මගේ මුල්ම සංගීත ගුරුවරයා මගේ තාත්තා | Page 3 | සිළුමිණ

මගේ මුල්ම සංගීත ගුරුවරයා මගේ තාත්තා

 

මැන්ඩලීනය කියන්නෙ සංගීත භාණ්ඩ අතර මිහිරි වාදන භාණ්ඩයක්නේ. මේ දවස්වල සමාජ මාධ්‍යය තුළ සැරිසරන ඔබට මැන්ඩලීනය වාදනය කරමින් මිහිරි ලෙස ගී ගයන පුංචි ලන්දුව නෙතගැටී තියෙන්න පුළුවන්. ඇතැම් විටෙක ඔබ මේ පුංචි ලන්දුගෙ ආදරණීය රසික රසිකාවියක් වෙන්නත් පුළුවන්. තවමත් කුඩා අවධියේ ඉන්න මේ ලන්දුගේ හැකියාවන් නම් විශිෂ්ටයි. ඒ නිසාම මේ සොදුරු කතාබහ පුංචි ලන්දු එක්ක.

සම්පූර්ණ නම - සදසි ලන්දු සෙට්ටිනායක

ගම -පිළියන්දල

පවුලේ විස්තර -අම්මා සදනි නිකේෂලා මධුශානි, තාත්තා මුදිත උදාර සෙට්ටිනායක, මල්ලි නෙත් මන්දිනු සෙට්ටිනායක සහ ආච්චියි සීයායි ඉන්නවා ගෙදර.

පාසල -පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, තුන වසරේ ඉගෙනුම ලබන්නේ

කොහොමද සංගීතයට නැඹුරු වෙන්නේ - මගේ තාත්තා රාජ්‍ය සංගීත කණ්ඩායමේ සේවය කරන්නේ. ඒ නිසා මගේ ගෙදර නිතරම මට ඇහුණේ සංගීතය. මගේ මුල්ම සංගීත ගුරුවරයා වෙන්නෙත් මගේ තාත්තා.

මුලින්ම වාදනය කරන්න ඉගෙන ගත්ත වාදන භාණ්ඩය මොකක් ද?

මැන්ඩලීනය

ලන්දු ගැන හැමෝම කතා වෙන්න ගත්තේ කොහොමද?

දෙරණ නාළිකාවේ සුපර් හීරෝ තරගයට ගියාට පස්සේ තමයි ගොඩක් අය මගේ දක්ෂතා දැක්කේ.

කොහොමද ඒ අත්දැකීම

හොඳ අත්දැකීමක් ලැබුණා. එහි අවසන් තුන්දෙනා අතරට මම ආවා.

තවම සංගීත ගුරුවරයා තාත්තා ද?

තාත්තාත් කියල දෙනවා. හැමදාම පාන්දර පහට නැඟිටලා තාත්තා එක්ක මැන්ඩලීනය වාදනය කරනවා. ඒ එක්කම මගේ අවුරුදු හතේ උපන්දිනයට තාත්තා මට දුන්න තෑග්ග තමයි තාත්තාගේ ගුරුවරයා වන හේමපාල පෙරේරා සර් යටතේ මට සංගීතය ඉගෙන ගන්න යොමු කරපු එක.

තව මොනවද වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩ?

ගිටාර් එක වාදනය කරන්නත් තාත්තා මට කියලා දෙනවා. ඒ එක්කම මට පියානෝවක් තෑගී ලැබුණා. ඒ නිසා පියානෝ එක වාදනය කරන්නත් මම මේ වෙද්දී බාලසූරිය මිස්ගෙන් ඉගෙන ගන්නවා.

ලන්දු වැඩියෙන්ම කැමති වාදනයට ද?

වාදනයට වගේම ගායනයටත් මම කැමතියි.

ලන්දුට තාත්තා ලබා දුන් උපදෙස මොකක් ද?

තාත්තා කියන්නේ එක දෙයකට සිමා නොවී, ලෝකයේ තියෙන හැම සංගීත ශෛලියක්ම අහන්න කියලා.

පුංචි ලන්දුගේ හපන්කම් දකින ආදරණීය මාපියන් කොයිතරම් නම් සතුටු වෙනවා ඇත්ද? ඒ නිසාම මේ කතාබහට ලන්දුගේ අම්මා සදනී නිකේෂලා මධුශානිත් එකතු කර ගත්තා…

ලන්දුටත් සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් කියලා හැගුනේ මොන වයසෙදි ද?

