කාත් කවුරුවත් නැති මම රූකඩයක් වගෙයි | සිළුමිණ

කාත් කවුරුවත් නැති මම රූකඩයක් වගෙයි

 

ඈත පිටිසර ගමක උපන්න මම මේ වගේ සංකර ජීවිතයකට හුරු වුණේ කොහොමද කියලා මටම හිතාගන්න බැහැ. මගෙ අම්මයි තාත්තයි දෙන්නාම කළේ ගොවිතැන. පවුලේ ඔක්කෝම පස්දෙනයි. අයියලා තුන්දෙනයි, අක්කයි, මමයි. අම්මයි තාත්තයි ගොවිතැන් කරපු නිසා කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් තිබු‍ණේ නැහැ. අයියලා තුන්දෙනයි අක්කයි විවාහ වෙලා හිටියේ. ලොකු අක්කා ගෙදරමයි පදිංචි වෙලා හිටියේ. අයියලා නම් ගමින් පිට හිටියේ. අපේ ගමේ ගෙවල් තිබුණේ ඈතින් ඈතින්. මගේ ඉස්කොලේ යාළුවා මාලනී හිටියේ අපේ ගෙදර ඉදලා ගෙවල් පහකට විතර එහායින්. එයාගේ පවුලේ හිටියේ අම්මයි එයයි අයියයි විතරයි. අයියා නම් හමුදාවට බැදිලා හිටියේ. මාලනී නිතර අපේ ගෙදර ආවා. සමහර දවස්වලට මම එහෙ ගියා. අපි යාළුවෝ නිසා ගෙවල්වල අය මුකුත් කිව්වේ නැහැ.

 

මේ කාලේ වෙනකොට මට අවුරුදු දාහතක් විතර ඇති. මගෙ යාළුවා මාලනී සාමාන්‍ය පෙළ විභාගය ලිව්වත් උසස් පෙළ කරන්න ගියේ නෑ. මට නම් විභාගය පාස්වෙන්න බැරි වුණා. ගොවිතැනටම යොමු වෙලා හිටපු මගෙ අම්මට තාත්තාට නම් ඉගෙනීමේ අගයක් නොතේරුණ තරම්.

කැත්තේ උදැල්ලේ වැඩට අකමැති මට හැම වෙලේම හිතුණ දෙයක් තමයි ගමෙන් පිට රස්සාවක් හොයා ගන්න ඕන කියන එක.

අම්මයි, තාත්තයි කැමති වුණේ නැහැ මම ගමෙන් පිට යනවට. ඒත් මට නම් ගමේ ඉන්න හිතුණෙම නෑ. ගමේ හිටියා නම් මටත් වෙන්නේ කසාදයක් කරගෙන දරුවෝ හදන්න විතරයි.

මට නම් එහෙම වෙන්න වුවමනාවක් තිබුණෙම නැහැ.

දැන් මට හිතෙනවා මම ගෙදරට අකීකරු වුණා කියලා. මම එහෙම කියන්නේ මම මගේම හිතුවක්කාරකමට ගෙදරින් ආව නිසයි.

දවසක් දා හිමිදිරි පාන්දර මම ගෙදරින් පිටත් වුණා. ලියුමක් ලියලා අම්මාට කුස්සියේ මේසය උඩ ගිනිපෙට්ටිය තියන තැනින් තිබ්බා. මම ගෙදරින් එනකොට හැමෝම නිදි. යන්නේ කොහෙද මොනවද කරන්නේ කියලා කිසිම දෙයක් පැහැදිලිව හිතේ නොතිබුණත් මම එදා ගෙදරින් එළියට බැස්සේ කොහේ හරි යනවා කියලා හිත හදාගෙන. මහියංගනේ ඉදලා කොළඹ ආවේ මම තනියම නෙමෙයි. මම එදා ගමෙන් ආවේ මාලනීගේ අයියත් එක්ක. මම අයියත් එක්ක ආවේ කියලා කවුරුත්ම දන්නේ නැහැ. අපේ ගමේ මිනිස්සු ටවුමට ආවේ ගියේ සතියටම එක දවසයි. පාරට බැහැලා අනිත් අයගේ දේවල් හොයනවාට වඩා ගමේ මිනිස්සුන්ට කරන්න දේවල් තිබුණා.

ඒකාලේ මගේ හිතේ හිටිය එකම පිරිමියා මාලනීගේ අයියා සුගත් විතරයි. අපි අතර ආදර බැඳීමක් තිබුණා කිව්වොත් එකේ වරදකුත් නැහැ. ඒත් මටවත් අයියාටවත් විවාහ වෙන්න නම් වුවමනාවක් තිබුණේ නැහැ.

