාණ ලැබිලා නැහැ.
කොහොමද අංගම්පොර සටන් කලාවට යොමුවෙන්නේ?
ඒක ඇත්තටම පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක්. මම කැමතියි සටන් කලාවට. ඒ නිසා මම ඒ ගැන හෙව්වා. පොත පත කියෙව්වා. මම දැනගත්තා අපේ රටේ පැවති අංගම් සටන් කලාව ගැන. උසස් පෙළ ලියලා ඉවර වෙනවත් එක්කම මම අංගම්පොර සටන් කලාවට යොමු වුණා. ඒ දෙදහස් දාහතර අවුරුද්දේදී.
අද වෙද්දී කොහොමද අංගම්පොර සටන් කලාවට තියෙන තත්ත්වය?
ඒක දැන් වෙද්දී යම්තාක් දුරකට තියෙනවා. සමහර අය අංගම්පොර සටන් කලාව ගැන හරියට දන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි අංගම්පොර සටන් කලාව ඉංග්‍රීසින්ගේ කාලයේ තහනම් කිරීම. ඒ තහනම් කිරීම අදටත් නිදොස් කොට නිදහස් කරලා නැහැ. ඒ නිසා මේක ප්‍රසිද්ධියේ ඉගෙන ගන්න බැහැ. ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න බැහැ වගේ දේවල් එක්ක මේවා රැකුණේ නැටුම් ශාස්ත්‍රය එක්ක මුහුකරලා. ඒ හින්දා මෑතක් වෙනකම් මේ ශිල්පය තිබුණේ හැංගිලා. නමුත් දැන් ටික ටික ප්‍රචලිත වීගෙන එනවා. මගේ ගුරුතුමා අජන්ත මහන්තාරංචි.
අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීම තුළින් ජීවිතේට ලබා ගත්ත දේවල් මොනවද?
අපේ පෞරුෂය ගොඩනඟා ගන්න, තැනකට ගිහින් කතා කරන්න ඕනේ කොහොමද, හැසිරෙන්න ඕනේ කොහොමද කියන සරල සිද්ධාන්තයේ ඉඳන් ජිවිතේ සාර්ථක කර ගන්න මේ තුළින් පුළුවන්. ඒ වගේම මට කලාවට එන්න තිබ්බ ආසාවට ඉඩක් ලැබෙන පළවෙනි තැන තමයි අංගම්පොර සටන් කලාව. මම පළවෙනියට කැමරාවකට මුහුණ දුන්නේ අංගම්පොර සටන් කලාව නිසා.
ඔබේ හීනය නළුවෙක් වීම?
ඔව්. මගේ හීනය තිබ්බේ කවදා හරි සටන් නළුවෙක් වීම. නමුත් තාමත් මම මොඩ්ල් කෙනෙක් හැටියට වැඩ කරන්නේ. ඒ නිසා තාමත් මගේ හීනය දක්ෂ සටන් නළුවෙක් වීම.
අංගම්පොර සටන් කලාව තුළින් ලබා ගත් ජයග්‍රහණ තියෙනවද?
අවුරුදු අටක් තිස්සේ මේ කලාව ප්‍රගුණ කරනවා. ලංකාවේ තරග කියලා දෙයක් නැහැ. ඒ වගේම විවෘත තරගවලට අපට අවසර ලැබෙන්නේ නැහැ. කායවර්ධන ක්ෂේත්‍රයෙන් මම 2021 මිස්ටර් ශ්‍රී ලංකා ආධුනික තරගයේ දෙවන ස්ථානය සහ මිස්ටර් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ තරගයේ දෙවන ස්ථානය යන දෙකම ජයග්‍රහණය කරනවා.
මේ වෙද්දී ටෙලි නාට්‍යයකට හෝ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැද්ද?
සිනමාවට මට මේ වෙද්දී අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සරත් වීරසේකර මහතාගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ චරිතයකට. ඒක තමයි නළුවෙක් විදියට වැඩ කරන්න මට ලැබුණු පළමු අවස්ථාව.
තව නිර්මාණවලට ඇරයුම් ලැබුණද?
ඇරයුම් දෙක තුනක් ලැබුණා. සමහර ඒවාට නම් යන්න බැරි වුණා. තව මම නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක තවම විකාශය වෙන්න පටන් අරන් නැති නිසා ඒ ගැන මම දැන්ම මුකුත් කියන්නේ නැහැ.
ඉමාල්ගේ ගම, පවුලේ විස්තර සහ ඉගෙන ගත් පාසල ගැන මතක් කළොත්?
මගේ උපන් ගම දෙනියාය. නමුත් මම හැදෙන්නේ වැඩෙන්නේ කොළඹ. පවුලේ එකම ළමයා. උසස් පෙළ දක්වා මම ඉගෙන ගන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්.
කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?
ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම මේ තාක් දුර ආවේ ගෙදරින් ලැබෙන ඒ සහයෝගය නිසා. අම්මා තාත්තා නිසා තමයි අද මම මේ තැන හරි ඉන්නේ.
ඉමාල් මේ වෙද්දී ආදරවන්තයෙක් ද?
නැහැ.
ආදරේ දකින්නේ කොහොමද?
මම ආදරේ දකින්නේ ජීවිතයකට තියෙන්න ඕනෙම දෙයක්. හැබැයි ජීවිතේ වෙන අරමුණු එක්ක ආදරේ හොයන්න ගත්තොත් අපිට සැබෑ ආදරේ හම්බෙන්නේ නැහැ. කලබලයකින් තොරව හදිසි නොවී ආදරේ ගැන හිතුවොත් සුන්දර දෙයක්. ඒ නිසා ආදරේ කියන්නේ ජීවිතේ හරි යන්න වගේම වරදින්නත් පුළුවන් තැනක්.