
එදා ඉඳන් මගෙ හොඳම යාළුවා වුණේ සිරි අයියා. මමත් චණ්ඩියෙක් වුණා මට නොදැනීම. දවසින් දවස සිරි අයියාගේ මිනිස්සු මගේ ගාවට එනකොට අහල පහල අය බය වුණා. ඒගෝල්ලෝ පොලිසියට ඔත්තු දුන්නා
ඒ කොරෝනා කාලයයි. ඒ කාලයේදී ඔහුට කතා කරන්නට මට හැකි විය. ඒ වන විට ඔහු රියැදුරෙකු ලෙස සේවය කළේය. කොළඹට නුදුරු කොම්පැනියක රියැදුරෙකු ලෙස සේවය කළ ඔහු දුටු මතින් එවැනි වෘත්තියක යෙදෙන්නෙකු යැයි කිසි විටෙකත් නොසිතේ. ඔහු ප්‍රසන්න පෙනුමකින් යුතු බොහෝ පිළිවෙළට ඇඳුම් ඇඳි අවුරුදු හතළිහක පමණ වයස අයෙකි. ඔහු තුළ තිබූ නිහඬ බවම ඔහු හා කතා කරන්නට එකම මඟ විය.
පියාගේ අතහැර යාමත් සමඟ මවත් බාල සොයුරාත් සමඟ දිවි ගමනේ තනි වූ ඔහුට ජීවිත තුනක් ජීවත් කරවන්නට වෙහෙසෙන්නට විය.
“පුතේ උඹ ඉස්කෝලේ යන්නම ඕන. උඹ මගෙ කුසට ආදා ඉඳන් මගෙ එකම හීනය වුණේ උඹව රජෙක් කරන එක. මං මට පුළුවන් විදිහට හැමදේම කරන්නම්. හෙට ඉඳලා ඉස්කෝලේ යන්න ඕන.“ අම්මාගේ දුක්බර ආයාචනාත්මක හඬට අවනත වනවා හැර වෙනත් දෙයක් කරන්නට හිතා හදා ගන්නට ඔහුට අසීරු විය. එනිසාම සතියක් තිස්සේ නැවතී තිබූ පාසල් ගමන යළිත් අරඹන්නට ඔහු සිතා ගත්තේය. පාසලේ ගුරුවරුන්ගේ උදව්ව නිසාම ඔහු යළිත් පාසල් යන්නට ඉටා ගත්තේය. එහෙත් හැම හැන්දෑවකම ඔහු කාගේ හෝ කඩයක වැඩට ගියේය. ඒ හැම හැන්දෑවකම ඔහු අම්මාගේ අතට රුපියල් පන්සීයක් හෝ හාරසියයක් ගෙනැත් දුන්නේය. අම්මාට එය මහමෙරක් විය. මල්ලී ඒ වන විට පාසලේ දෙකේ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේය.
“ මම අම්මාට උදව් කළා. ඒත් අම්මා කැමති වුණේ නැහැ මම පාසල් නොයා ඉන්නවට. මටත් ඉගෙන ගන්න ඕනකම තිබුණා. ගුරුවරු මට පාසල් එන්න කියලා බලකළා. මම ඉස්කෝලෙ ගියා. අම්මා සුළු රස්සාවක් කළා. මම සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. දන්නවද මම වැඩ අටම පාස්. මට හීනයක් තිබුණා. ඒ උසස් පෙළ විභාගය කරලා කැම්පස් යන්න. ඒත් ඒ හැම හීනයක්ම බොඳ වෙලා ගියා. මට තේරෙන්නේ නැහැ මොකක් වුණාද කියලා. විභාග ප්‍රතිඵල එනතුරු මම ඇදුම් මහණ තැනක වැඩට ගියා. ටේලර් ෂොප් එකක්. මාස තුනක් විතර යනකොට මම හැමදේම අල්ලා ගත්තා. එත් ෂොප් එකේ අයිතිකාර මාමා මට නැගිටින්න දුන්නේ නැහැ. එයා මට හරි විදිහට පඩියක්වත් දුන්නේ නැහැ. විභාග ප්‍රතිඵල ආවාට මට ඉස්කෝලේ යන්න වත්කමක් තිබුණේ නැහැ. මම හිතා ගත්තා මම ටේලර් ෂොප් එකක් දානවා කියලා. මගෙ අතේ සතයක් තිබුණේ නැහැ. ඒත් මම වැඩ කරපු තැනින් පුංචි මුදලක් ඉල්ලා ගත්තා. තව මම අඳුනන රෙදි කඩවලින් උදව් ලැබුණා. කුලියට කාමර කෑල්ලක් හමුවුණා අපේ ගෙවල්වලට එහායින් තිබුණ කඩපේලියක. මම දෙයියනේ කියලා පුංචිම පුංචියට මහන්න පටන් ගත්තා. උදේ පාන්දරින් කඩේ අරිනවා. රෑ වනතුරු කඩේ ඉන්නවා. මහරගම ගිහිල්ලා අඩුවට රෙදි හොයාගෙන ඇවිල්ලා පොඩි අයට කලිසම් කමිස මැහුවා. දවස දවස මගෙ ව්‍යාපාරය දියුණු වුණා. මම ඉල්ල ගත්ත ණය බේරුවා. හැමෝම මා එක්ක බොහොම උනන්දුවෙන් මට ආදරෙන් වැඩ කළා. අම්මා රස්සාවට යන එක නතර කළා. මල්ලිව හොඳට ඉගෙන ගන්න කියලා ටවුමේ ඉස්කෝලෙකට දැම්මා. මම දවසින් දවස මගේ ව්‍යාපාරය දියුණු වුණා. මම අලුත් මැෂින් කිහිපයක්ම ගත්තා. සේවයට තරුණයෝ දෙන්නෙකුත් ගත්තා. එක දවසක මගේ කඩේ ඇතුළට තරුණයකු කඩාවැදුණා. ඔහු සැඟවෙන්න තැනක් හෙව්වා. කිසිම දෙයක් නොදන්න මම ඔහුට සැඟවෙන්න ඉඩ දුන්නා. ඔහුගේ පස්සෙන් පන්නගෙන ආව පුද්ගලයෝ මගේ කඩේ ඇදලා ඇදලා දැම්මා. ඔවුන් අර සැඟවී සිටිය තරුණයාව හොයා ගත්තා. මට පුදුමාකාර විදිහට තරහා ගියා. ඒ ආව කෙනෙක්ට මම ගැහුවා. එතැනින් තමයි මගේ ජීවිතේ අපායට වැටුණේ.