“මාත් එක්ක කොළඹ ගියා වගේ නෙමෙයි ඔයා මොකද එහෙ ගිහින් කරන්නේ“

බස් එකේ එන අතර මඟදි මාලනීගේ අයියා මගෙන් ඇහුවා. ඒ වෙලාවේ තමයි මම මා ගාව තිබුණ පත්තරේ දැන්වීමක් සුගත්ට පෙන්නුවේ. ඒකේ තිබුණේ මහරගම ගාමන්ට් එකකට ගැනු ළමයි ගන්නවා කියලා දාපු දැන්වීමක්. අපි දෙන්නාම මහරගම ඒ කියන ගාමන්ට් එක හොයාගෙන ගියා. මටත් රස්සාවක් ලැබුණා හෙල්පර් කෙනෙක් විදිහට. ඒ වැඩපලේම බෝඩිමකුත් තිබුණා. එතැන නතර වෙන්න පුළුවන් කියලා මිස් කෙනෙක් මට කිව්වා.

සුගත් එදාම එයා ඉන්න කෑම්ප් එකට ගියා.

වීරයෙක් වගේ ගෙදරින් ආවත් මට එදා පුදුම දුකක් දැනුණේ. මොනවා වුණත් මම ගෙදර නිදහසේ හිටියා නේද කියලා හිතෙන්න ගත්තේ ගාමන්ට් රස්සාවට ගියාට පස්සේ. දැන් මගෙ වයස අවුරුදු හතළිස් පහයි. කොළඹ ආවට පස්සේ මම ගෙදර ගියේ එකම එක දවසයි.

ඒ තමයි මුල්ම පඩිය අරගෙන ගෙදර ගිය දවස. එදා අම්මයි තාත්තායි මට හොඳටම බැණ්නා. ඒගොල්ලෝ මට කිව්වේ මාව පවුලෙන් අයින් කළා කියලා. අක්කා වුණත් මා එක්ක කතා කළේ නැහැ. මගේ තියෙන හිතුවක්කාරකමට මම පහුවදාම ආයෙත් ගමෙන් ආවා. මම මගේ පවුලේ හැමෝම අමතක කරලා තමයි ආයෙත් කොළඹ ආවේ. හැබැයි මම ගමේ හිටියා නම් ඒ අයගේ තරහා මඟහැරෙනවා.

මාලනීගේ අයියා වුණත් මාව බලන්නම් එන්නම් කිව්වට කවදාවත් මාව හමුවෙන්න මහරගම ආවේ නැහැ. අපේ ගාමන්ට් එකේ සිකුයුරිටි අයියා මා ගැන උනන්දුයි කියලා මට දැනුණා. ඒ දවස්වල දැන් වගේ නෙමෙයි මගෙ කොණ්ඩේ දිගයි. මට මතකයි මගේ අම්මා කියනවා ඔයා හරි ලස්සනයි දුවේ කියලා. කොහොම කොහොම හරි සිකියුරිටි වසන්ත අයියා මගේ පෙම්වතා වුණේ මටත් නොදැනීමයි. එක නිවාඩු දවසක වසන්ත මට කිව්වා කොහේ හරි යමු කියලා. මමත් හා කිව්වා. එයා එදා මාව එක්කගෙන ගියේ කාමරයකට. මම මහ මෝඩ හිතුවක්කාර ගැනු ළමයෙක් කියලා මට හිතුණේ එදා ඒ ගමන ගිහින් ආයෙත් බෝඩිමට ආවට පස්සේ. එත් මගේ මෝඩකම එතැනින් ඉවර වුණේ නැහැ. අපි නිවාඩුවක් ලැබුණ ගමන් ඒ ගමන දෙතුන් වතාවක් ගියා.

මට වැඩපලේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියත් මම එයාලට මා ගැන කියන්න ගියේ නැහැ.

ටික දවසකට පස්සේ මගෙ ඇඟට හරි වෙහෙසක් දැනෙන්න ගත්තා. මට වමනය යන්න ගත්තා.

“මම නම් දැගෙන හිටියා ඕක ඔහොම වෙයි කියලා. ඔයා අපට කියන්නෙත් නැතිවනේ අර මිනිහා එක්ක එහෙ මෙහෙ ගිහින් තිබුණේ. ඒ මිනිහා කසාද බැඳපු මිනිහෙක්. දරුවොත් ඉන්නවා.

ඔයාට දැන් ඉතින් කරන්න තියෙන්නේ දෙකයි. එක්කෝ ඔය උපදින්න ඉන්න දරුවා හදා‍ෙගන පැත්තකට වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් ඔය මිනිහා මරලා උඹත් මැරියන්.“

සෝමක්කා දවසක් රෑ මගෙ අතට බත් පිඟාන දෙන ගමන් කිව්වා. ඇත්තම කිව්වොත් දරුවෙක් හදන්න නෙමෙයි මට ඕන වෙලා තිබුණේ. මට බොරු කරපු කෙනාගෙන් පළිගන්න. ඒ වෙනකොට මට බොරු කරපු වසන්ත මරන්න තරම් තරහක් මගෙ හිතේ තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ ඉතුරු කරපු මුදල් විටින් විට ඔහු මගෙන් ඉල්ල ගත්තා.

