ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන් | Page 3 | සිළුමිණ

ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන්

වැඩිපුර හිත හොඳ කෙනෙක් වුණාමත් බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොඳ කෙනෙක්ට වුණත් ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවද කියලා අපි බලමු. එතකොට ඔයාටත් පුළුවන් ඒ අවස්ථා මඟ ඇරගෙන ජීවිතේ සාර්ථකව පවත්වාගෙන යන්න.

 

1. අනවශ්‍ය ලෙස කැපකිරීම් කිරීම

බැඳීමක් වෙනුවෙන් ආයෝජනය කරන එකම කෙනා ඔයා විතරක් විය යුතු නැහැ. තමන්ගෙ මිත්‍රත්වය හෝ සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔයා ඕනවටත් වඩා මහන්සි වෙනවා ඇති. කැපකිරීම් කරනවා ඇති. ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය සමහර විට මුදල් පවා වියදම් කරනවා ඇති. ඒත් ඔයා කොයි තරම් කැපකිරීම් කරත් අනිත් කෙනා ඒ තරම් දෙයක් කරන්නේ නැති වෙන්න පුළුවන්. අමතක කරන්න එපා ඒකපාර්ශ්වික බැඳීමක් ගොඩක් තාවකාලික බව. ඒ වගේම අවසානයේ දී ඔයාට ඉතිරි වන්නේ හිත් රිදීමක් පමණක් බව මතක තියාගන්න.

2. ඉක්මනින් සමාව දීම‍

වරදක් පිළිගැනීම වගේම වැරැද්දකට සමාවදීම මිත්‍රත්වයකදී මෙන්ම සම්බන්ධතාවකදී හරිම වැදගත් දෙයක්. ඒ වගේම ශක්තිමත් සම්බන්ධතාවකදී අත්‍යවශ්‍යම දෙයක්. එහෙත් ජීවිතේ සමහර අවස්ථා තියනවා එකවර අනිත් කෙනාට සමාව දෙන්න බැරි. නිතරම එකම වැරැද්ද කරන කෙනෙක්ට තවත් අවස්ථාවක් දෙනවා නම් ඒ ගැන හොඳට හිතලා බලන්න ඕන. ඔබ ඉක්මනින් සමාව දෙනවා කියන්නේ ඒ කෙනාට ඒ වරදම නැවත වතාවක් කරන්න හොඳ පිටිවහලක්. මේ නිසා ඔබ කෙනෙක්ට සමාව දෙද්දී මේ ගැනත් හොඳින් හිතා බලන්න

3. ඔහු හෝ ඇය වෙනුවෙන්ම බලා සිටීම.

නිකමට හිතන්න ඔබ අලුතින් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා කියලා, ඉතින් නිතරම එයා වෙනුවෙන් කාලය ගත කරන්න පුළුවන් කියලා එයාට දැනෙන්න දෙන්නයි ඔයාට ඕනි. හැබැයි ඔයාගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියලා හැමතිස්සෙම එයා වෙනුවෙන් ඉන්න එක සම්බන්ධතාවකදී අහිතකර විදියට බලපාන්න පුළුවන්. කවුරුත් කැමති නෑ තමන්ටම කියලා අරමුණක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතයේ එකම අරමුණ එයා පමණක් බව එයාට දැනුණොත් ඒ සම්බන්ධතාවය ගැන අනිවාර්යෙන්ම එයා නැවත හිතා බලන්න පුළුවන්. මේ නිසා එයා හිතන්න පුළුවන් ඔයාගේ ජීවිතයට එයාට ඕන ඕන විදිහට බලපෑම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අනිත් අයට ඔබේ ජීවිතයෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බැරි විදියට කටයුතු කළොත් ඒක ඔබේ සාර්ථකත්වයට හොඳ රුකුලක් වේවි.