ලන්දු ඉපදෙන්න ඉන්න කාලේ ඉඳන් ගෙදර අහන්න තිබ්බෙ සංගීත නාද රටා. අපිට වුවමනා වුණෙත් අපේ දරුවන් කලාවට දක්ෂ දරුවන් වෙනවා දකින එක. ලන්දුගේ තාත්තා මැන්ඩලීනය සහ ගිටාර් වාදන ශිල්පියෙක් වගේම ගායනයත් සිදු කරනවා. ලන්දුගෙත් තාල ගතිය ඇඟේ තිබ්බා. ඒ නිසා ලන්දුට අවුරුදු දෙකහාමාර වගේ වෙද්දි මැන්ඩලීනය අතට දුන්නා. නමුත් මුල් කාලයේ වාදනය කළේ නැහැ. ඒ දවස්වලම අපේ සහෝදරයෙක්ගෙ දුවෙක්ට මුදිත මැන්ඩලීනය පුරුදු කළා. එයා තමා ලන්දුට ඉන්න එකම අක්කා. එයා වාදනය කරනවා දැකලා මෙයත් වාදනය කරන්න පටන් ගත්ත. දැන් ඒ දුව අභිභවා ලන්දු වාදනය කරනවා.

ඉදිරියේදීත් රියැලිටි තරගවලට යවන්න එහෙම අදහසක් තියෙනවද?

SMS වටවලින් තෝරන තරඟවලට නම් ඉදිරිපත් කරන්නෙ නැහැ. දෙරණ සුපර් හීරෝ තරගයට ඉදිරිපත් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලද වැඩසටහනක් නිසා සහ එහි ගායන වාදන හැකියාවන් දෙකම එකම වේදිකාවකදී පෙන්වන්න පුළුවන් නිසා. එහිදී අවසන් තුන්දෙනා අතරට ආවා. එතනින් පස්සෙ sms වටයක් තිබ්බ නිසා දුවට තුන්වෙනි තැන ලැබුණේ. මොකද අපි sms සඳහා මහන්සි වුණේ නැහැ. ලන්දුත් ආසාවෙන් හිටියේ ලොකු ස්ටේජ් එකක සින්දු කියන්න. ඒ නිසයි ඒ තරගයට ඉදිරිපත් කළේ. ආයේ නම් රියැලිටිවලට ඉදිරිපත් කරන්න කිසිම අදහසක් නැහැ. මේ වෙද්දී ලන්දුගේ ඉදිරිපත් කිරීම් සියල්ල ලන්දු සෙට්ටිනායක කියන නමින් තියෙන යූ-ටියුබ් සහ Fb පිටුවෙන් දැක බලා ගන්න පුළුවන්. ඒ හරහා දුවගේ හැකියාවන් දැකපු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණ අය ඇයට ආශිර්වාද කරනවා.

ලන්දු ටිකක් වෙනස් නමක්, මේ නම තිබ්බෙ කවුද?

ඒක දිග කතාවක්. ලන්දුගේ සීයා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වන කොල්වින් සෙට්ටිනායක. සීයා 80 දශකයේ පොතක් ලියලා තිබ්බා ලන්දු නමින්. ඉතින් මුදිතට ඕනේ වෙලා තිබ්බා කවදාහරි දුවෙක් ලැබුණොත් මේ නම තියන්න. අපේ සම්බන්ධය පටන් ගත්ත මුල් කාලෙම මට ඒ ගැන කියලා පොරොන්දු කර ගත්ත. ඒ වගේම මුලින්ම ලැබුණේ අපිට දුවෙක්. සීයාගේ නම තාත්තාගෙ කැමැත්ත නිසා දුවට ලන්දු කියන නම තිබ්බා.

දුව සීයා එක්ක චිත්‍ර අඳිනවා. සීයා වගේ ලියන්න පුරුදු වෙනවා. ඒ හැකියාවන් තවම පෙන්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ අම්මා ගොඩක් කැමති දුව සින්දු කියනවා අහන්න. ඒ නිසා මගෙ අම්මයි මුදිතගෙ තාත්තයි දෙන්නම ලන්දු දුව අද ඉන්න තැන ගැන අපි වගේම ගොඩක් ආඩම්බර වෙනවා.

මේ වෙද්දි ලන්දු ප්‍රථම විභාගයට පෙනී ඉන්න සූදානම්. දිගටම කරගෙන ගියොත් 5 වසර වෙද්දි විශාරද වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේ දී එයාගෙ අධ්‍යාපන පැත්තට තමයි වැඩි කාලයක් යොදවන්නෙ.

 

 

Comments