
ශ්රීරීනාත් මද්දුමගේ කියන්නේ කාලයක් මෙරට ටෙලි නාට්‍යවල දකින්න ලැබුණු චරිතයක්. කාලයකට කලින් විදෙස්ගත වන ශ්‍රීනාත් විවේකයක් ලැබෙන විටෙක ලංකාවට පැමිණ කලාවට දායක වූ අවස්ථාද නැතුවාම නොවෙයි. ලංකාවේ නොහිටියත් තවමත් ජනතාවගේ මතකයේ රැඳී සිටින ශ්‍රීනාත් මේ වෙද්දී ‘මම ශ්‍රීනාත්’ නමින් චරිතාපදානය ලියා තිබෙනවා. ඔහු අද ගෙවන ජීවිතේ ගැනයි මේ කතාබහ
මේ දවස්වල මොකද කරන්නෙ.
පහුගියදා ‘ඩොලර්’ කියල ඔස්ට්‍රේලියානු ටෙලි නාට්‍යයක රඟපෑවා. සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කළ ‘කුරුළු පිහාටුවක් එවන්න’ කියල කෙටි චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑවා. ‘මිසින්’ කියල චිත්‍රපටියක් හදන්න මූලික කටයුතු සැළසුම් කරගෙන යනවා. පසුගියදා ඇඩිලේඩ්වල තිබුණු සුනිල් එදිරිසිංහගෙයි සෂිකා නිසංසලාගෙයි ‘ස්වර්ණ ස්වර’ සංගීත වැඩසටහන මෙහෙයවූවා. අවුරුදු දෙකක් පුරා ‘සරැලි විත් ශ්‍රීනාත්’ කියල ගුවන් විදුලි සඟරාමය වැඩසටහනක් කළා. ඒත් ඒ හැමදේකටම වඩා විශේෂ දෙයක් කළා. ‘මං ශ්‍රීනාත්’ කියල චරිතාපදානයක් ලිව්වා. ඒක මුද්‍රණය කළේ සරසවි ප්‍රකාශකයෝ. මම දන්නවා ලංකාවේ ආර්ථික ගැටලුත් එක්ක මුද්‍රණ ක්ෂේත්රයේ මිලත් හුඟාක් ඉහළ ගිහිල්ලා කියලා. ඒත් සරසවි ප්‍රකාශන සමාගමේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා ‘මං ශ්‍රීනාත්’ පොත ප්රකාශනය එක පයින් බාර ගත්තා.
‘මම ශ්‍රීනාත්’ චරිතාපදානය ලියන්න හිතුවෙ ඇයි ?
මම ලංකාවෙන් එනකොට ශ්‍රීනාත් මද්දුමගේ කියන නළුවව හදාගෙන ඉවරයි. ඒ කාලේ වරෙන්තු නාට්‍යයෙන් හොඳම සහය නළුවා රාජ්‍ය සම්මානය අරගෙන, පාදඩ අසපුව නාට්‍යයෙන් ලෝකෙ වටේ ලොකු සංචාරයක් ඉවර කරලා, දෙපත් නයි ටෙලි නාට්‍යයේ කුණු ලොරියේ රියැදුරාගේ චරිතයට සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම සහය නළුවා සම්මානය අරගෙන, ගිනි අවි සහ ගිනි කෙළි චිත්රපයේ රම්බෝ සරත්ගේ චරිතයෙන් ජනප්‍රිය වෙලා පීක් එකේ හිටියේ. මම එතෙන්ට එන්ඩ අවුරුදු විස්සක් විතර ලොකු කට්ටක් කෑවා. ඒත් එක පාරටම ඒ සේරම අතහැරල දාල එනවයි කියන්නෙ මම ශ්‍රීනාත් මද්දුමගේ කියන නළුවව මරල දාන එනව කියන එකයි. ඒ ගැන කම්පාවක් හැමදාමත් මගේ ගාව තිබුණා. ඒ කම්පාව අකාමකා ගන්නත් එක්ක වගේම මම නළුවෙක් වෙන්ඩ දුක් වළඳමින් ආපු අසීරු ගමන නළුවන් වෙන්න ඉන්න අලුත් පරම්පරාවටත් ආදර්ශයක් වෙන්නයි ‘මං ශ්‍රීනාත්’පොත ලිව්වේ. මගේ වසර 40ක ගමන තුළ කළ දේවල් සහ සයිමන් නවගත්තේගම, ජයලත් මනෝරත්න, එච්. ඒ පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, ආර් ආර් සමරකෝන් වගේ මා ඇසුරු කළ ප්‍රවීණ අයගේ ඇසුරෙන් මට මගේ ජීවිතේට ලැබුණු දේවල් මෙහි අන්තර්ගතයි. මේ මස 29 වනදා පොත ඔස්ට්‍රේලියාවේ Epping Galada Community Centre එකේදී ජනගත වෙනවා. තව එදිනම මගේ ‘කුරුළු පිහාටුවක් එවන්න‘ කියන කෙටි චිත්‍රපටය තිරගත වෙනවා.
