හැරීපොටර් කතා මාලාවේ හැග්‍රිඩ් ජීවමාන කළ රොබී සමුගනියි | සිළුමිණ

හැරීපොටර් කතා මාලාවේ හැග්‍රිඩ් ජීවමාන කළ රොබී සමුගනියි

හැරී පොටර් කතා මාලාවේ සුවිශේෂ චරිතයක් වන රුබියස් හැග්‍රිඩ්ගේ චරිතය නිරූපණය කළ රොබී කොල්ට්‍රන් පසුගියදා අවසන් සුසුම් හෙළුවේය. මේ පුවත ලොව පුරා පැතිර ගියේ සැණෙකිනි. බොහෝ දෙනා එම අභාවය පිළිබඳව ශෝකය පළ කරනන්ට වුහ. සැබවින්ම එම ශෝක පණිවිඩ තුළ වූයේ රංගන ශිල්පියාට වඩා හැග්‍රිඩ් යන චරිතය කෙරෙහි ජනතාව දැක්වූ ආකර්ෂණය සහ ආදරයයි. ලොව පුරා ජනතාව රොබීගේ මරණය දුටුවේ හැග්‍රිඩ්ගේ අභාවය වශයෙනි. සමාජ මාධ්‍ය ජාලා පුරා පැතිර ගිය එවැනි ශෝකය පළ කිරීම් පණිවිඩ දෙකක් සමාජ ගත කිරිමට සමත් විය. ඒ ජේ. කේ. රෝලිං කොතරම් සාර්ථක ලෙස තම හැරී පොටර් කතා මාලාව නිර්මාණය කර ඇතිද යන්නයි. දෙවැනි කරුණ වන්නේ රොබී කොල්ට්‍රනේ හැග්‍රිඩ්ගේ චරිතයට කොතරම් සාධාරණයක් ඉෂ්ට කර ඇතිද යන්නයි.

අවසන් හුස්ම හෙළූ බ්‍රිතාන්‍ය නළු රොබී කොල්ට්රනේ සැබවින්ම වාසනාවන්තයෙක් යැයි පැවසිය හැකිය. ඒ ඔහුට හැරී පොටර් චිත්‍රපට මාලාවේ චරිතයක් ලැබීම නිසාය. එමෙන්ම ඒ චරිතය හැග්‍රිඩ්ගේ චරිතය වීම නිසාය. හැග්‍රිඩ් යනු හැරී පොටර්ට මුල සිටම හිතවත් වූ එකම පුද්ගලයාය. ඩම්බල්ඩෝර් හැරුණු විට හැරීගේ වරදකදී වුවද හැරීගේ පැත්තට සිටි එකම පුද්ගලයා හැග්‍රිඩ්ය. එබැවින්ම හැග්‍රිඩ්ගේ චරිතය හැරී පොටර් කතා මාලාවට ප්‍රිය කළ ලොකු කුඩා සෑම ප්‍රේක්ෂකයකුගේම ආදරයට පාත්‍ර විය. දැන් රොබී කොල්ට්‍රන්ට හිමිව තිබෙන්නේද ඒ ආදරයමය.

රොබී කොල්ට්‍රන් යනු දක්ෂ නළුවෙකි. ඔහු හැරී පොටර් හි හැග්‍රිඩ් නිසා මහත් වූ ජනාදරයට පාත්‍ර වුවද ඔහු තවත් චිත්‍රපට රැසකටම දක්ෂ ලෙස චරිත නිරූපණය කර ඇති චරිතාංග නළුවෙකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේද ඔහුට චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව හිමි වුවද ඔහු වඩාත් දක්ෂතා පෙන්වා ඇත්තේ ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් සිනමා පටයෙනි.

තම පෞද්ගලිකත්වය උසස් කොට සැලකූ මේ සිනමා නළුවාගේ අභාවයෙන් පසුව ද ඔහුගේ කළමනාකාරවරිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසයි.

හැග්‍රිඩ්ගේ චරිතය හැරී පොටර් චිත්‍රපට මාලාවේ සෑම චිත්‍රපටයකම එකසේ වැදගත් භූමිකාවක් හිමි වූ චරිතයකි. එබැවින්ම එක දිගට චිත්‍රපට හතක එකම සුදු චරිතය රඟ දක්වමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වීමේ දුර්ලභ අවස්ථාව රොබී කොල්ට්‍රන්ට තම ජිවිතයේදී උදා විය. මිය යන විට වයස අවුරුදු 72ක් පසු කර සිටි ඔහුට සැබවින්ම තම ජීවිතයේ හොඳම කාලය හැරී පොටර් චිත්‍රපටවලට දායක වූ කාලය ලෙස තෝරා ගැනීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

රොබීගේ අවමංගල්‍යයට සහභාගී වූ හැරී පොටර් චරිතය නිරූපණය කළ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පවසා තිබුණේ තමා දුටු හාස්‍ය රසයෙන් වැඩිම රංගන ශිල්පියා රොබ් බවය. ඔහුත් සමඟ දර්ශන තලයට පැමිණීම තමාට මහත් සතුටක් දුන් බවත් ඔහු තමා පමණක් නොව තමා සමඟ කටයුතු කරන සෙසු පිරිසත් සතුටින් තැබීමට බොහෝ සෙයින් උත්සාහ ගත් බව ඩැනියෙල් පවසා තිබිණි.

සැබවින්ම ජේ. කේ. රෝලිං නිර්මාණය කළ හැග්‍රිඩ්ගේ චරිතයද එයට බෙහෙවින් සමාන වීම පුදුමයකි. හැග්‍රිඩ්ද තම ජීවිතයම හැරී වෙනුවෙන් සහ හොග්වාට්ස් වෙනුවෙන් කැප කළ පුද්ගලයෙකි. සැබවින්ම හැග්‍රිඩ්ගේ චරිතය මෙතරම් හොඳින් නිරූපණය කිරීමට රොබීට අවස්ථාව සැලසෙන්නට ඇත්තේ මේ සමානකම් හේතුවෙන් වන්නට ඇත.

Comments