ඩ්‍රීම්ස්ටාර් කියන්නේ මගේ හිතේ තිබුණ හීනයක් | Page 3 | සිළුමිණ

ඩ්‍රීම්ස්ටාර් කියන්නේ මගේ හිතේ තිබුණ හීනයක්

ඊළඟ ඩ්‍රීම්ස්ටාර් සීසන් එකට ඇරයුම් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා

සරසවි ගමන ඉවර වෙනවත් එක්කම ටීවී දෙරණට සම්බන්ධ වුණා

මැන්ඩලීනය කියන්නේ අපේ කනට මිහිරි වාදන භාණ්ඩයක්. අද අපේ කතා නායිකාවත් මැන්ඩලීනයෙන් හරඹ කරන සුන්දර යුවතියක්. ඇය නමින් නටාෂා නිර්මාණි. ඇය ආ ගමන් මඟ ගැන සහ හෙට දවසේ බලාපොරොත්තු ගැනයි මේ සොඳුරු කතාබහ...

 

අපි කතාවට මුල පුරමු උපන් ගමෙන්ම

මගේ ගම බදුල්ල. අම්මා තාත්තා සහ අක්කා මගේ පවුලේ ඉන්නේ. අක්කා ගුරුවරියක්. ඇය විදෙස්ගතව ඉන්නේ. මම පළමු ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසල් ගියේ බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට. මගේ අම්මටයි තාත්තටයි බදුල්ල නගරයේ ෂොප් එකක් තිබුණා. ඒකට නිතරම සංගීත ගුරුවරයෙක් එනවා. එතැනදී දැන හඳුනාගෙන තමයි අම්මයි තාත්තයි අක්කවයි මාවයි ඒ සර් ගාවට සංගීතය ඉගෙන ගන්න යවන්නේ. ඔහු තමයි මගේ මුල්ම මැන්ඩලීන් ගුරුවරයා. සර්ගෙ නම ජිනපාල ඒකනායක. වයලීන ගුරුවරයා වෙන්නේ ප්‍රභාත් දමින්ද ඒකනායක. තුන ශ්‍රේණියේ ඉඳන් තමයි මම සංගීත පන්ති ගියේ. අපෙ අම්මට තාත්තට සින්දු කියන්න බැරි වුණාට ඒ දෙන්නටම හොඳ රසවින්දනයක් තිබ්බා. ඒ නිසා අපට සංගීත අංශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය මඟ පෙන්වීම කළා.

පාසලේදී සංගීත තරගවලට සහභාගී වුණා. පාසලේ වාද්‍ය වෘන්දය තුළ මම කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා. සමස්ත ලංකා තරගවලින් පිට පිටම අවුරුදු හතරක් මැන්ඩලීනයෙන් සහ වයලීනයෙන් මාරුවෙන් මාරුවට ප්‍රථම ස්ථානය ගත්තේ මම. පාසලේදී මට සංගීතය ඉගැන්වූයේ සිතා කුමාරිහාමි, ජයන්ති සේනාධීර, තනුජා සහ දීප්ති ගුරුතුමියන්. මම පෙරදිග සහ අපරදිග සංගීතය හැදෑරුවා. උසස් පෙළ කලා අංශයෙන් හදාරලා කොළඹ සෞන්දර්ය කලා පීඨයට ඇතුළත් වුණා. එතැනදී මම තෝරා ගත්තේ ඉන්දියානු ක්ලැසිකල් මියුසික්. ඒ එක්කම මම විශ්ව විද්‍යාලයේදී හැදෑරුවේ ප්‍රධාන වශයෙන් වයලීනය. නමුත් අනෙකුත් සංගීත භාණ්ඩ මැන්ඩලීනය, කී බෝඩ්, ගිටාර් එක, තබ්ලාව යන ඒවාත් හැදෑරීමක් කළා. ඒ එක්කම මම විශ්ව විද්‍යාලයට යන ගමන් හේමපාල පෙරේරා සර් යටතේ ඉගෙන ගත්තා. සර් ලංකාවේ ඉන්න විශිෂ්ටතම මැන්ඩලීන, බටනලා, ගිටාර් වාදන ශිල්පියෙක්.

ඔබේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් අරගෙන දෙන්නේ මැන්ඩලීනය, කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

ඒ අවස්ථාව මට ලැබෙන්නේ විශ්වවිද්‍යාලය කටයුතු ඉවර වෙනවත් එක්කම ටීවී දෙරණ ආයතනයෙන්. මට කතා කරලා ඇහුවා එන්න පුළුවන් ද ඩ්‍රීම්ස්ටාර් එකට කියලා. ඒක මගේ හිතේ තිබ්බ හීනයක්. ඉස්සර ඉඳන්ම මම ගෙදරදී ඩ්‍රීම්ස්ටාර් බලනවා. මම අම්මට කියලා තියෙනවා කවදා හරි මට මේ බෑන්ඩ් එකත් එක්ක එක දවසක් හරි ප්ලේ කරන්න හම්බවුණා නම් කියලා. ඉතින් නොහිතපු විදියට 2021 වසරේ අප්‍රේල් මාසේදී සොබා දහමේ ආශිර්වදායකින් වෙන්න ඕනේ මට ඒ අවස්ථාව ලැබුණා. එතනින් පස්සේ තමයි මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ. ඒ තිබ්බේ ඩ්‍රීම්ස්ටාර් සීසන් 10. ඊළඟ එක තාම පටන් ගත්තේ නැහැ. ඒකටත් ඇරයුම් ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා.

ඊට අමතරව ලැබුණු අවස්ථා මොනවද?

ටීවී දෙරණ ආයතනයේම ටෙලි නාට්‍යය තේමා ගීත සඳහා මම මැන්ඩලීනයෙන් දායක වුණා. සංගීතේ නාට්‍යයට මට අවස්ථාව ලබා දුන්නේ චතුරංග ද සිල්වා සර්. ඔහුත් මේ වෙද්දී ජනප්‍රිය ගීත රැසක් කරපු සංගීතඥයෙක්. ඒ එක්කම ඉස්සරහට එන්න තියෙන නාට්‍යය කිහිපයක් සඳහා මැන්ඩලීනයෙන් මගේ දායකත්වය ලබා දෙනවා.

මේ කාලේ මොනවද කරන්නේ

මම මගේම පෞද්ගලික පන්ති කරගෙන යනවා. ඔන්ලයින් පන්තිත් කරන නිසා ලංකාවේ හැම ප්‍රදේශයකින්ම වගේ ළමයි සහභාගී වෙනවා. ඒ එක්කම ඔන්ලයින් ක්‍රමය නිසා දෝහා කටාර්, ඕස්ට්‍රේලියා, අැමරිකා සහ එංගලන්තේ වගේ රටවල්වල ළමයි සහ වැඩිහිටි අය පවා මා එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මමයි මගේ මහත්තයයි එකතුවෙලා කරන මියුසික් ස්ටුඩියෝ එකක් තියෙනවා එකේ වැඩ කරගෙන යනවා.

අපි මහත්තයා ගැනත් කියමු

එයා ජලිත යෂ්මින් විජේවර්ධන. අපි දෙන්නා මුණගැහෙන්නේ විශ්වවිද්‍යාලයේදී. විවාහ වෙලා නම් තාම මාස තුන හතරක් විතර වෙන්නේ. එයා නම් සංගීත පවුලකින්ම එන කෙනෙක්. අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු. විශේෂයෙන්ම කියන්න ඕනේ තාත්තා ජනප්‍රිය සංගීතඥයෙක් වන කරුණාරත්න විජේවර්ධන.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

අපි දෙන්නා පටන් ගත්තා ‘Y රෙකෝඩ්ස්‘ කියලා මියුසික් ස්ටුඩියෝ එකක්. මටත් කලින් එයා තමයි පටන් ගෙන තිබ්බේ. දැන් අපි දෙන්නම එකතු වෙලා වැඩි දියුණු කරා. ඒක හෝමාගම තියෙන්නේ. ඒ තුළින් අපි සින්දු නිර්මාණ කරගෙන යනවා. ඊළඟ වසරේ මුල සිට අපේම නිර්මාණ කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව ලබන වසරේ මුල් මාස හතර ඇතුළත මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ කොන්සට් එකක් කරන්න. ඒකටත් දැන්ම ඉඳන් වැඩ කිහිපයක් සැලසුම් කරගෙන යනවා. එතනදී මම කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මැන්ඩලීන්, වයලීන් කොන්සට් එකක්.

 

 

Comments