විදේශගතව ගෙවන කී වෙනි අවුරුද්දද
දාහත්වෙනි අවුරුද්ද. අවුරුදු දාහතක් විදේශගතව හිටියට කලාවෙන් ඈත් වෙලා නෑ. මෙහෙත් කලාව කරනවා. පත්තරවලට ලිව්වා. රේඩියෝ නාට්‍ය කළා. වේදිකා නාට්‍ය කළා. විවිධ ප්‍රසංග කළා. කැරොල් ගායනා කළා. සංගීත ප්‍රසංග ඉදිරිපත් කළා. මෙහෙ තියෙනවා ඔස්කා සංවිධානය කියලා එකක් දීපාල් ධර්මරත්න තමයි එහි සහාපති. ඒ හරහා මම මේ වෙද්දී කළා ‘රශ්මි රාත්‍රිය‘ කියලා ප්‍රසංග 3ක්. ඒ එක්කම ගජමන් පුවත අලළා ප්‍රසංගයක් කළා.
අවුරුදු 17ක් ලංකාවේ කලාවෙන් ඈත් වීම ගැන පසුතැවෙනවද?
ඔව්. ලංකාවෙන් පිටවෙන කොට ඒ ගැන පුදුම විදියට පසුතැවුණා. ඒත් ශ්‍රීනාත් මද්දුමගේ කියන නළුවා මිය යයි කියලා හිතුවට ඔහු මිය ගියේ නෑ. ඒ නිසා සතුටු වෙනවා. ලබන මාසේ ප්‍රදර්ශනය වෙන ‘ගින්දරි 3’ චිත්‍රපටියෙත් මම රඟපානවා. ඒ කියන්නෙ මම කලාවෙන් ඈත් වෙලාම නෑ කියන එකයි. නමුත් වේදිකාවෙන් ඈත් වෙන්ඩ සිද්ධ වෙච්චි එක ගැන දුකයි. වේදිකාවෙන් කලාවට පිවිසෙන ඕනෑම කලාකරුවෙක්ගෙ ආත්මය තියෙන්නෙ එතන. ජීවය තියෙන්නෙ එතන. ඒ දුක නම් සදාකාලිකයි.
ඔබ දක්ෂ නිර්මාණකරුවෙක්. ඔබ ඔබෙන් වැඩ අරගෙන තියෙනවා කියල හිතනවද ?
නෑ. ඒකට හේතුවක් තියෙනවා. මට ලංකාව දාල එන්න සිද්ධ වුණේ මගේ කලාවේ හොඳම කාලෙදි. වේදිකාවෙයි සිනමාවෙයි සම්මාන අරගෙන හතර අතින් රඟපාන්න චරිත ලැබෙන වෙලාවෙ තමයි මම ලංකාව දාල ආවේ. ශ්‍රීයන්ත මෙන්ඩිස්, සයිමන් නවගත්තේගම, ආර්. ආර්. සමරකෝන්, ජයලත් මනෝරන්ත වැන් විශිෂ්ටයන්ගේ නිර්මාණවල මම රඟපෑවා. ඒ හැමෝම මාව අඳුනගත්තට පස්සේ ඔවුන්ගේ හැම නිර්මාණයකටම මාව ගත්තා. ඒ වගේම බොහොම දෙනෙක් කියන කතාවක් තමයි මගේ චරිතයට හරියට කෙනෙක් හැදුණේ නෑ කියන එක. එතකොට හිතෙනවා ලංකාවේ හිටිය නම් ගොඩාක් වැඩ කරන්න තිබුණා නේද කියලා..
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන යමක් කිව්වොත්?
බිරිඳ ශ්‍රියානියි, දියණිය චමත්කායි මමයි පදිංචි වෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ එපින් කියන ප්‍රදේශයේ. චමත්කා හත්වෙනි වසරේ ඉගෙන ගන්නවා. මම වැඩ කරන්නෙ පීටර් මැකලම් කියන පිළිකා රෝහලේ.
බිරිඳ ශ්‍රියානි මෙහෙ ඇවිත් පී. එච්. ඩී උපාධිය සම්පූර්ණ කරලා දැනට බෙල් කියන දුම්රියපොළේ ප්‍රධානියා හැටියට වැඩ කරනවා. ඇය මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙනවා. කුටුම්බ ජීවිතේ වගකීම් වැඩි හරියක් කරන්නෙ එයා. එයා මාව කලා කටයුතු සඳහා නිදහස් නොකළා නම් මා තුළ හිටපු නළුවා මැරිලා හුඟාක් කල්.
ඉදිරි අරමුණු ඉලක්ක මොනවද?
‘මිසින්’ කියල චිත්‍රපටයක් කරන්න සැලසුම් කරනවා. ඒකේ පිටපත ලියාගෙන යනවා. ඔස්ට්‍රේලියානු ජීවිතය පාදක කරගෙන නවකතාවක් ලියන්නත් අදහස් කරගෙන යනවා. නිවාඩු තියෙන ආකාරයට ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහස් කරනවා. සම්පත් ශ්‍රී රෝෂන් සහ මම ලබන ජනවාරි මාසයේ සුදත් දේවප්‍රිය එක්ක අලුත් චිත්‍රපටයක් කරන්න සැලසුම් කරගෙන යනවා. පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම දියණියගේ අනාගතය ගොඩනඟලා ඇය සතුටින් ජීවත් වෙනවා දකින එක මගේ ලොකුම බලාපොරොත්තුවයි.