එදා හැන්දෑවේ ගෙදර ගියාම තමයි මම හැමදෙයක්ම දැන ගත්තේ. මම ඒ ගහලා තිබුණේ අපේ පැත්තෙ ඉන්න සිරි කියන චණ්ඩියෙකුගේ ගෝලයෙක්ට. එදා මහ රෑ සිරි අයියා අපේ ගෙදර ආවා. මම හිතුවා එදා තමයි මගෙ ජීවිතේ අවසාන දවස කියලා. ඒත් එහෙම වුණේ නැහැ.
පහුවදා මගේ ෂොප් එකට සිරි අයියා ආවා. “උඹ දියුණු වෙන කොල්ලෙක්..... ඕනකමක් තිබුණොත් කියන්න“ කියලා සිරි අයියා යන්න ගියා.
එදා ඉඳන් මගෙ හොඳම යාළුවා වුණේ සිරි අයියා. ඉවසීම අඩු මම බොහෝ තැන් වලදි ඉවසීම නැතිව කටයුතු කළා. මමත් චණ්ඩියෙක් වුණා මට නොදැනීම. අම්මා හිටියේ හැඩූ කඳුළින්. දවසින් දවස සිරි අයියාගේ මිනිස්සු මගේ ගාවට ඇදුම් මහන්න කියලා එනකොට අහළ පහළ අය බය වුණා. ඒගෝල්ලො පොලිසියට ඔත්තුව දුන්නා. ඒ දේවල් එක්ක මටත් නොදැනීම මමත් චණ්ඩියෙක් වුණා. මට මගේ ඇඳුම් ව්‍යාපාරේ කරගෙන යන්න බැරි වුණා. සිරි අයියාගේ යාළුකමට මමත් එක එක මැර වැඩ වලට සම්බන්ධ වුණා. අන්තිමට මිනීමැරුමකට හිරේ ගියා. අවුරුදු තුන හතරක් හිරේ හිටියා. දැන් මම ඉන්නේ ඇප පිට. නඩුව දවසින් දවස කල් යනවා. මල්ලි විවාහ වෙලා රස්සාවක් කරගෙන විවාහයකුත් කරගෙන ජීවත් වෙනවා. අම්මා මාව දාලා කා ගාවටවත් යන්නේ නැහැ. අවුරුදු දෙක තුනක් විතර වෙනවා රස්සාවට යන්න අරගෙන. අම්මයි මමයි ජීවත් වෙන්නෙයි, නීතිඥයකුට නඩු ගාස්සු ගෙවන්නෙයි මේ රස්සාවෙන් ලැබෙන මුදලින්.
මට හරි දුකක් දැනෙනවා. ජීවිතේ ගැන හරි සුන්දර හීන මටත් තිබුණා. ආදරේට ළඟින් හිටපු, මම මගේම විතරක් කියලා හිතුව කෙනෙක් මටත් හිටියා. දැන් ඒ හැම දෙයක්ම හීන විතරයි. මම දන්නේ නැහැ නඩුවේ අවසානය මොකක් වේවිද කියලා.
මම දැන් කුහුඹුවෙක්වත් මරන්නේ නැහැ.“
ඔහු ඔහු ගැන කීවේය.
ඉතින් ඔහුට කුමක් කියන්නද?
“මම හරිම කැමතියි මගේ පාඩුවේ නිදහසේ ඉන්න. ජීවිතේ හරි සන්සුන්ව ගත කරන්න. ඉඩක් ලැබෙන හැම මොහොතකම මම කැලණි පන්සලට යනවා. ඒ යන්නේ මගෙ හිත සන්සුන් කරගන්න. කාටවත් මගෙන් වරදක් නොවේවා කියලා මම හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා. “
ඔහු බොහෝම සන්සුන්ව සිය කතාව අවසන් කළේය. අද ද ඔහු මට හමුවේ. බැලු බැල්මට සන්සුන් මේ මිනිසා තුළ එතරම් වරදකාරයෙක් සිටීයේ යැයි කෙසේ නම් සිතන්නද. අද ද එතරමටම ඔහු සන්සුන්ය.