
අතීතයේ සිට පැවැත එන බොහෝ දේ අදට ද ආරක්ෂා වී ඇත්තේ ඒ වෙනුවෙන් කැපවුණ ඇත්තන් සිටින බැවිනි. ලොව පැරණිම සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාව මේ දක්වා පැවැත එන්නේ එවැනි පරම්පරාවෙන් තවමත් ඒ ශිල්පය ආරක්ෂා කරගෙන එන බැවිනි. නමුදු පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේදී අංගම් කලාවට මෙරට ඉඩක් නොතිබිණි. යමෙක් හෝ යම් පිරිසක් මෙම සටන් කලාව කළා නම් ඒ සැමට හොර රහසිනි. අංගම්පොර සටන් කලාව තහනමට ලක්වී මේ ඔක්තෝබර් හය වැනි දිනට වසර 204කි. මෙම සටන් කලාව 1818 ඔක්තෝබර් මස 06 දින ශ්‍රි ලංකාව තුළ ඉංග්‍රීසීන්ගේ තහනමට ලක් විය.
එදා ඉංග්‍රීසින් විසින් මෙරට අංගම්පොර සටන් කලාව තහනමට ලක් කරන ලද්දේ අංගම්පොර සටන්කරුවන් විශාල පිරිසක් මරා දැමීමෙනි. නමුදු අද වන විට ජාතියක් ලෙස වටිනා කලා ශිල්පයකට වටිනාකමක් දෙන්නටත් ඒ මතින් තම ශිල්ප පෙන්වන්නටත් ඇතැමෙක් උර දී සිටිති. මේ උර දෙන්නන් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවද පෙරමුණ ගෙන අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීමට දායක වී තිබේ. මෙම ශිල්පය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගෙන් ලැබෙන සහාය සුවිශාලය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට අංගම්පොර සටන් කලාව ඇරඹියේ 2012 වසරේදීය. එය කොරතොට පරම්පරාවෙන් පැවැත එන අජන්ත මහන්තආරච්චිගේ පූර්ණ දායකත්වය ඇතිව ගුවන් හමුදා අංගම්පොර සංචිතය ලෙස ආරම්භ කරන ලදි. මෑත ඉතිහාසයේ සන්නද්ධ හමුදාවක් තුළ අංගම්පොර සංචිතයක් ඇරඹි පළමු අවස්ථාව මෙය විය.
“අංගම්පොර සටන් කලාවේදී අංගම්, ඉලංගං, මයා, අංගං යන කොටස් හතරක් තියෙනවා. නමුත් මෙහිදී අපි භාවිත කරන්නේ අංගං, ඉලංගං කියන අංශ දෙක පමණයි. කාලයක් තිස්සේ මේ ශිල්පය පුහුණු වන හා පුහුණු වූ අය අපට ඉන්නවා. අපට මේ ශිල්පය උගන්වන්නේ අජන්ත මහන්තආරච්චි විසින්. ඔහු අංගම්පොර ශිල්ප පරම්පරාවකින් පැවැත එන කෙනෙක්. අපේ කණ්ඩායම් දැන් බොහෝම හොඳ මට්ටමින් මේ ශිල්පය ප්‍රගුණ කර තිබෙනවා. අද වන විට ගුවන් හමුදාවේ හතළිස් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්නවා. මම දකින දෙයක් තමයි මෙම පුහුණුව ලබපු අයට අවි ආයුධ භාවිත කරන්න බැරි ස්ථානයකදි වුණත් සතුරා මෙල්ල කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙය ආත්මාරක්ෂක සටන් ශිල්පයක්. අද අපේ පුහුණු වූ ශිල්පීන් ශිල්ප දක්වනවා. මෙයින් කළ හැකි දේ බොහෝමයි. විශේෂයෙන් වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහාය හැම විටම අපට ලැබෙනවා. අද අපි විවිධ උත්සව අවස්ථාවන්ට වගේම ප්‍රදර්ශනවලටත් අපේ කණ්ඩායම සහභාගි කරවනවා“
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් කොමදෝරු රොහාන් බාලසූරිය අප හා පැවැසීය.
2017 වසරේ සිට මෙම කණ්ඩායමේ සිටින ගුවන් කාන්තා එම්. ඩී. සුභාණි ලක්සලා විජේරත්න පැවැසුවේ මෙවන් අදහසකි.
“මම අංගම්පොර කණ්ඩායමට බැඳුණේ 2017 වසරේදී. ආත්ම විශ්වාසයෙන් පස්සට නොයා ජීවිතය ගෙන යන්නේ කොහොමද කියන එක මට වඩාත් වැටහුණේ මේ ශිල්පය ප්‍රගුණ කළාට පස්සේ. මේ ශිල්පය හැදෑරීමේදී ස්වයං විනයක් ඇති වෙනවා. ඒ වගේ ම ආත්ම විශ්වාසය ගොඩනැඟෙනවා වගේම මානසික ශක්තිය ඇතිවෙනවා. හිත එක අරමුණක තියාගෙන අපිට වැඩ කරන්න පුළුවන්. කාන්තාවක් විදියට දියවෙන්නේ නැතිව මේ සමාජය තුළ නැගි සිටින්නට හිතට පුදුමාකාර ශක්තියක් ධෛර්යයක් සටන් කලාව හැදැරිමෙන්, එය හා ගැටීමෙන් සිතට ඇති වෙනවා. මේ ශිල්පය හදාරන්න ලැබුණ එක ගැන මම ආඩම්බර වෙනවා.“
ඇය එසේ පවසන විට මෙම කණ්ඩායමේම කටයුතු කරන කෝප්‍රල් ඉන්දික සෙනරත් ජයසිරි කියන්නේ මෙහෙම කතාවක්.
“ අංගම්පොර සටන් කලාව හැදෑරීමෙන් පස්සේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය නොඅඩුව මට ලැබී තිබෙනවා. අපිට අපි ගැන විශ්වාසයක් තියෙනවා. ඕනෑම අභියෝගයක් බාර ගන්නට පුළුවන්. ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඊට සාධාරණයක් ඉටුකරන්න පුළුවන්කම ලැබෙනවා. අපි දැන් විවිධ සංදර්ශනවලට සහභාගි වෙනවා. ගුවන් හමුදාපතිතුමාගෙන් අපට හොඳ සහායක් ලැබෙනවා. ඒ වගේම සංචිතයේ සභාපතිතුමා ඇතුළු සැමගෙන් අපට හොඳ සහායක් ලැබෙනවා. මේ ශිල්පය ඉදිරියට රැගෙන යාම වගේම එයින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අගයක් වටිනාකමක් ලබා දීමයි අපේ අරමුණ.“
පරම්පරාවක උරුමය ඉදිරියට ගෙන එන අතීතයේ සිට පැවත එන ශිල්පය රටට වැඩදායි ලෙස භාවිත කිරීමේ කලාව ඔවුහු දැන් රටටම කියාදෙමින් සිටිති.