එක ඉරිදාවක මම වසන්තට කිව්වා මට වෙලා තියෙන දේ. ඒත් මිනිහා ඒ කතාව පිළිගත්තෙම නෑ.

“මම විතරයැ... තමුසේ තව තව අය එක්ක යනවා කියලා මට ආරංචියි. අර හමුදාවේ එකත් එනවා කියලා මට කිව්වා.“ වසන්ත වැරදි ගොඩක් මට පැටේව්වා. ඒත් ඒ කිසිම කතාවක් ඇත්ත නෙමෙයි.“

මාස තුනක් විතර වෙනකොට මගෙ පෙනුම ටිකක් වෙනස්. ඇගට දැනෙන අමාරුකම් එක්ක වැඩට යන්න බෑ කියලා හිතුණ දවස් එමටයි. දරුවෙක් ගැන මගේ තුන්හිතකවත් ආසාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ නිදහසේ ජීවත් වෙන්න. වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටපු මට හිතුණා වසන්තව හමුවෙලා මේක දෙකින් එකක් බේර ගන්න. දවස් දෙකක නිවාඩුවකට පස්සේ මම වැඩට ගියේ. ගාඩ්රූම් එකෙන් කිව්වේ වසන්ත නිවාඩු කියලා. මම එයාට කෝල් එකක් ගත්තා.

“අද මම ගෙදර“ ඔහු මට එහෙම කිව්වා.

“මට ඔයාව හමුවෙන්න ඕන. මම හෙට ගමේ යනවා. අන්තිම වතාවට මට ඔයාව බලන්න ඕන.“

“හා.... හා ... මම එන්නම්“

දවල් දොළහට වෙනදා හමුවන තැනදිම හමුවෙන්න ඔහු යෝජනා කළා. මම ගෙදර යනවා කිව්වාම මිනිහා මාව හමුවෙන්න ආවේ එයාගෙම කැමැත්තෙන්. මගෙ බෑග් එකේ නිතරම තිබුණා පිහියක්. ඒක තිබුෙණ් බෑග් එක පතුළේ. මම ආයෙත් බෝඩිමට ගියා. දවල් වෙලා ඔහු හමුවෙන්න යනවා කියලා හිතාගෙන.

ඔහුත් මමත් වෙනදා වගේම සුපුරුදු තැනට ගියා. මම එයාට කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. එයා මා එක්ක වෙනදා වගේ ආදරයෙන් කතා කළේ නැහැ කියලා මට දැණුනා.

“එහෙනම් ඔයා ගමේ යන්න. මගෙන් ඔයාට වරදක් වුණානම් සමාවෙන්න. ඒත් ඕවාට මම විතරක් වගකියන්න ඕනේ නැහැනේ. ඔයත් දැන ගන්න ඕනනේ... “ ඔහු එහෙම කිව්වේ මම වැරදියි කියලා කියන නොකියන ගානට. මගේ ඉවසුම් නොදෙන තරහට මාව පාලනය කර ගන්න බැරිවුණා. ඇඳේ හාන්සි වෙලා හිටිය ඔහුට මගෙන් ගැලවෙන්න බැරි වුණා. මම දන්නේ නෑ මම ඔහුට කී පාරක් පිහියෙන් ඇන්නද කියලා.

ඔහුගේ කෑ ගැහිල්ලට හෝටලේ අය දුවගෙන ආවා. එත් මම දොර වහලා තිබුණේ. හෝටලේ අය දොර කඩාගෙන කාමරයට එනකොට ඔහු හිටියේ ලේ විලක් මැද්දේ වැටිලා.

“මිනිහා මැරිලා“

“ලස්සන කෙල්ලෙක්.....කෙල්ලෝ අරන් මෙහෙ එනවා.... පව් “

කවුදෝ එහෙම කියනවා මට ඇහුණා

රස්සාවක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න හීන තියාගෙන කොළඹ ආව මට වුණේ ඔන්න ඔහොම දෙයක්. මට දරුවෙක් ලැබුණා හිර ගෙදරදි. ඒත් ඒ දරුවට ජීවත් වෙන්න ලැබුණේ සතිදෙකයි. අදටත් මම සතුටුවෙනවා දරුවා නැති වුණ එක ගැන. අනාථයෙක් වගේ ජීවත් වෙනවට වඩා ඒ දරුවා මැරුණ එක හොඳයි. කාත් කවුරුවත් නැති මම දැන් රූකඩයක් වගෙයි.

දැන් මට ජීවිතේ ගැන කිසිම ආසාවක් නැහැ. මරණ දඩුවම කවදා එයිද දන්නේ නැතිව බලා ඉන්න මම දවසක මේ හිරගේ ඇතුළෙම මැරිලා යයි.

 

 

Comments