
හොලිවුඩ් සිනමා ලෝකය නුහුරු අයකුට වුවද ජේම්ස් බොන්ඩ් යන නම නුහුරු නැත. අදින් දශක හයකට පෙර තිරගත වීම ඇරඹු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව හොලිවුඩ් සිනමාව කලඹවාලීමට සමත් විය. එය එතෙක් තිරතගත වූ ක්‍රියාදාම චිත්‍රපට ඉතා පහසුවෙන් අභිභවා ගිය අතර ප්‍රේක්ෂකයන් ඒ කෙරෙහි ආකර්ණය වූයේ උමතුවෙන් මෙනි.
සිනමා ලෝකයට ප්‍රවිෂ්ට වීමත් සමඟ ජනප්‍රියත්වයට පත් වුවද සැබවින්ම ජේම්ස් බොන්ඩ් උපත ලැබුවේ එයින් වසර 20කට පමණ ඉහතදීය. ඒ නවකතා පොතක චරිතයක් වශයෙනි. ඉයන් ෆ්ලෙමින් එම නවකතා මාලාවේ රචකයා වූ අතර ඔහු ඉතා අපූරුවට මේ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවාගේ චරිතය මැවුවේය. එහෙත් එම චරිතය ලොව පුරා උන්මාදයක් තරමට පැතිර ගියේ සිනමා මාධ්‍යයට පැමිණීමත් සමඟිනි.
ජේම්ස් බොන්ඩ් එක් අතකින් වට්ටෝරු වර්ගයේ චිත්‍රපටයකි. එහි වීරයා අතිශයින් කඩවසම්ය. ඔහු කෙරෙහි ආකර්ෂනීය වන තරුණියෝ බොහෝය. එහෙත් ඔහුගේ ප්‍රේමය එක් තරුණියක් කෙරෙහිය. ඔහු සතුව ඇත්තේ අතිනවීන ගිනි අවියකි. චිත්‍රපටය අවසානයේදී ප්‍රේක්ෂකයා දැනගන්නේ එය බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ Q අංශය විසින් නිපදවන ලද්දක් බවයි. මේ චිත්‍රපට මාලාවේ වීරයා හෙවත් ජේම්ස් බොන්ඩ් ඉතා සැහැල්ලු හැසිරීම් සහිත පුද්ගලයෙකි. ඔහු තම ජිවිතය වුවද තමාට අහිමි විය හැකි තරමේ බැරෑරුම් වෘත්තියක නිතර වුවද නිතර සැහැල්ලුවෙන්, විනෝදයෙන් සිටින්නෙකි. කිසිවකු තඹයකට මායිම් නොකරන්නෙකි. ඒ අතර අතිදක්ෂ ලෙස තම ඉලක්කයට ගමන් කරන්නෙකි.
ඔහු ගැටෙන්නේ ලෝක ප්‍රකට ජාවාරම්කරුවන් සමඟය. ඔවුන්ද අති දක්ෂයන්ය. නවීන තාක්ෂණය භාවිත කරන්නන්ය. එහෙත් අවසානයේදී ජේම්ස් බොන්ඩ් ඔවුන් පරදවා ජය ගන්නේය.
මේ අපූරු වීරයාගේ චරිතය හරියටම අදින් වසර 60කට පෙර එනම් 1962 සිට 25 වතාවක් රිදී තිරයට නැඟෙන්නේය. ප්‍රථමයෙන්ම ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කරන්නේ සේන් කොනරි විසිනි. එක දිගට තිරගත වූ චිත්‍රපට පහක රංගනයෙන් දායක වීමෙන් පසුව සේන් කොනරි වෙනුවට ජේර්ජ් ලැසෙන්බි 1969දී ජේම්ස් බොන්ඩ් චරිතයට රංගනයෙන් දායක වූ අතර එවර සිනමා පටයේ ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටිණි. ඉන්පසු 1971 තිරගත වූ ‘ඩයමන්ඩ්ස් ආ ෆොරෙවර්‘ චිත්‍රපටයේ රංගනය යළිත් සේන් කොනරිට අවස්ථාව හිමි විය. එතැන් සිට වසර දහයකටත් අධික කාලයක් පුරා තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හතක පමණ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීමේ අවස්ථාව ජනප්‍රිය හොලිවුඩ් නළු රොජර් මුවර්ට හිමි විය. සැබවින්ම එය රොජර් මුවර්ගේ සිනමා ජිවිතයේ සුවිශේෂ අවස්ථාවක් වූ අතර රොජර් මුවර් වර්තමානයේදී පවා නම කියූ සැණින් මතකයේ රැඳෙන තරමට ජනප්‍රිය වූයේ මේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ රංගනයෙන් බවට තර්කයක් නොමැත. ඉන්පසුව තිමති ඩෝල්ටන් සහ ර්චි බොස්නන් ද වරින්වර ජේම්ස් බොන්ඩ් චරිතයට රංගනයෙන් දායක වූ අතර 2006 සිට මේ දක්වා මේ දක්වා ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කරමින් සිටින්නේ ඩැනියෙල් ක්රිග්ය.
අවසන් වරට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් තිරගත වූයේ 2021 වසරේදී වූ අතර එය ‘නෝ ටයිම් ටු ඩයි‘ නම් විය. මේ චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවීමට සමත් වූ අතර එදා මෙදා තුර තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට තුන අතරට අයත් විය. වසර හැටක් පුරා එකම චරිතය අඩු නොවුණු ජනප්‍රියත්වයකින් යුතුව පැවත ඒමට සමත් වූවා නම් ඒ ජේම්ස් බොන්ඩ් පමණක්මය.
දැන් හැට විය පිරුණද ඔහු වඩාත් වැඩි ජවයකින් යුත්කව වඩාත් තරුණ නළුවන් සමඟ පෙරට එමින් සිටින්නේය.
දිත්‍යා විරප්‍රිය