4. සැකය ඇති වීම

ඔයා ඕනෑවට වඩා හොඳ කෙනෙක් කියල පෙන්නන්න උත්සාහ කළොත් අනිත් අයට ඒ පිළිබඳ සැකයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට අනිත් අය ඔයා ගැන වැරදියට හිතන්න පුළුවන්. කෙනෙක් මේ තරම් කරුණාවන්ත හොඳ බව පෙන්නන්නෙ එයාගේ යටි හිතේ වෙනත් අරමුණක් ඇති නිසාවෙන් කියලා හිතන්න පුළුවන්, එයාලව රවට්ටන්න උත්සාහ කරනවා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා අනිත් අයට දුක හිතෙයි කියල ඕනවට වඩා හොඳ කරන්න යන්න එපා. ඔයාගේ හිතට අවංකව එන අය එක්ක ගනුදෙනු කරන්න හොඳින් මතක තබාගන්න.

5. අමනාපකම් ඇති වීම

සම්බන්ධතාවකදී ඔයත් බලාපොරොත්තු වෙනවා ඇති ඔයාගෙ යාළුවා හෝ සහකරු ඔයා වගේම කැපකිරීම් කරයි කියලා. ඔයා හිතනව එයාලත් ඔයා වගේම පරාර්ථකාමී හා පරිත්‍යාගශීලී වෙයි කියලා. ඒත් ඒ හැම වෙලාවෙම අනිත් කෙනා ඔයා බලාපොරොත්තු වෙන තරම් කැපකිරීම් කරන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අමනාපකම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා අනිත් කෙනා ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න යන්න එපා. ඒ වගේම සම්බන්ධතා ගැන වැඩිපුර හීන මවන්න යන්න එපා. හීනවල ජීවත් නොවී යථාර්ථයට මුහුණ දෙන්න මතක තියාගන්න.

6. නිතරම සමාව ඉල්ලීම

ඔබ වරදක් නොකළත් සම්බන්ධතාව ආරක්ෂා කරගන්න ඔයා නිතරම සමාව ඉල්ලනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැමදේම ඔයාගේ වරදක් නිසා සිදුනොවන බව. මෙහෙම අනවශ්‍ය විදිහට සමාව ඉල්ලන්න ගියොත් ඒ අයට ඔබේ වචනය වැඩක් නැති වේවි. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඔයාගේ වැරැද්දක් නම් විතරක් එයට සමාව ඉල්ලන්න.

7. දුර්වල සම්බන්ධතා

වැඩිපුර හොඳ අයට සම්බන්ධතා ඇති කර ගැනීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ගැටලුවට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ අදහස් කෙළින්ම අනිත් කෙනාට කියන්න දක්වන අකමැත්ත. අනිත් කෙනාගෙ හිත රිදෙයි කියලා ඇත්ත සඟවන් හිටියොත් ඔබේ සම්බන්ධතාව කෙටි කාලීන සම්බන්ධතාවක් බවට පත්වේවි. හේතුව තමයි බැඳීමක ශක්තිමත් බව තීරණය වන්නේ සඟවන්නේ නැතිව අවංකව අදහස්, සිතිවිලි හා හැඟීම් අනිත් කෙනා සමඟ හුවමාරු කරගැනීමෙන් පමණක් බවයි.

8. ඔබ ඔබවම නොසලකා හැරීම

ගොඩක් හිත හොඳ කෙ‍ෙනක් සම්බන්ධතාවකදී තමන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙන්නෙ නෑ. මොවුන් අවධානය දෙන්නෙ අනිත් කෙනා ගැන විතරමයි. බොහෝවිට තමන්ගේ සතුට අමතක කරලා අනිත් කෙනාගෙ සතුට පමණක් ගැන ඔවුන් හිතනවා. බොහෝ වෙලාවට ඔයා අනෙක් කෙනා ගැන හොයා බලන්න ඔබේ කාලය මහන්සිය වැය කරද්දී ඔයාට ඔයාගේ ජීවිතේ විඳින්න තියෙන අවස්ථා මඟ හැරලා යන්න පුළුවන්. ඒ නිසා ඔයා වෙන කාටත් කලින් තමන්ට ප්‍රමුඛස්ථානය දෙන්න අමතක කරන්න එපා.

 

 

Comments